BREAKING NEWS

හවුල් ආණ්ඩුවක කොටස්කරුවන් වන්නේ නැහැ. විපක්‍ෂයේ සිටිමින් එජනිසට ඡන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් සුරකිනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

තම පක්‍ෂය කිසිවිටකත් හවුල් ආණ්ඩුවක කොටස්කරුවකු නොවන බවත්, විපක්‍ෂයේ සිටිමින් එජනිසට ඡන්දය ලබාදුන් ජනතාවගේ අයිතීන් සුරැකීමට කැපවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(24) දින නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති පොදු විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මහ මැතිවරණයට පසුව අප පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුව මෙය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ජනතාවට ගෞරවය හා ප‍්‍රණාමය පුදකර සිටිනවා.

පසුගිය මැතිවරණය ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක්’ කියා බොහෝ අය අර්ථකථනය කරනවා. නමුත් මෙය සාධාරණ මැතිවරණයක් වීමට නම් රටේ විධායක ජනාධිපතිවරයා එක් පාර්ශ්වයකට වාසි සැලසෙන ක‍්‍රියාමාර්ග නොගත යුතුව තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා, රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු බලවේගවල ඡුන්දයෙන් දිනපු ජනාධිපතිවරයා, තමන් දිනවපු බලවේග දිනවීම සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයෙන් ජය නොලබන බවට මතයක් තහවුරු කිරීමට දරුණු ක‍්‍රියාමාර්ග ගණනාවක්ද ගනු ලැබුවා.

එවැනි තත්වයක් ඇතුළේ වුවත් මන්ත‍්‍රී ධුර 95ක් දිනාගන්න ලැබීම ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස තමයි අපි දකින්නේ. මෑත ඉතිහාසයේ බලවත්ම විපක්‍ෂය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කරමින් තමයි මහ මැතිවරණය අවසන් වුණේ. මැතිවරණය අවසන් දින කිහිපයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගනු ලැබූවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ලිපියක් එව්වා, එජනිස මහ ලේකම්වරයා එම ධුරයෙහි කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ගත්තා, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්ව තිබූ දින 02 තුළ සති අන්ත පුවත්පත්වල මුල්පිටුවල ‘සන්ධානය ජය නොගන්නා බවට වූ පරණ පත්තර පිටු’ දැන්වීම් ලෙස පළ කරනු ලැබුවා.

මේ සියලූ පියවරයන්හි ප‍්‍රතිඵලයක් ලෙස නාගරික ජනකොටස් තුළ යම් ව්‍යාකූල තත්වයක් නිර්මාණය කරන්න ඔවුන්ට හැකිවුණා. මැතිවරණ ප‍්‍රතිඵලය දෙස බැලීමේදී වුවත් යම් දිස්ත‍්‍රික්කවල ප‍්‍රතිඵලවල අසාමාන්‍ය තත්වයක් දැකගත හැකියි. ඒවා පිළිබඳව අපි දැනටමත් අධ්‍යයනය කරමින් සිටිනවා. කෙසේ වෙතත් මහජනතාව මේ පිළිබඳව බරපතළ සැක සංකා පළකර තිබෙනවා. දැනට ඒ පිළිබඳව අදහස් දැක්වීමට අප ඉක්මන් වන්නේ නැහැ. අපේ අධ්‍යයනයෙන් අනතුරුව ජනතාවට ඒ පිළිබඳව නුදුරේදීම පවසනවා.

