BREAKING NEWS

සැබෑ ඒකාධිපති රෙජීමය, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක යන බලකේන්ද්‍ර තුනම අතට ගත් මේ ආණ්ඩුවද? එසේත් නැත්නම් පැවති ආණ්ඩුවද? ජානිපෙ නායක, විමල් වීරවංශගෙන් යහපාලන ආණ්ඩුවට ප‍්‍රශ්නයක්

01සැබෑ ඒකාධිපති රෙජීමය ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවද? යන්න දැන් ඉතා පැහැදිළි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(30) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ 04හි විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් එහිදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පෙන්වා දුන්නේය.

‘‘රත්නපුරයේදී පැවති බලවත් ජයග‍්‍රාහී රැස්වීමෙන් පසුව තමයි මෙම මාධ්‍ය හමුව කැඳවුයේ. එම රැස්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පනවා තිබූ තහනම නොතකා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වූවා. ඉන් අනතුරුව මතුව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවීමටයි අපි බලාපොරොත්තු වන්නේ.

මේ වන විට අපේ රට දේශපාලන වශයෙන් ඉතාමත් අනාරක්‍ෂිත තත්වයකට ඇදගෙන යමින් තිබෙනවා. ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් පත්ව තිබෙනවා, එක ඡන්දයෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා විපක්‍ෂ නායකවරයකු තෝරාපත්කර ගත්. මේ බලකේන්ද්‍ර තුනම එක් ආණ්ඩුවක් අතේ තිබෙන්නේ, අපේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි. ‘ජාතික ආණ්ඩුව’ කියලා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවට එකතුවෙලා ඉන්න රටවල් හැරුණාම ලෝකයේ මෙහෙම අත්දැකීමක් නැතිව ඇති. සිංගප්පූරුව වැනි ජාතික ආණ්ඩුවක් තිබෙන රටවල පවා නාමමාති‍්‍රකව හෝ විපක්‍ෂ නායකවරයකු වෙනම නියෝජනය වෙනවා. අද ශ‍්‍රී ලංකාවේ මේ බලකේන්ද්‍ර තුනම එකම තැනකට අරගෙන ඉවරයි. එහෙමනම් ‘ඒකාධිපති රෙජීමය’ මේ ආණ්ඩුවද? තිබුණු ආණ්ඩුවද? කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

මේ යහපාලන මහත්තුරු ‘එකාධිපති රෙජීමය’ කියලා හඳුන්වන පසුගිය ආණ්ඩුව කවදාවත් ‘ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි’ කියලා සියල්ල අල්ලා ගෙන හිටියේ නැහැ. පසුගිය ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 150කට වැඩි ප‍්‍රමාණයක් තිබුණා. ඕනෑනම් ඒ ආණ්ඩුවට ඊනියා විපක්‍ෂයක් හදලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ විපක්‍ෂ නායක ධුරයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම ඉඩකඩ තිබුණා. නමුත් ඒ ආණ්ඩුව එහෙම කළේ නැහැ. එහෙම නොකළ ඒ ආණ්ඩුවටත් මේ යහපාලන මහත්වරු කීවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. එහෙනම් ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක කියන වැදගත් තනතුරු තුනම අත්පත්කරගෙන සිටින මේ ආණ්ඩුවට කිව යුත්තේ කවර ‘ඒකාධිපති රෙජීමය’ කියලාද?

මේ තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලද? යහපාලනය කියන්නේ ජනාධිපතිකමයි, අගමැතිකමයි, විපක්‍ෂනායකකමයි කියන මේ තුනම අල්ලලා තියා ගන්නා එකටද? දැන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ විහිළුවක් නොවෙයිද? මේ අනුව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළුවක් අද පැනනැගී තිබෙනවා. මෙම විකාරරූපී, ඒකාධිපති ස්වරූපයේ මෙහෙයුම ගෙන යන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රන් දෙවොල’ මේ රටේ නිර්මාණය කරනවා යැයි කියපු මහත්වරු. මේ අනුව මේ කෙටි කාලය තුළ ඉතා පැහැදිළිව පෙනෙනවා මේ අයගේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතයක් නොවන බව.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා, ‘පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන්න’ කියා. මේ සඳහා දැනටමත් විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 58 දෙනකු අත්සන් තබා තිබෙනවා. විපක්‍ෂ නායක ධුරයේ තවදුරටත් නිමල් සිරිපාල ද සිල්වා මහතා තබා ගත යුතු බවට කථානායකතුමාට ඉදිරිපත් කළ ලිපියට අත්සන් තබා තිබූ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කිහිප දෙනකු ද දිවුරුම් පෙත්සම් මගින් එය වැරදීමක් බව දැනුම්දී තිබෙනවා. දැන් ඔවුන්ද දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටින ලිපියට අත්සන් තබා තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී මෙම සංඛ්‍යාව තවත් වැඩි වේවි. ඉදිරියේදී අපි ඒ ඉල්ලීම කථානායකතුමන් වෙත ඉදිරිපත් කරනු ලබනවා.

