BREAKING NEWS

‘සයිටම් විරෝධී සටනට මහින්ද – විමල් ඕනෙ’

සයිටම් විරෝධී සටන තවත් වටයකින් පෙරට විත් තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය නායකයන් රැසකගේ දෑත්වලට විලංගු වැටී ඇති තත්වයක් තුළ ඊට එරෙහිව ද පසුගිය සතිය පුරා විශ්වවවිද්‍යාල සිසුන් තම විශ්වවිද්‍යාල ඉදිරිපිටත් ප්‍රධාන නගර ගණනාවකත් විරෝධතා පවත්වනු දැක ගත හැකි විය.

ඒ අතර ගෙවී ගිය සතියේ සයිටම් විරෝධී සටනේ ප්‍රමුඛතම විරෝධතා ක්‍රියාමාර්ගය තෝරනු ලැබුවේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමයයි. ඔවුහු පසුගිය බදාදා කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලට රැස්ව දැවැන්ත විරෝධතා පා ගමනකින් පැමිණ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඇරඹූහ.

මෙම විරෝධතාවට දේශපාලන පක්‍ෂවලට ද ඇරයුම් කිරීමට වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමය කටයුතු යොදා තිබිණි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් ජානිපෙ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර යන මහත්වරු ද එම සටන් ක්‍රියාමාර්ගයට එක්ව සිටියහ.

පා ගමන අවසන් වී සත්‍යග්‍රහය ඇරඹෙන තෙක් පුබුදු ජයගොඩ මහතා සමඟ ජයන්ත සමරවීර මහතා සුහද කතාබහක නිරත වී සිටිනු දක්නට ලැබිණි.

‘අද මෙතැනට මහ ගෙදර අය ඔක්කොම එකතු වෙලානේ’ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමයේ ප්‍රබලයකු පුබුදු හා ජයන්ත දෙස බලමින් එසේ කීය.

ඔහු එසේ කීවේ එතැන සිටි ජයන්ත හා පුබුදු මෙන්ම වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමයේ ප්‍රබලයන් කිහිප දෙනකු ද ජවිපෙ මහ ගෙදරින් දේශපාලන අත්පොත තැබූ අය නිසාය.

“සයිටම් විරෝධී සටන, ජවිපෙ, ජානිපෙ, පෙරටුගාමී පක්‍ෂ විතරක් නොවෙයි ජවිපෙ හැරගිය වෘත්තිකයන් ඇතුළු පිරිසක් ද එකට එකතු කර තිබෙනවා” වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය කමිටුවේ තවත් ක්‍රියාකාරිකයකු පවසා සිටියේය.

“සයිටම් ආයතනය මහින්ද රාජපක්‍ෂ පාලනය තිබියදී තමයි, පිහිටුවනු ලැබුවේ. එදා ඔබතුමාලා ඊට විරුද්ධ වූයේ නැද්ද?” ජයන්ත සමරවීර මහතාට එහිදී පැනයක් ඉදිරිපත් විය.

“අපි හැමදාම හිටියේ නිදහස් අධ්‍යාපන අයිතිය දිවි හිමියෙන් ආරක්‍ෂා කළ යුතුයි, කියන තැන. කැබිනට් මණ්ඩලය පවා රවටමින් එස්. බී. දිසානායක එවකට උසස් අධ්‍යාපන ඇමතිවරයා සයිටම් කළමනාකරණ හා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් එක් කරන්න හදන කොට ඊට මූලිකවම විරෝධය පළ කළේ කැබිනට් මණ්ඩලයේ හිටපු විමල් වීරවංශ සහෝදරයා. ත්‍රිමාවිතානලා, වෙනුර එදිරිසිංහලා එදා ‘වෛද්‍ය උපාධි කඩය’ ජනසතු කරන්න තම දිවිය පුද කළා. ඒවා අමතක කරලා අපි මේ රටේ දේශපාලනය කරන්නේ නැහැ” ජයන්ත සමරවීර මහතා අවධාරණය කෙළේය.

“ඔබතුමන්ලා සයිටම් විරෝධී සටනට අතරමඟ දී නේද එකතු වුණේ?” ජයන්තට තවත් පැනයකි.

“නැහැ. මේ සටන පටන්ගත්තේම අපව අත හැරලා. ඒකාබද්ධ විපක්‍ෂයට ඇරයුම් ලැබුණත් කෙනහිලිකම් ද බහුලව තිබුණා. වාසු සහෝදරයාට හූ කියපු එක වගේ දේවල් කාටත් මතකනේ” ජයන්ත සමරවීර මහතා පැහැදිලි කළේය.

“මීට පස්සේ එහෙම දේවල් වෙන එකක් නැහැ” දෙමව්පියන් කිහිප දෙනෙක් පැවසූහ.

“අපේ ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමය මේ සටනට එක් වන ලෙස මේ වන විට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාටත් ඇරයුම් කරලා තිබෙනවා. නිල ජනාධිපතිවරයකු හිටියට, තවමත් මේ රටේ මිනිසුන්ගේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ. ඒකට පිටුපස හරවලා සටන් දිනන්න බැහැ. සටන දිනන්න නම් මහින්දලා – විමල්ලා මේ සටන් වේදිකාවේ ඉන්න ඕනෙ” වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පිය සංගමයේ ප්‍රබලයකු පෙන්වා දුන්නේය.

‘ඔයාලා නම් මාර යාළුවොනේ. ඒත් කෝ නලින්ද?” පුබුදුට හා ජයන්තට සත්‍යග්‍රහය ඇරඹෙන මොහොතේ තවත් පැනයකි.

“නලින්ද ට මම කතා කළා. ඒත් එයා කතා නොකර යන්න ගියා” පුබුදු ජයගොඩගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.

 
About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*