BREAKING NEWS

‘හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලාලු’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.

එහිදී විශේෂ අවධානය යොමු වූයේ, ‘ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට දඬුවම් දෙන්න අලුත් නීති ගේනවා’ යනුවෙන් අගමැතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සහ ඒ හා බැඳුණු රට තුළ ආගම්වාදය සහ ජාතිවාදය ඉස්මතු වී ඇතැයි සඳහන් කරමින් කැබිනට් මණ්ඩලය නිකුත් කර ඇති විශේෂ නිවේදනය පිළිබඳවය.
“ඕන්න දැන් ‘හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා’ අපි ගිය සතියේදීත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ආණ්ඩුව ඉතාමත් සූක්‍ෂ්ම ආකාරයට සිංහල – මුස්ලිම් ගැටුමකට පාර කපන බව අපි රට හමුවේ තැබුවා. ආණ්ඩුව හොර රහසේ කර ගෙන ගියපු මේ වැඬේ දැන් ඒ අය අතින්ම ‘ලීක්’ වෙමින් තිබෙනවා. ඒ අය හදන ගැටුම වළක්වන්න, ඒ අයම දැන් නීති හදන්නත් යනවා. හොර රහසේ ජාතිවාදී -ආගම්වාදී ගැටුමක් හදන්න යන ගමන් එළිපිට ඒවාට එරෙහි නීති හදන්න යනකොට කුඩා දරුවකුට වුවත් තේරෙනවා වෙන්න යන දේ” ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
“ජාතිවාදය – ආගම්වාදය මඩින්න අලුත් නීති හදනවා කියලා අගමැති තරවටු කරනකොට, කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. ඇත්තෙන්ම ජාතිවාදී – ආගම්වාදී ප්‍රවණතාවන් පැරදවීමට මේ ආණ්ඩුවට ඕනෑනම් පළමුව කළ යුත්තේ මේ විදියේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමද? ඔවුන් කළ යුත්තේ ආගමික නායකයින් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කොට ගැටුම්කාරී ප්‍රණතාවයන් පැරදවීමට පියවර ගැනීමයි. නමුත් මේ අය දැන් ඉතාම ඉක්මනින් තමන්ගේ අභිලාසය ඉටුකර ගන්නයි හදන්නේ. ඒ හින්දා ඔවුන් සිංහල – මුස්ලිම් ගැටුමක් හදන ගමන්, එය මැඩලීමට අලුත් මර්දන නීතිත් ගෙන එනවා. කැබිනට් මණ්ඩල විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණේ පසුගිය දිනවල ඇති වූ ස්වාභාවික ආපදාවෙන් විපතට පත් වූ ලක්‍ෂ 7කට ආසන්න ජනතාවට සහන සලසන ආකාරය ගැන කියලයි. කිසිම සංවේදීකමක් නැති මේ ආණ්ඩුව අද කිසිම හිරිකිතයකින් තොරව තම පටු උවමනාව සපුරා ගැනීමට එළිපිටම කටයුතු කරන බවයි පෙනේන්නේ.” විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
“අද බඩු මිල අහස උසට නැගලා. හාල් කිලෝවට, බත් පැකට් එකට, ප්ලේන්ටියට, ආප්පයට පවා පාලන මිලක් ගෙනල්ලා දින 100කදි මාධ්‍ය සංදර්ශන පෙන්වපු මේ ආණ්ඩුව යටතේ අද හාල් කිලෝව කීයද? පොල් ගෙඩිය කීයද? අද මේ ආණ්ඩුව නිවේදන නිකුත් කළ යුත්තේ මේවා ගැන නොවෙයිද?” ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.
“දැන් වසර 02කට අධික කාලයක් තිස්සේ පළාත් පාලන ඡන්දය කල් දමා තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ තීන්දුවත් තවම ලැබී නැහැ. එමගින් පිළිබිඹු වෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වභාවය නොවෙයිද? කැබිනට් මණ්ඩලය නිවේදන නිකුත් කරනවා නම් නිකුත් කළ යුත්තේ මෙවැනි කාරණා හමුවේ නොවෙයිද?” ජාතික සංවිධායක හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා තවදුරටත් සංවාදය තීව්‍ර කරමින් අදහස් පළ කළේ එසේය.
“අපේ වගකීම වෙන්නේ මේ ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාදාමය රට හමුවේ තැබිමනේ. ඊට අපේ ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාව බොහෝ සෙයින් උපකාරී වේවි. සම්මන්ත්‍රණ මාලාව අයහපත් කාලගුණ තත්වය මත කල් දැමීමට සිදු වුවත් ජුනි 24 වැනි සෙනසුරාදා සවස බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී එහි පළමුවැන්න පවත්වනවා. ජුලි මාසය පුරාම මේ ජනතා සම්මන්ත්‍රණ මාලාව සෙසු දිස්ත්‍රික්කවල පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා” ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සඳහන් කළේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*