‘යුද නායකයන් දඩයම’

මේ වන විට ඉතාම සියුම් මර්දනකාරී මෙහෙයුමක් ඇරඹි තිබෙනවා. හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඉතා තීරණාත්මක අවස්ථාවක කොටි ත‍්‍රස්තවාදයට එරෙහි ගුවන් මෙහෙයුම් සඳහා නායකත්වය දුන් අයෙක්. දැන් එතුමාට විරුද්ධව ඊනියා දූෂණ චෝදනාවක් එල්ල කර පරීක්‍ෂණ සිදුකරනවා. ඒ වගේම හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා කොටුකර ගන්නත් මෙහෙයුමක් දැන් සිදු කෙරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමන් කොටු කරන්න බලාගෙන විවිධ නඩු විභාග, පරීක්‍ෂණ සිදු කෙරෙනවා. රටින් පිට වෙන්න බැරි ආකාරයට ගුවන් ගමන් බලපත‍්‍රය පවා අරගන්නවා. මේ ආකාරයට අද හොරුන් ලෙස හංවඩු ගහන්න හදන හැම දෙනාම යුදමය සමයේ මේ රට වෙනුවෙන් තීරණාත්මක මෙහෙයක් ඉටු කරපු මිනිස්සු. ඒ අතරේ කොටි සංවිධානයේ මුහුදු කොටි නායිකාවට උසාවියෙන් ඇප ලැබෙනවා. ඇය ඇප මත මුදා හැරෙනවා. නැවත කොටි සංවිධානය බිහි කිරීමට ආයුධ සන්නද්ධ වීමේ චෝදනාවට අත්අඩංගුවට පත් වූ අයට ඇප ලැබෙනවා. ඔවුන්ට මල් මාලා දමලා පිළි අරගෙන රැගෙන යනවා. මේක තමයි අද මේ රටේ පවතින තත්ත්වය.

අද රාජ්‍ය බලය යොදා ගන්නවා, මේ රටට යුද ජයග‍්‍රණය ගෙන ඒමට කැප වූ මිනිස්සු දඩයම් කිරීමට. එක පැත්තකින් අවලාද නගමින්, තවත් පැත්තකින් පරීක්‍ෂණ පටන් අරගෙන, පරීක්ෂණවලින් වරදකරු කිරීමට බැරි වුණෙත් අත්අඩංගුවට අරගෙන ටික කාලයක් හරි රඳවා ගන්න මෙහෙයුමක් දැන් මේ යුද ජයග‍්‍රහණයට නායකත්වය දුන් පිරිසට එරෙහිව දියත් වෙමින් තිබෙනවා. අපි අහනවා, ‘එදා යුද්ධය ඉවර වෙලා ඒ සතුට වෙනුවෙන් කිරිබත් කාපු, ජාතික කොඩිය අතට අරන් ඒ සම්බන්ධයෙන් උද්දාමයට පත් වුණු මිනිස්සුන්ට පුළුවන්ද මේ දඩයමට ඉඩ දෙන්න?’ කියලා. මේක ඉතා පහත් පෙළේ දඩයමක්. මේ දියත් වන්නේ විදේශ රටවල, දෙමළ ඩයස්පෝරවේ උවමනාව අනුව යුද්ධයට නායකත්වය දුන් පිරිසගෙන් පළිගැනීමේ මෙහෙයුමක්. ඒ දඩයම දෙස නිහඩව, නිසලව තවදුරටත් බලා ඉන්න බැහැ. ඊට එරෙහිව නැගිටින්න ඕනෙ. ඒ දඩයමට එරෙහිව නැගී සිටින්න පරක්කු වන මොහොතක් මොහොතක් පාසාම මේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න කැප වුණු මිනිස්සු මේ දඩයමේ ගොදුරු බවට පත් වෙනවා. අපි රටේ පොදු ජනතාවගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා මේ දඩයමට එරෙහිව පෙළ ගැසෙන ලෙස. මේ දඩයම් කරන ක‍්‍රියාවලිය තවදුරටත් දිගේලි කළොත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසන් වෙනවා. ඒක වළක්වන්න බැහැ. විපක්‍ෂ නායක ධුරයත් අල්ලන් තියාගෙන ඉන්නේ ඒ වැඬේට. ‘මේ ඊනියා යහපාලන මහත්වරුන්ගේ දඩයමට එරෙහිව වහාම නැගී සිටින්න’ කියන ඉල්ලීම කරන අතරේ අපි බලාපොපොරොත්තු වෙනවා, ඉදිරියේදී මේ දඩයමට එරෙහිවත් මහජන පොළගැස්මක් ගොඩනගන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-03-30

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*