‘දේශපාලන පක්‍ෂ සහ ජනතාව අතර වන බැඳීම’

ජනතාව බුලත් කොළයට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමග හවුලක් හදන්න නොවෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් ජනතාවත් කියන්නේ තමන් ඡන්දය දුන්නේ ශ‍්‍රී ලනිපය සමග හවුලේ ආණ්ඩුවක් හදන්න නොවෙයි කියලයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජාතික ආණ්ඩුවක් හදනවා කීවත් එජාපයට ඡන්දය දුන් බහුතර ජනතාවගේ මතය වූයේ ‘හැදිය යුත්තේ යූ.එන්.පී ආණ්ඩුවක්’ යන්නයි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදන්න බැරිවුණා නම් අපි විපක්‍ෂය විදිහට ඊට ඡන්දය දුන් ජනතාවගේ අයිතිය සහ ගෞරවය ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. ඡන්දයකදී දේශපාලන පක්‍ෂ සහ ඊට ඡන්දය දෙන ජනතාව අතර ඇති වන බැඳීම කෙබඳුද? ඡන්දය දෙන ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව ඉටු කිරීමයි. ඒ නිසා ඡන්දය දුන් ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව අත්හැර වෙනත් භූමිකාවකට පණ පෙවීමට එම පක්‍ෂයට හැකියාවක් නැහැ. 106ක පමණ ආසන සංඛ්‍යාවක සිටි එජාපය ශක්තිමත් කරන්න අපි කවරකු හෝ කටයුතු කරනවානම් ඒක සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටු පෑමක්. නීතිමය අයිතීන් ගැන පමණක් හිතන අයට ඒ ගැන පමණක් සිතා ජනතාව සමග වන සදාචාරාත්මක බැඳීමට පයින් ගැසිය හැකියි. නමුත් ජනතාව සමග වන සදාචාරාත්මක බැඳීමට ගරු කරන අපි වගේ දේශපාලන පක්‍ෂවලට එසේ කටයුතු කිරීමට බැහැ. ඒ නිසා අපි වෙන වෙනමත්, ඒකාබද්ධවත් අපට ඡන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් සුරැකීමට පෙනී සිටිනවා.

‘වාරණ නියෝග ගත්තේ කූඨ ලේඛන පෙන්වලා’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා එම ධුරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් ඡන්ද ප‍්‍රචාරක කටයුතු අවසන් වන මොහොතේ වාරණ නියෝගයක් ගැනීමට මේ අය කටයුතු කළා. එම වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ උසාවිය නොමග යවමින්, කූඨ ලේඛන භාවිතා කරමින් බව දැන් හෙළි වී තිබෙනවා. මගේ අතේ තිබෙන්නේ එවැනි ලේඛනයක්. එය දුමින්ද දිසානායක මහතා විසින් යවනු ලැබූ ‘පෙරකලාසියක්.’ නමුත් එහි අත්සන් තබා ඇත්තේ විශ්වා වර්ණපාල මහතායි. ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘පෙරකලාසි’ (තමන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට බලය පවරන ලේඛන) කූඨ ලේඛන බවයි පෙනෙන්නේ. ‘දුමින්ද අත්සන් කළ යුතු තැන වර්ණපාල අත්සන් තබලා, වර්ණපාල අත්සන් කළයුතු තැන දුමින්ද අත්සන් තබලා’ බවයි පෙනෙන්නේ. මට ඒක හමු වුණේ නැහැ. මෙහෙම ලේඛන දීලා තමයි නියෝග ගත්තේ. පවතින මැතිවරණ නීතිය අනුව මහ මැතිවරණයකට නාම යෝජනා භාරදුන් මොහොතේ සිට ජාතික ලැයිස්තුව නම්කර යවන තෙක් මැතිවරණයට තරග වදින පක්‍ෂයක මහ ලේකම්වරයා වෙනස් කරන්න බැහැ. නමුත් මේ අය කූඨ ලේඛන පෙන්වලා සන්ධානයේ මහලේකම්වරයා ඉවත් කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ඔබ සැම අප කෙරෙහි තැබූ විශ්වාසය අපි ආරක්‍ෂා කරනවා. රටට හතුරු න්‍යාය පත‍්‍රයක ගමන් කරන මේ ආණ්ඩුව සමග අපි කිසිවිටකත් අත්වැල් බැඳ ගන්නේ නැහැ. ජනවාරි 08 වැනිදා පරාජයෙන් පසුව ධෛර්යසම්පන්නව, සවිමත්ව නැගී සිටි අන්දමින්ම ලෙස මේ අවස්ථාවේදීත් නැගී සිටින ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‘ජාතික ලැයිස්තු මංකොල්ලය’

