BREAKING NEWS

සන්ධාන පක්‍ෂ නායකයෝ හමුවෙති!

10422331_405638526264361_7515739066370389460_nපසුගිය සතියේ සඳුදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් කොළඹ විශේෂ ස්ථානයකදී රැස් වූ අතර එයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයකු සහභාගී වූයේ නැත.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්, තිස්ස විතාරණ, ඊපිඞීපි නායක, ඩග්ලස් දේවානන්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරු මෙන්ම පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

මෙහිදී විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට භාජනය වූ අතර එදින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක කමිටු රැස්වීමට සහභාගී වීම පිළිබඳව ද සාකච්ඡා විය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරු පවසා සිටියේ තමන් එම විධායක කමිටු රැස්වීමට සහභාගී නොවන බවය. අනෙකුත් පක්‍ෂ නායකයන් පැවසුවේ තමන් මෙවර ඊට සහභාගී වී ඉදිරියේදී තව මතය පවසන බවය.

මෙම රැස්වීමෙන් අනතුරුව මෙම පිරිස කෙලින්ම පැමිණියේ පාර්ලිමේන්තුව වෙතය. පාර්ලිමේන්තුවේදී කථානායකතුමන් හමු වූ මෙම පක්‍ෂ නායකයෝ ලිපියක් ද භාර දුන්හ. එහි සඳහන් වූයේ, තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන විපක්‍ෂයේ පක්‍ෂවලට අයත් පක්‍ෂ නායකයන් බැවින් එසේ කටයුතු කිරීමේදී ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දෙන ලෙසය. ඉහත ලිපියට ජාතික කොංග‍්‍රසයේ නායක, ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ද අත්සන් තබා තිබිණි. කථානායකවරයා එහිදී පවසා තිබුණේ තමන් ඊට අදාළ උපදෙස් ලබා දෙන බවය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීම

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීම කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය. ඊට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරු ද ජාතික හෙළ උරුමයේ සභාපති, අතුරලියේ රතන හිමි, මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, අමාත්‍ය රාවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර් සම්බන්ධන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් විරුද්ධ පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, ජෝන් සෙනෙවිරත්න, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඊපිඞීපි නායක, ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ඇතුළු පක්‍ෂ නායකයෝ එක්ව සිටියහ.

මෙහිදී පළමුව සාකච්ඡුාවට භාජනය වූයේ ජනවාරි 20 වැනිදාට අදාළ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳවය. එහිදී රාවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටියදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විවාදයට ගනු ලැබුවත් සම්මත කිරීම කල් දමා තිබූ කාලාවරෝධ පනත් කෙටුම්පත පිළිබඳව ද අදහස් හුවමාරු විය. ත‍්‍රස්තවාදීන් විසින් තම ඉඩම් වෙනත් පිරිස්වලට භුක්ති විඳීමට ලබා දුන් නිසා කාලාවරෝධ නීතිය හරස් වී ඉඩම් අහිමි වූ පිරිස්වලට යළි එම ඉඩම්වල අයිතිය ලබා ගැනීමට නීතියෙන් ඉඩකඩ ලබාදීම මෙම පනත ගෙන ඒමේ අරමුණ වී තිබිණි. සම්බන්ධන් මහතා එහිදී පවසා සිටියේ 20 දින එම පනත සම්මත කරගත යුතු බවය. රාවුෆ් හකීම් මහතා ද එවැනිම අදහසක් දැරුවේය.

‘‘මෙම පනත් කෙටුම්පත සම්මත නොකර කල් තැබුණේ ඊට අදාළව බොහෝ අය විරෝධය දැක්වූ නිසයි. ඩග්ලස් දේවානන්ද මහතා පමණක් නොවෙයි චම්පික රණවක මහතා ද ඒ සම්බන්ධයෙන් විරෝධාකල්පයක් දැක්වූවා’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. නමුත් ප‍්‍රශ්න තිබුණත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේද ස්ථාවරය විය.

ඉන්පසුව සභානායකවරයා දැනුම් දුන්නේ මෙම පාර්ලිමේන්තු සතිය 20 වැනි දිනට පමණක් සීමා කරන බවය.

