BREAKING NEWS

‘‘සීපා එපා!’’ ජානිපෙ කියයි!

‘‘සීපා එපා!’’ ජානිපෙ කියයි!

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වූයේ පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

‘නිල වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ඉන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිසා එතුමා තමන් සතු විධායක බලයේ අනුහස පාවිච්චි කොට අද වන කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් ජනතාව ලබා නොදුන් ජනවරමක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව කැඳවන්නේ නැතිව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ 95 දෙනාගේ අදහස් විමසන්නේ නැතිව තනිවම තීරණය කරලා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ කොටසක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා.

මෙහෙම වුණේ ජනාධිපතිතුමන්ට ජනවාරි 08 වැනිදා දිනන්න උදව් කළ අයට සලකන්න ඕනෙ නිසයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩුව ඇතුළට ආවොත් දැන් තියෙන තත්ත්වයක් නැති වෙන හින්දා ඒ අය එළියේ ඉන්නවා. එයාලාට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ලබා දෙන්න ඕනෙ. ධනේෂ්වර ආණ්ඩුවක විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධාකයකවරයකුට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ වරප‍්‍රසාද හිමියි. සම්බන්ධන් මහත්තයාත් උදව් කළා ජනාධිපතිතුමන්ට. එයාට විපක්‍ෂ නායකකම දෙන්න ඕනෙ. අපට ආරංචියි ලන්ඩන්, පැරිස්, සූරිච් ඇතුළු යුරෝපීය නගරවල දෙමළ ඩයස්පෝරාවේ පිරිස් ප‍්‍රීතිඝෝෂා නැගූ බව. තව නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තාව එළි දකිනවා. වෙනදාට නම් මේ රටට එන බටහිර බලවතුන් දෙමළ ජාතික සන්ධානය හමු වූයේ නොනිල ලෙසින්. දැන් විපක්‍ෂනායක ධුරය ලැබී ඇති නිසා නිල වශයෙන්ම හමුවේවි. ඊට පසුව කියාවි මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ විපක්‍ෂනායකවරයාත් කියන්නේ මෙහෙමයි කියලා. ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට එරෙහි ජනමතයක් ශ‍්‍රී ලංකාවේ නැහැ කියලා, බටහිර බලවතුන් පෙන්වාවි. ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන් ඉතා ඉහළ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබාදීම මගින් ඇති කොට තිබෙනවා. ඒක මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව එල්ල කරනු ලැබූ මරු පහරක්.

දැන් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඊනියා ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 48යි. රාජ්‍ය නියෝජ්‍ය ඇමති ධුර 45යි. කැබිනට් මණ්ඩලය 25ට සීමා කරනවා කියපු මේ අය ඒ වගේ දෙගුණයක කැබිනට් මණ්ඩලයක් හදාගෙන තිබෙනවා. මේ යහපාලන නඩයට රාජපක්‍ෂ පාලනය සම්බන්ධයෙන් තිබුණු විශාලතම විවේචනය තමයි අමාත්‍ය මණ්ඩලය විශාල එකක් වීම. එහෙම කියපු මේ යහපාලන නඩය අද ජනතාවගේ ඇස්වලට වැලි ගහලා 93ක ‘මෙගා අමාත්‍ය ධුර’ සංඛ්‍යාවක් නඩත්තු කරන්න සූදානම් වෙනවා’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘වත්මන් ආණ්ඩුව සීපා ගිවිසුම කඩිනමින් අත්සන් කරන්නයි සූදානම් වෙන්නේ. ඒක ඉන්දියානුවන්ට මෙරට රැකියා කිරීමටත්, ව්‍යාපාර කිරීමටත් අවසරය ලබාදෙන ගිවිසුමක්. 1815 ගිවිසුම සහ 2002 සටන් විරාම ගිවිසුම යම් කාලයකදී අහෝසි වී ගියා. මෙම ගිවිසුම අත්සන් කළ පසු අවලංගු කිරීම ප‍්‍රායෝගිකව කළ නොහැකියි. මේ ලංකා ඉතිහාසයේ අත්සන් කරන්නට සැරසෙන භයානකම ගිවිසුමයි.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ එය හුදෙක් භාණ්ඩ සඳහා පමණක් බලපාන ගිවිසුමක් නොවී සේවාවන්, වෘත්තීන් සහ ජන ජීවිතය කෙරෙහි පවා බලපාන ගිවිසුමක් වීමයි. ඉන්දියාවේ සේවා ශ‍්‍රමිකයින් කියන්නේ අපේ රටේ සේවා ශ‍්‍රමිකයින්ට වඩා ඉතා අඩු මුදලට තම සේවාව සපයන, ලෙහෙසියෙන් හාම්පුතාට අවනත කරගත හැකි කොට්ඨාශයක්. සමහරවිට දවසේ වේතනය ලෙස ඔවුනට බත්පත පමණක් සෑහෙනවා.’’ නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා සඳහන් කළේය.

‘‘ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක්. ඉන්දියාවේ රැකියා විරහිත ජනගහනය පමණක් මිලියන 60ක්. ඉන් මිලියන 10ක් මෙම ගිවිසුම යටතේ මෙරටට පැමිණියහොත් ඊට සමානව ලංකාවේ මිලියන 10කට රැකියා අහිමි වෙනවා. ඉන්දීය ලාභ ශ‍්‍රමය නිසා මෙය වැළැක්විය නොහැකිය. මෙම ගිවිසුම යටතේ මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට ඉඩම් පවා ලබාදීමට අපට සිදුවෙනවා. මේ ගිවිසුම යටතේ මෙරටට පැමිණෙන සෑම ඉන්දීය ජාතිකයකුටම ඉන්පසු තම පවුලේ සියලූ දෙනා ද මෙරටට ගෙන්වා ගත හැකියි. යෝජිත දනුෂ්කොඩි සිට මන්නාරමට ඉදිකරන ගොඩබිම් මාර්ගය හරහා ඉතා පහසුවෙන් මොවුන් ලංකාවට පැමිණේවි.

දැනට ඉන්දියාව ලංකාව සමග අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම(FTA) ලංකාවට අතිශය අවාසිදායක ප‍්‍රතිඵල ලබාදී තිබෙනවා. ඉන්දියාව එයින් අපට එරෙහිව අධික වාසි ලබනවා. සීපා ගිවිසුම අත්සන් කළ පසු ලංකාවේ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමට ඉන්දීය ධිවරයන්ට අප පහසුකම් ද සැපයිය යුතුයි. කොතෙක් ඉල්ලීම් කළත් මෙම ගිවිසුමේ නිල කෙටුම්පත මේ වනතුරුත් නිකුත් කර නැහැ. ඊට හේතුව එය සම්පූර්ණයෙන් ම ඉන්දියාව විසින් සකස් කරන්නක් වීමයි.’’ සීපා ගිවිසුමට එරෙහිව අපි ජනතාව දැනුම්වත් කිරීම වහාම සිදු කළ යුතුයි’’ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතාගේ අදහසට හා යෝජනාවට කාගේත් අනුමැතිය පළ විය.

2015-09-13 jnp gossip

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*