BREAKING NEWS

ෆෙඩරල් ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරන්න හදන තක්කඩි ක්‍රමවේදය මේකයි!

ෆෙඩරල් ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරන්න හදන තක්කඩි ක්‍රමවේදය මේකයි!

– විමල්ගෙන් විශේෂ අනාවරණයක්!

මහජනයාට අධිකරණය හමුවට යාමට තිබෙන අයිතිය මඟ හරිමින්, යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී භයානක සංශෝධන රැසක් ගෙනවිත් එය සම්මත කර ගැනීමේ තක්කඩි ක්‍රමවේදයක් එදා ජේ. ආර්. ජයවර්ධන පාලනය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදීද මේදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් ඇතුළු තවත් පනත් කෙටුම්පත 04ක් සම්මත කර ගැනීමේදී ද අනුගමනය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එසේම එම තක්කඩි ක්‍රමවේදයටම රටේ ඉරණම තීරණය කරන, රටේ මූලික නීතිය බවට පත් වන නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට මෙම අෘණ්ඩුව සැරසෙන බවට ඒ මහතා අනතුරු හඟවා සිටියි.

අද (24) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කවුරු කවර මාතෘකා ගෙනවිත් යට ගහන්න හැදුවත් අද රට හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය තමයි, බෙදුම්වාදී බලවේගවල උවමනාවට ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ගෙනවිත් තිබෙන, ‘නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත’ පිළිබඳ ප්‍රශ්නය. ඔබ දන්නවා, දෙමළ බෙදුම්වාදය මේ රටේ ව්‍යවස්ථාවෙන් තමන්ගේ බෙදුම්වාදී මනදොල සපුරා ගන්න දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව.

‘මාමාගේ සහ බෑණගේ තක්කඩි ක්‍රමවේදය’

එදා ඉන්දියානු බලහත්කාරයට යටත්ව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවෙත් අවි දරපු බෙදුම්වාදී කල්ලි හිලෑ කර ගැනීමට යැයි කියමින්. එදා 13 වැනි අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ තක්කඩි ක්‍රමවේදය අද පාර්ලිමේන්තුවේදී ඔහුගේ බැණන්ඩිය වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් අනුගමනය කරමින් තිබෙනවා. ඒ ක්‍රමවේදය තමයි, යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිගන්නා බව මතුපිටින් පෙන්වමින් වෙනත් තාක්‍ෂණ විධි ක්‍රමයක් මගින් එම ශ්‍රේෂ්ඨාධිකරණේ මතය අභියෝගයට ලක් කිරීම. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනමත විචාරණයකට නොගොස්, එදා සිටි නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන, ජේ. ආර්. ජයවර්ධනට උවමනා අන්දමටයි. එහිදී ජනමත විචාරණය මඟ හැර ගොස් තිබුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේදී කිහිප වරත්ම තම මාමාගේ භාවිතය පෙන්වනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවනු ලබන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහිතව පාර්ලිමේන්තුවට ආවාම කාරක සභා අවස්ථාවේදී එයට සංශෝධන ගණනාවක් ඇතුළත් කරවීම මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තම දේදුනු වර්ණ ගැන්වූ කල්ලිය හරහා සිදු කරනවා. එම සංශෝධන මොන තරම් භයානක වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවත් ඒවාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට රටවැසියාට බැහැ.

‘අවසානයේ සම්මත වන පනත වෙනස්ම එකක්’

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 13 වැනි අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදීත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගියදා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ තවත් පනත් කෙටුම්පත් 04ක් සම්මත කර ගැනීමේදීත් උපයෝගී කර ගත්තේ මේ තක්කඩි කූඨ ක්‍රමවේදය. මෙතැනදී සිදු වන්නේ අධිකරණයේ නිර්දේශ සම්පූර්ණයෙන් ඉවත දමලා කාරක සභා අවස්ථාවේදී විශාල සංශෝධන ප්‍රමාණයක් මුලින් ගෙන ආ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා, සම්පූර්ණයෙන්ම වෙනස්, භයානක පනත් කෙටුම්පතක් අවසානයේදී සම්මත කර ගැනීම.