‘‘එහෙම බැහැ. ඊළග දිනයේදී මට ‘කල් තැබීමේ යෝජනාවක්’ ඉදිරිපත් කිරීමට අවශ්‍යයි, පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දුන් පිරිස්වලට දැඩි හිංසා පීඩා සිදු වෙනවා. රජයේ කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති නායකයන්ට පහර දී තිබෙනවා. බොහෝ රජයේ ආයතනවල සේවකයන්ට සේවයට වාර්තා කිරීමට දෙන්නේ නැහැ. වැඩ තහනම් කළ අවස්ථා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව විවාදයක් අවශ්‍යයි’’ විමල් වීරවංශ මහතා එහිදී පැවසීය.

කිරිඇල්ල මහතා පැවසුවේ එසේ ඉඩකඩ ලබා දිය නොහැකි බවය. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් පිරිසක් තමන්ට ස්වාධීනව විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බව දන්වා ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කථානායකවරයා අන් අයගේ අදහස් විමසා සිටියේය.

‘‘ඒ ගැන අපට නම් ගැටළුවක් නැහැ’’ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේය.

‘‘මේ අය බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ආකාරයේ ඉල්ලීමකට ඉඩ දීමෙන් තාක්‍ෂණික ගැටළු ඇති වෙනවා’’ ඊට විරුද්ධව අදහස් දක්වමින් හකීම් මහතා පැවසීය. රතන හිමියන් ද දැක්වූයේ එවන් අදහසකි.

‘‘2005දී ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වූවාට පසුව ඔවුන්ට විපක්‍ෂයේ ස්වාධීන පක්‍ෂයක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබුණා. එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායක විමල් වීරවංශ මහතාට විශේෂ ප‍්‍රකාශ කිරීමේ ඉඩකඩ ලැබුණේ එහෙමයි. එවැනි පූර්වාදර්ශයක් තිබෙනවා’’ දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. අවසානයේ එම ඉල්ලීමට අනුව ඉහත කී පක්‍ෂ නායකයන්ට විපක්‍ෂයේ ස්වාධීන පක්‍ෂ නායකයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලැබිණි.

ඉන් අනතුරුව පැමිණි වේත‍්‍රධාරීවරයා පවසා සිටියේ තමන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවය.

‘‘අපි ගැන නම් ප‍්‍රශ්නයක් නැහැ. අපි විපක්‍ෂයේ වාඩි වෙන්නේ. ඒ පිළිබඳව අපි ලිපියකින් දැනුම් දී තිබෙනවා’’ විමල් වීරවංශ මහතා එහිදී පැවසීය.

‘‘ඔබතුමන්ලා ගැන ප‍්‍රශ්නයක් නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීතුමන්ලා පිළිබඳව තමයි ප‍්‍රශ්නයක් පැන නැගිලා තියෙන්නේ’’ වේත‍්‍රධාරිවරයා පවසා සිටියේය.

‘‘මේක ජාතික ආණ්ඩුවක්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි කොටස්කරුවෙක්නේ’’ අතුරලියේ රතන හිමියෝ එහිදී පැවසූහ.

‘‘මේ කියන දේ ඇත්ත ද?’’ කථානායකවරයා විරුද්ධ පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතාගෙන් විමසා සිටියේය.

‘‘කථානායකතුමනි, කොටසක් ආණ්ඩු පක්‍ෂයේ. තවත් කොටසක් විපක්‍ෂයේ’’ ජෝන් සෙනෙවිරත්න මහතා ඊට පිළිතුරු වශයෙන් පවසා සිටියේය.

එම පිළිතුර ඇසු කාටත් සිනහ පහළ විය.

‘‘ඒ කියන්නේ එක කකුලක් විපක්‍ෂයේ. අනෙක් කකුල ආණ්ඩු පක්‍ෂයේ. ඉතිං කොහාමද මේ අය ගැන තීරණ ගන්නේ’’ විමල් වීරවංශ මහතා සිනා හඩ මැද්දේ විමසා සිටියේය.

කෙසේ නමුත් ඊළග දිනයේ උදේ 11.00ට පෙර විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස හා ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගන්නා පිරිස පිළිබඳ නාම ලේඛනයක් ලබා දීමට ජෝන් සෙනෙවිරත්න මහතා එකග විය. ඒ ලැයිස්තුව ලැබුණු පසු නිත්‍ය ලෙස අසුන් පනවන බව වේත‍්‍රධාරිවරයා පවසා සිටියේය.

