BREAKING NEWS

සෝමවංශ අමරසිංහ සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය!

13404014_954379528013201_381861326113502181_oජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වූද ජනතා සේවක පක්‍ෂයේ වත්මන් නායකයා වූද ලාංකීය විප්ලවය වෙනුවෙන් සිය දිවිය කැප කළ, නිර්ව්‍යාජ විප්ලවවාදියකු වූ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ අභාවය අසා අප බෙහෙවින් ශෝකයට පත්වීමු.

1969දී ජනතා විමුක්ති පෙරමුණෙන් තම දේශපාලන දිවිය ඇරඹු සෝමවංශ අමරසිංහ සහෝදරයා 2015දී ඉන් ඉවත්ව යනතෙක් පුරා වසර 46ක් පක්‍ෂ නායකත්වය දක්වා වූ විවිධ වගකීම් ඉටුකිරීමට නිස්සරණාධ්‍යාශයෙන් සහ දිවිහිමියෙන් කැප වූ අන්දම ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තබා තිබේ.

80 දශකය අගභාගය වන විට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් අතුළු 60000කට අධික එහි සාමාජිකයන් මරා දමා පක්‍ෂය යළි නොනැගිටින සේ මර්දනය කිරීමට එවකට පැවති දුර්දාන්ත පාලනය කටයුතු කළේය. ඒ අඳුරු පැයේ දිවි ගලවාගත් සෝමවංශ අමරසිංහයන් ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීමට ලබාදුන් අසහාය නායකත්වය, ලාංකීය සමාජයට යහපත් හෙට දිනයක් ප‍්‍රර්ථනා කළ කිසිදු කෘතවේදී මිනිසකුට අමතක කළ නොහැක. 1990 සිට 2001 දක්වා පුරා වසර 11ක් විදෙස්ගතව සිටිමින් ජවිපෙ නායකත්වය මෙන්ම ජාත්‍යන්තර කටයුතු ලේකම් ධුරයද දැරූ ඔහු පක්‍ෂය යළිත් දෙපයින් සිටුවීමට සමත්විය.

මාතෘභූමියට අප‍්‍රමාණ ලෙස ආදරය කළ සැබෑ දේශප්‍රේමියකු වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා, බෙදුම්වාදී ජාතිවාදී කොටි ත‍්‍රස්තවාදයෙන් එය බේරාගැනීම සඳහා වූ මතවාදී අරගලය ජවිපෙ හරහා සමාජගත කළ උපායමාර්ගික විශේෂඥයා ද වූ බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.

එසේම 2001දී පොදුජන එක්සත් පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම, 2004දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකිරීම, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීම ආදී ඔහුගේ නායකත්වය යටතේ ජවිපෙ ගනු ලැබූ නිවැරදි දේශපාලන තීන්දු, අපගේ මාතෘභූමියට කොටි පරදවා විජයග‍්‍රහණයක් ලැබීමට ද උපස්ථම්භක වූ බව මේ මොහොතේ සටහන් කළ යුතුව ඇත.

සෝමවංශ අමරසිංහ සහෝදරයා අප අතරින් සමුගන්නේ ඔහුගේ අමිල සේවය මේ මාතෘභූමිය තවදුරටත් ඉල්ලා සිටින මොහොතකය.

සෝමවංශ අමරසිංහ සහෝදරය, ඔබට අපගේ විප්ලවීය ආචාරය!

විමල් වීරවංශ (නායක)
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්
ජාතික නිදහස් පෙරමුණ
2016-06-15

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*