‘නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නෙත් මේ තක්කඩි කූඨ ක්‍රමවේදයටමයි’

‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සූදානම් වී ඉන්නේ ද ඉහත තක්කඩි කූඨ ක්‍රමවේදයටමයි. එදා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරන්න රතු අලි පැටව් 06 දෙනා අත ඉස්සුවේ මේ හොර තක්කඩි ආණ්ඩුවේ, ඉහත කී තක්කඩි ක්‍රමවේදයට තමන්ගේ තිබෙන පක්‍ෂපාතීත්වය පෙන්වමින්. අධිකරණය මඟ හැරලා, අධිකරණයට මහජනයාට යන්න තිබෙන අයිතිය මඟ හැරලා, යම් පනත් කෙටුම්පතකට කාරක සභා අවස්ථාවේදී භයානක සංශෝධන රැසක් ගෙනල්ලා එය සම්මත කිරීමේ තක්කඩි ක්‍රමවේදයට පක්‍ෂපාතී වෙලා එදා රතු අලි පැටව් 2/3ක බලයකුත් රනිල් වික්‍රමසිංහට හදා දුන්නා.

‘ඒකීය ව්‍යවස්ථාව ෆෙඩරල් කරන හැටි’

ඒ ක්‍රමයටම තමයි මේ රටේ ඉරණම තීරණය කරන, මේ රටේ මූලික නීතිය බවට පත් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න යන්නෙත්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන විට තිබෙන්නේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක්. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරනු ලබන සංශෝධනවලින් තමයි එය ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පෙරළෙන්නේ.

‘මධ්‍යම ආණ්ඩුව නමට පමණයි’

‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ යන නමින් පසුගිය 21 වැනිදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇතුළත් නිර්දේශ ටික ක්‍රියාත්මක කළාම මේ රටේ මධ්‍යම ආණ්ඩුව කියා එකක් ඉතිරි වන්නේ නැහැ. නමට පමණක් මධ්‍යම ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් තිබෙනවා. නමට පමණක් ජනාධිපතිවරයකු ඉන්නවා. සමගාමී ලැයිස්තුව අහෝසි කර එහි තිබූ බොහෝ විෂයයන්ට අදාළව නීති හැදීමේ බලය ද පළාත් සභාවලට දෙනවා. පොලිස්, ඉඩම්, පරිපාලන, මුදල් පාලනය පිළිබඳ බලය යන සියල්ලම පළාත් සභාවට දෙනවා. මේ නිර්දේශවලින් පළාත් සභා දෙකක් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් කියා තිබෙනවා. ‘උතුරු – නැඟෙනහිර එක පළාත් සභාවක් ලෙස සලකලා වැඩ පටන් ගනිමු’ කියා මේ වාර්තාවෙන් කියා තිබෙනවා.

‘රටේ මූලික නීතිය හැදෙන්නේ බාහිර බලවේගවල උවමනාවට’

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට කියා තිබෙනවා ‘අපි පොරොන්දු වූ ආකාරයට ඉතා කල්පනාකාරීව, සෙමින් ඔබගේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටිනවා’ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට මම අත්සන් කළා. නව ව්‍යවස්ථාව සැදීමට අදාළ කෙටුම්පතක් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) දිලා තිබෙනවා’ කියලා. ඒ අනුව පැහැදිලියි, GSP+ බදු සහනය දෙන්න යුරෝපා සංගමය දාපු කොන්දේසිය අනුව, ජිනීවා යෝජනාව අනුව, දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් අනුව තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ කියලා. රටක මූලික නීතිය වෙනස් වෙන්න ඕනෑ බාහිර බලවේගවල වල උවමනාවන් අනුවද? මේ රටේ ප්‍රගතිදායක තත්වයක් ඒ මගින් ඇති වේවි ද?