‘හයිජැක් කරපු විපක්‍ෂයට අපි අයිති නැහැ’

පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹුණු පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය කතාව සිදු කරන අතරතුර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගත් අතර ආණ්ඩු පක්‍ෂයේ කිසිවකු ඒ අවස්ථාවේදී නැගී සිටියේ නැත. එතුමන් අසුන් ගන්නා අයුරු බොහෝ දෙනකු දුටුවේද නැත. කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ කතාවලට සවන් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගිය අතර ඒ අවස්ථාවේදී ද අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සිය අසුන්වලින් නැගිට ජනාධිපතිතුමන්ට ආචාර කරනු දැක ගත හැකි විය.

දිනේෂ් ගුණවර්ධන මහතා ඉන් අනතුරුව වේගවත් කතාවක් සිදු කළේ, කාගෙත් අවධානය තමා දෙසට යොමු කරවා ගනිමිනි.

‘තමුන්නාන්සේලා හයිජැක් කරපු විපක්‍ෂයට නම් අපි අයිති වන්නේ නැහැ. සම්මුතිය සහ යහපාලනය ගැන තමුන්නාන්සේලා කතා කළත්, මෙතැන තිබෙන අරුමෝසම් සම්මුති ගමේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තවත් එක් ජනාධිපතිවරයකු නොවෙයි. එතුමා තමන්ගේ ජීවිතය බිල්ලට දීලා රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්ත නායකයෙක්. ඒ නිසා එතුමන්ට අවමන් කරන්න එපා. දින 100න් පසුව මැතිවරණයකට යන බවත් අමතක කරන්න එපා.’ ආදී වශයෙන් විමල් වීරවංශ මහතා සිය කතාව සිදු කරගෙන ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් මේසයට තට්ටු කරමින් ලබා දුන් ධෛර්යවත් කිරීම් මධ්‍යයේය. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ කතාවෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරු පිරිසක් ඔහු වට කොට ගෙන සුබ පැතූහ.

‘‘විපක්‍ෂ නායකවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා තමන්ගේ කතාවේදී හිටපු ජනාධිපතිතුමා ගැන එක වචනයක්වත් කතා කළේ නැහැ. සන්ධානට ඡන්දය දීපු ලක්‍ෂ 58ක ජනතාවට ස්තූතිය පළ කළේවත් නැහැ. එහෙම තිබියදී ඔබතුමා කළ කතාව හරි වටිනාවා’’ ඒ පිරිස පවසා සිටියහ.

‘‘දින 100ක් බලා හිටියොත් මේ රට ඉවරයි. තර්ජන ගර්ජනවලට බයවෙලා බැහැ’’ සාලින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා ඒ අතර පැවසීය.

‘‘වැඩිම වුණොත් ඒ අය අපිට හිරේ දායි. හිරේ ඉන්නෙත් අපි වගේ මිනිස්සුනේ. ඒවාට බයවෙලා බැහැ’’ කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා විමල්ට පවසා සිටියේ එවන් අදහසකි.

කෙසේ නමුත් විමල් වීරවංශ මහතා සිදු කළ කතාව කාගේත් දැඩි අවධානයට යොමු විය.

‘විමල් පාර්ලිමේන්තුවේදී හොඳ කතාවක් කළා කියලා ආරංචි වුණා. බොහෝම ස්තූතියි’ හිටපු ජනාධිපතිතුමා ඒ පිළිබඳව සිය ප‍්‍රතිචාරය දක්වමින් එසේ පවසා තිබිණි. විදේශ රටවල ශ‍්‍රී ලාංකිකයෝද දුරකථන ඇමතුම් මගින් විමල් වීරවංශ මහතාගේ කතාව සම්බන්ධයෙන් සිය සුබ පැතුම් පළ කර තිබිණි.

දින 100න් අලූත් රටක් ද? ෆෙඩරල් රටක් ද?

එතැනින් නොනැවතුණු විමල් වීරවංශ මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා(22) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසූ බරපතළ කරුණු රැසක් රට හමුවේ අනාවරණය කර සිටියේ මෙසේය.