මේක තමයි, මේ රටේ විතරක් නොවෙයි මා සිතන අන්දමට ලෝකයේ පවා ජාතික ලැයිස්තුවක් සම්බන්ධයෙන් සිදු වූ බරපතලම මංකොල්ලය. 40 දශකයෙන් පසුව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අද ලංකා සම සමාජ පක්‍ෂයට පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් නැති වී තිබෙනවා. COPE කාරක සභාවේ සභාපතිවරයා ලෙස විශිෂ්ට භූමිකාවක් ඉටු කළ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ඩිව් ගුණසේකර මහතාට අද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිකර තිබෙනවා. අවම වශයෙන් පැරණි වමේ ව්‍යාපාරයට අයත් එම පක්‍ෂ දෙකේ පාර්ලිමේන්තු නියෝජනයවත් සලකා බැලිය යුතුව තිබුණා, ජාතික ලැයිස්තුව සකස් කිරිමේදී එසේ නොසලකා හරිමින් කටයුතු කර එජනිස ජාතික ලැයිස්තුව ‘අනාථයන්ගේ ලැයිස්තුවක්’ බවට පත් කළා. ජාතික ලැයිස්තුවක් ‘පින්නවල අලි අනාථාගාරය’ වගේ විය යුතුද? මේ තත්වය ජනතාව දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා. මේක යහපාලනයකට නොවෙයි කවර අන්දමේ පාලනයක මූලධර්මයකටවත් අදාළ වන්නේ නැහැ. අපි කණගාටු වෙනවා එවැනි තත්වයකට එජනිස ජාතික ලැයිස්තුව හදපු අය පත්වීම ගැන.

ඉදිරියේදී අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙනවා. ඒවාට මුහුණ දීමට අපි සූදානම්. මේ රටේ ප‍්‍රගතිශිීලී, වාමාංශික බලවේග බෙලහීන කරලා තමන් අපේක්‍ෂා කරන, තමන් බාරගත්තු කොන්ත‍්‍රාත්තුව ඉතාම වේගයෙන් ක‍්‍රියාත්මක කරන්නයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒකට පූර්ව කොන්දේසිය තමයි විරුද්ධ පක්‍ෂය යටත්කර ගැනීම. ඒ න්‍යාය පත‍්‍රයයි දැන් ක‍්‍රියාත්මක වෙන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනාධිපතිවරයා හරහා ජාතික ආණ්ඩුවක කොටස්කාරයෝ කරන්න යන්නේ ඒකට. ඇත්ත වශයෙන්ම මෙතැන තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයි, හවුල් ආණ්ඩුවක්. මේ හවුල හැදෙන්නෙත් එජාපය සහ ශ‍්‍රී ලනිප කොටසක් අතරයි. අද එකසිය ගණනක ඇමති මණ්ඩලයක් හැදෙන ලකුණු පෙන්වලා තියෙනවා. මම දන්නේ නැහැ උදේ හවා යහපාලනය ගැන දෙසා වදාරන ස්වාමීන්වහන්සේලා මේ ගැන කුමක් කියයිද, කියලා.

මේ රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල කරන්න, බටහිර අධිරාජ්‍යවාදීන් ලබා දීපු කොන්ත‍්‍රාත්තු ටික ඉටු කරන්න, තමන්ට උදව් කරපු කල්ලිවලට කප්පම් දෙන්න නම් විපක්‍ෂයක් නැති වෙන්න ඕනේ. ඒ න්‍යාය පත‍්‍රයයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ, ‘තමන් පත් කළ නියෝජිතයන්ට ඒ උගුලට හසු වෙන්න ඉඩ දෙන්න එපා!’ කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-08-24

11954809_799360100181812_2375490580721835458_n11902430_799360093515146_8161964586446343412_n11896242_799360033515152_1940916006915934204_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*