BREAKING NEWS

සිකුරාදා වන විට රටේ ආර්ථිකයේ සිදු වන බිඳ වැටීම සිතා ගැනීමටවත් බැහැ

12829144_893892827395205_3992525318642468681_oවත්මන් ආණ්ඩුව ඉන්දීය මහ බැංකුවෙන් ලබා ගෙන ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක කෙටිකාලීන ණය මුදල ගෙවීමට ලබා දුන් සහන කාලය ද සිකුරාදා වන විට අවසන් වන බවත් එම ණය මුදල ගෙවීමත් සමග මෙරට විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.4 සිට 4.3 දක්වා අඩු වන බවත් ඒ අනුව ආර්ථිකයේ සිදු වන බරපතළ බිඳවැටීම සිතා ගැනීමටවත් නොහැකි වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(09) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ බදාදා විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘තමන්ට ඡන්දය දුන් ලක්‍ෂ 62ක ජනතාවට ‘අලූත් අවුරුදු තෑගි’ ප‍්‍රදානය කිරීම ඊයේ(08) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ආරම්භ කළා. ඊයේ පැටවූ අධික බදු බර හේතුවෙන් මේ රටේ ‘ආර්ථිකයේ අවසානයක ආරම්භය’ සනිටුහන් වූ බව සඳහන් කරන්න පුළුවන්. මේ අධික බදු බර සමග මේ රටේ ආයෝජන හැකිළෙන්න ගන්නවා. ආර්ථිකය එකතැන පල්වීමෙනුත් එහා ගොස් එකවර කඩා වැටෙන්න පටන් ගන්නවා. දැනට මේ රටේ ආයෝජනය කර ඇති මුදල් එළියට ඇදලා ගැනීමේ ප‍්‍රවණතාවය තවදුරටත් වැඩි වෙනවා. ණය ගැනීමට බැරි වෙනවා. විදේශ වත්කම් සංචිතය දවසින් දවස හිඳෙන්න පටන් ගන්නවා.

‘රාජපක්‍ෂ මුවහමට තඩිබෑම’

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද තමන්ගේ ගැලවීමට කරන්නේ ‘රාජපක්‍ෂ මුවහමට තඩිබෑම’. රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නමට නරක ඔක්කොම ටික පටවලා, ‘ඒ බර තමයි අපට කරගහන්න වුණේ’ කියලා කියන ගමන්, ඔහු නොදැනුවත්වම රාජපක්‍ෂ යුගයට සහතිකයකුත් දෙනවා. එතුමාගේ කතාවේදී කියනවා, ‘1987 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වර්ධන ඉපයීම් මත බදු අය කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය දශකයේදී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්තරයන් තුළ පෞද්ගලික ප‍්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යාමට, කොටස් මිල ඉහළ යෑමට මෙම විශාල ප‍්‍රාග්ධන වර්ධනය හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවතුණා’ කියලා.

පසුගිය අවුරුදු 10 කියන්නේ රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පැවැති පාලන කාලය. ‘එම කාලය තුළ පෞද්ගලික ප‍්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා’ කියලා කියන ගමන්ම වික‍්‍රමසිංහ මහත්තයා කියනවා ‘රාජපක්‍ෂ කරුමේ තමයි අපි දැන් මේ ගෙවන්න යන්නේ’ කියලා. යුද්ධයක් කරන ගමන්, ලෝකයේ ආර්ථික කඩා වැටීම් මැද ගිය ගමනක් වුවත් රාජපක්‍ෂ පාලනය තුළ සෑම ආර්ථික දර්ශකයකින්ම ප‍්‍රගතියක් මිස පරිහානියක් පෙන්වලා නැහැ. මම අභියෝග කරනවා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට හෝ ඔහුගේ ගෝලබාලයකුට ‘රාජපක්‍ෂ පාලනයේ ගෙවී ගිය වසර 10 තුළ කුමන ආර්ථික දර්ශකයක හෝ බිඳවැටීමක් තිබෙනවා නම් පෙන්වන්න’ කියලා.