‘‘විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේදී සීමිත මාධ්‍යවේදී කණ්ඩායමක් සමග සිදු කළ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(21) The Island පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස පළ කොට තිබුණා. මෙහි තිබෙනවා ප‍්‍රධාන කරුණු තුනක්. එකක් තමයි, ‘උතුරු පළාත නිර්මිලිටරිකරණය(Demilitarisation) කිරීම. ඉන් පැවසෙන්නේ උතුරේ පවතින හමුදා කඳවුරු ඉවත් කරන බවයි. ඒක තමයි දෙමළ ජාතික සන්ධානයට, බෙදුම්වාදී බලවේගවලට වගේම නැවත හිස ඔසවන්න හදන කොටි ත‍්‍රස්තවාදයට උවමනා වුණේ. මේ පිරිසට උවමනා වුණේ උතුරේ ස්ථානගත කර තිබෙන හමුදා කඳවුරු ඉවත්කර ගැනීම. දැන් මේ මංගල සමරවීර අමාත්‍යවරයා කියන්නේ ඒ උවමනාව ඉටු කර දීමට ‘මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය සූදානම් බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා, ‘2009 හතරවැනි ඊළාම් යුද සමයේදී සිදු වූ යුද අපරාධ පිළිඳව සොයා බැලීමට පූර්ණ බලැති දේශීය යුද අපරාධ පරීක්‍ෂණයක්’ සිදු කිරීමට තම රජය සූදානම් බවත් අවධාරණය කොට තිබෙනවා. මේක ඇමෙරිකා එක්සත් ජනපද රජය දිගින් දිගටම කළ ඉල්ලීමක්. නමුත් පසුගිය රජය එය ප‍්‍රතික්‍ෂේප කළා. ඒ වෙනුවට පසුගිය රජය පැවසුවේ ‘යුද්ධයෙන් යම් තැනැත්තකුට යම් පීඩාවක් සිදුව ඇත්නම් පවතින නීතිය අනුව ඔවුනට ඊට අදාළ සහන ලබා දීමට කටයුතු කරනවා’ කියලයි. මේ විදිහට පූර්ණ බලැති දේශීය යුද අපරාධ පරීක්‍ෂණයක් සිදු කරනවා නම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ දේශීය පරීක්‍ෂණයෙන් වරදකරුවන් කරන පිරිස ‘ජාත්‍යන්තර යුද අපරාධ දංගෙඩියට’ යැවිය හැකියි. මේ මගින් ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයට පණිවිඩයක් යවනවා ‘ඔයගොල්ලො මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන්ගේ බෙල්ලට කඩුවෙන් කොටන්න ඕනෙ නැහැ. අපි අපේ ලෝකල් කඩුවකින් ඒගොල්ලන්ගේ බෙල්ලට කොටන්නම්’ කියලා. ඒකට බටහිර රටවල් වඩා සතුටුයි.

මේ සියල්ලට වඩා භයානක දෙයක් තමයි මංගල සමරවීර මහතා එම සාකච්ඡාව අවසන් කරමින් පවසා ඇත්තේ. ඔහු පවසා තිබෙනවා, ‘රෝදය නැවත තනන්න ඕනෙ නැහැ. මංගල මුණසිංහ මහත්තයාගේ වාර්තාවේ තිබෙනවා බලය බෙදීම පිළිබඳව. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ‘පැකේජය’ තුළ තිබෙනවා බලය බෙදීම පිළිබඳව. ඒවායේ සුළු වෙනස්කමක් කරලා කඩිනමින් පුළුල් බලය බෙදීමකට යා හැකියි. ෆෙඩරල් පාලනයකට යා හැකියි’ කියලා. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආවත් මේ රටේ ඒකීයභාවය රැකී තිබෙන්නේ, විධායක ජනාධිපති බලතල 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මේ රටේ හැදෙන්නේ ෆෙඩරල් පාලනයක්. දැන් විධායක ජනාධිපති බලතල දුර්වල කරන්නයි යන්නේ. ඒ අනුව පූර්ණ බලය සහිත ෆෙඩරල් පාලනයක් හදන්නයි යන්නේ.

මෙහෙම දෙයක් කරනවා කියලා මේ අය කිව්වාද? දින 100 තුළ මෙහෙම දේවල් තිබුණාද? ‘දින 100න්’ කියපු දේවල් හරි විදිහට අද කරන්නේ නැහැ. 25 කැබිනට් එක 29 වෙලා තිබෙනවා. ඉන්ධනවලින් සියලූ බදු ඉවත්කර නැහැ. නමුත්, දෙමළ ඩයස්පෝරාවට, බටහිර රටවලට දුන් පොරොන්දු නම් දැන් ඉටු වන බව පෙනෙනවා. දින 100න් අලූත් රටක් හදන බවට ජනතාවගේ ඇස් නිලංකාර වන බොරු ටිකක් කියලා මේ අය දින 100ටත් කලින් හදන්න සූදානම් වන්නේ ෆෙඩරල් රටක්’’

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*