ආණ්ඩු 09ක්, සබරගමුවේ එක නීතියක්, උතුරු – නැඟෙනහිර තව නීතියක්. මෙවැනි ක්‍රමයකින් අවුල් වියවුල් ඇති වෙනවා. රටම අරාජික වෙනවා. මේ පුංචි රට එවැනි අරාජික තත්වයකට ඇද දමන්නද රණවිරුවෝ 27,000ක් අවසන් සටනේදී දිවි පිදුවේ, 23,000ක් ආබාධිත තත්වයට පත් වුණේ? ඒ අමිල කැප කිරීම කරපු ඒ මිනිසුන්ට අපි කරන ප්‍රතිඋපකාරයද මේ? මේ රටේ මිනිස්සු ඊනියා සංහිඳියා බණ කියන ඩොලර් කාක්කන්ගේ වචනවලට රැවටිලා මේ අපරාධය සිදු කරන්න ඉඩ දුන්නොත්, පාර්ල්ිමේන්තුවට තමන් පත් කරලා යවපු මන්ත්‍රීවරුන් මේ අපරාධයට අත උස්සන තුරු නිහඬව බලා සිටියොත් අනාගත පරපුරට රටක් ඉතිරි වෙන්නේ නැහැ.

දෙමළ බෙදුම්වාදයේ උවමනාව උතුරු – නැඟෙනහිරට වෙනම ස්ව-පාලනයක් ලබා ගැනීමයි. මේ ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් එය ඉටු වෙනවා. ඒ වගේම දැන් දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදු වුණාය, කියන එකත් ඔප්පු කර ගැනීමට අදාළ කටයුතු සිදු වෙමින් තිබෙනවා. ‘ස්ව පාලනයක් ගෙන ගියා. අපට වෙනස් ලෙස සැලකුවා ( යුද අපරාධ සිදු වුණා) කියා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට බෙදී වෙන්වීමේ යෝජනාවක් රැගෙන යාමයි දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව. ඒ සඳහා ඔවුන්ට බටහිර හාම්පුතුන් උදව් කරනවා. ඉහත කොන්දේසි දෙකෙන් එකක් ඉටු කර දීමටයි, මේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලහිලහියේ හැදෙමින් තිබෙන්නේ. ලේ හලලා, පණ දීපු මව්බිමේ ඒකීයභාවය අහිමි කිරීමේ මාවතකයි අද මේ රට ඇදගෙන යන්නේ.

‘කිසිදු රටවැසියකුට සහනයක් ලැබෙන්නේ නැහැ’

උතුරු – නැඟෙනහිර ස්ව-පාලන ඒකකයක් හැදුණා’ කියලා එහි වෙසෙන දෙමළ, මුස්ලිම් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ හැදෙන ස්ව-පාලන ඒකකය බටහිර තිප්පොළක් වීමයි සිදු වෙන්නේ. මේ නව ව්‍යවස්ථාවෙන් දෙමළ – මුස්ලිම් ජනතාව ඇතුළු කිසිදු රටවැසියකුගේ ආර්ථික හා සංස්කෘතික ජීවිතයට සහනයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත එකම අවුල් ජාලයක් බවට පත් වීමයි සිදු විය හැක්කේ.

ඒ නිසා මේ රටට ආදරය කරන රටවැසියන් ලෙස සියලු වාදභේද අතහැරලා රට කැබලිකරණය කරන මේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව අපි ලක්‍ෂ ගණනින් පාරට බැසිය යුතුයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් හෝ ජනමත විචාරණයකින් මේ ව්‍යවස්ථා මරඋගුලට ජය ගැනීමට ඉඩ තබන්න එපා! ‘ඔබේ මුතුන්මිත්තන් දීර්ඝ කාලයක් තිස්සේ දිවි දී රැකගත් මේ මව් පොළොවේ ඒකියභාවය අහිමි කිරීමට අද කටයුතු කෙරෙමින් තිබෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව අනුව හදපු මේ පොළොව කැබලිකරණය කරන ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉතිං දැන්වත් තමන්ගේ වගකීම සහ යුතුකම ඉටු කිරීමට පෙරට එන්න’ කියා අපි මේ දේශයේ සුජාත දූ පුතුන් වෙතින් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-09-24

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*