‘ණය බර අඩු කළේ රාජපක්‍ෂ පාලනයයි’

2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට එන විට මේ රටේ ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 103.2%ක අගයකයි පැවතුණේ. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. අවසානයේදී(2014) 75.5% දක්වා එය අඩු කළා. එහෙම නම් රාජපක්‍ෂ යුගය ණය බර වැඩි කරපු යුගයක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ෆිච් රේටින් ආයතනය වුවත් සලකා බලා ඇත්තේ, ‘රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයේ කවර ප‍්‍රතිශතයක්ද?’ කියායි. ජපානයේ නම් මේ අගය 226%යි. සිංගප්පූරුවේ 111%යි. ජර්මනියේ 76%යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 102%යි. මේ අනුව කුහක නොවන ඕනෑම කෙනකුට පෙනෙනවා, ‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ ණය බර කොපමණ අඩු කළාද?’ කියලා. එම ප‍්‍රතිශතය 103.2% සිට 75.5% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්‍ෂ පාලනය සමත් වුණා. නමුත් අද බලන්න, මේ ආණ්ඩුව අධික පොලී අනුපාතික යටතේ ණය ගන්නවා. මේ අය තව අවුරුදු 2 – 3ක් හිටියොත් ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 100% ඉක්ම වූ අගයකට ගෙන යන එක වළක්වන්න බැහැ. ආර්ථිකයේ කිසිදු වර්ධනයක් සිදු නොවී ණය විතරක් ගන්න වුණාම, දළ ජාතික නිෂ්පාදිතයේ කඩා වැටීමක් සිදු වුණාම, ආයෝජනවලට බදු ගහන්න ගියාම ඒ පරිහානිය සිදුවීම වළක්වන්න බැහැ.

‘සිකුරාදා සිදුවන්නේ කුමක්ද?’

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ මේ ඊනියා යහපාලන යුගයේ ගෙවී ගිය මාස 14 දී කොටස් වෙළඳපොළ හරහා පමණක් විදේශ ආයෝජන රුපියල් බිලියන 5994ක් ආපහු රැගෙන ගොස් තිබෙනවා. මේ රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙනවා කියලා පෙනෙනවා නම් ඔවුන් ආපසු තම ආයෝජන රැගෙන යන්නේ නැහැ. ඔන්න මේ ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව. ඉන්දියාවේ මහ බැංකුවට අපේ රටේ මහ බැංකුව ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තිබෙනවා. ගෙවීමට තිබුණේ මේ මාසේ 04 වැනිදායි. නමුත් මේ ආණ්ඩුව ඒක ගෙවුවේ නැහැ. ඒකට හේතුව තමයි, මේ වන විට විදේශ විනිමය සංචිතයේ ඩොලර් බිලියන 5.4ක් පමණක් පැවතීම. ඒක ගෙවුවා නම් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4.3 දක්වා පහත වැටෙනවා. එහෙම වුණා නම් මෙතෙක් මූල්‍ය වෙළඳපොළට මහ බැංකුව විසින් කරන බලපෑමත් නැතිව යනවා. රුපියල ඉතාමත් ශීඝ‍්‍රයෙන් පහතට වැටෙනවා. ඉතිං මේ ආණ්ඩුව මේ ඩොලර් බිලියන 1.1 ගෙවන්න කල් ඉල්ලූවා. ඉන්දියාව කල් දුන්නේ එක සතියයි. මේ සිකුරාදා(11) වෙනකොට මේ ඩොලර් බිලියන 1.1 කෙසේ හෝ ගෙවන්න ඕනෙ. සිකුරාදා මේ ඩොලර් බිලියන 1.1 ගෙවපු ගමන්ම විදේශ විනිමය සංචිතය 20%කින් පහත වැටෙනවා. ඒ සමගම රටේ ආර්ථිකය තවත් පහත වැටෙනවා. ආර්ථික අර්බුදය හැම අතකින්ම පෙනෙන්න පටන් ගන්නවා. අගමැතිවරයාගේ මේ ‘අවුරුදු තෑගි’ ප‍්‍රකාශයට පත් වුණු ගමන්ම ඊයේ කොටස් වෙළඳපොළ 2%කින් පහත වැටුණා. කතාවට පමණක් එහෙම වුණා නම් මේ බදු ක‍්‍රියාත්මක වීමත් සමග ආර්ථිකයේ සිදු වන කඩාවැටීම අපට හිතාගන්නවත් බැරි වේවි. අපි ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා, ‘රාජපක්‍ෂ මුවහමට තඩිබාමින් ඉඳලා හරි යන්නේ නැහැ. ඔයගොල්ලො බලයට ආවේ, රට තිබුණු තැනින් ඉදිරියට ගෙන යනවා කියලා. එහෙම නැතිව තිබුණු තැනින් පහළට රට ඇද වට්ටන්න නොවෙයි’ කියලා. එදා කිව්වේ ‘රනිල් කියන්නේ නළුවෙක් නොවෙයි මොළයක්’ කියලයි. නමුත් අද නම් ‘මොළයක්’ තියා ‘අලයක්වත්’ තිබෙනවා කියලා අපට නම් පෙනෙන්නේ නැහැ.

‘රනිල් සුදුසු චක්ගුඩු පනින්නද?’

ඉන්දීය මහ කොමසාරිස්වරයා එතුමාගේ කාර්යය මණ්ඩලයේ යම් පිරිසක් සමග සිදු කළ කතාවක් පසුගිය දිනවල ඉංග‍්‍රීසි පුවත්පත්වල පළ වුණා. ඒ කතාවේදී ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව විවේචනය කර තිබුණා. ‘සීපා ගිවිසුම ගැන මහින්ද රාජපක්‍ෂ කතා කළා. දැන් කියන ඒවා පුදුමයි’ කියලත් කියා තිබුණා. ඒ වගේම ‘හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සුදුසු දේශපාලනයට නොවෙයි නීතිඥ වෘත්තියට’ කියලත් කියා තිබුණා. දැන් ‘ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් සුදුසු මොනවාටද?’ කියා තෝරන්නේ ඉන්දීය මහ කොමසාරිස්වරයායි. දැන් මම එතුමාගෙන් පොඩි ප‍්‍රශ්නයක් අහනවා ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සුදුසු දේශපාලනයටද, නැත්නම් චක්ගුඩු පනින්නද?’ කියලා.

‘මේ 1987 නොවෙයි 2016’

රටක අභ්‍යන්තර කාරණා ගැන කතා කිරීමට මහ කොමසාරිස්වරයකුට තිබෙන අයිතිය කුමක්ද? වෙනත් රටක නියෝජිතයකු වන ඔහුගේ රාජකාරිය මෙරට සමග රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගෙන යාම පමණයි. අද ඉන්දියාව නැවත ‘ඩික්සිත් යුගයට’ යුගයට යමින් සිටිනවා. එදා ජේ. ආර්. ජයවර්ධන සමයේ මේ රට පාලනය කළේ කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන්. නැවතත් මේ පරගැති නිහීන ආණ්ඩුව යටතේ වත්මන් ඉන්දීය මහ කොමසාරිස්වරයාත් ඔහුට අයිති නැති බලයක් ආරෝපණය කර ගෙන කටයුතු කරනවා. ‘ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය බලාගන්න. ජී. ඇල්. පීරිස් මැතිතුමා කරන්නේ මොනවාද? කියලා එතුමා තීරණය කරයි. රාජපක්‍ෂ පාලන සමය හොඳද, නරකද කියලා මේ රටේ ජනතාව තීරණය කරයි. සීපා ගිවිසුම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා කළාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාම තමයි ජනතා මතයට කන්දීලා සීපා ගිවිසුම අත්සන් නොකළ යුතු බවට අවසන් තීරණයකට ආවේ. ඒ නිසා ඒකට උරණ වෙලා මත පළ කිරීමෙන් වළකින්න. මේ 1987 නොවෙයි 2016.’ කියලා අපි ඉතා ඕනෑකමින් එතුමාට මතක් කර සිටිනවා“

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.03.09

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*