BREAKING NEWS

‘ෆේස්බුක් තරුණ හමුවේදී විමල්ගේ පාසල් කාලය ගැන සැගවුණු රහස් රැසක් එළියට!

රටට හිතැති Facebook ඔස්සේ සටන් වදින කොළඹ දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ‘විස්සයි 20’ නමින් විශේෂ තරුණ හමුවක් පසුගිය සතියේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පිහිටි ‘අපේ ගම පරිශ‍්‍රයේදී’ පැවැත්විණි. මෙම තරුණ හමුවට ප‍්‍රධාන ආරාධිතයා ඇරයුම් ලබා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් එජනිස අපේක්‍ෂක විමල් වීරවංශ මහතාය.

නැටුම්, ගැයුම්, වැයුම් සහිත වර්ණවත් ඉසව් රැසකින් සමන්විත වූ මෙම තරුණ හමුවට සුරේෂ් ගමගේ, අනූෂා දමයන්ති,  ඕෂධී හේවාමද්දුම ඇතුළු තරුණ කලා ශිල්පීහු රැසක් සහභාගී වූහ. එවැනි ආනන්දජනක ඉසව් ගණනාවකට පසුව රැස් වූ තරුණ පිරිසට අමුතුම ආකාරයක රසවත් දේශනයකට සවන්දීමේ අවස්ථාවද ලැබී තිබිණි. ඒ ප‍්‍රවීණ දේශක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මනෝවිද්‍යා උපදේශක අජිත් ජයවර්ධන මහතාගෙනි. එහිදී අජිත් ජයවර්ධන මහතා විමල් වීරවංශ මහතා පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේ තරුණ පිරිස් විමතියට පත් කරමිනි. වැලිකෙළියේ පටන් විමල් තමන්ගේ මිතුරා පමණක් නොව අසල්වැසියාද වූ බව කියමින් ඇරඹි එම හෙළිදරව්ව ඔහු අවසන් කළේ කළුතර තිස්ස විද්‍යාලයේ උසස් පෙළ සිසුන් වශයෙන් ඔවුන් කළ කී දෑ රසවත් ලෙස තරුණ තරුණියන්ට පවසමිනි. ගායනයට, රංගනයට, චිත‍්‍රශිල්පයට ඔහු දැක්වූ දස්කම් මෙන්ම තමන් දෙදෙනා පාසල් විවාද කණ්ඩායමේ දැක්වූ දස්කම්ද එම අනාවරණය තුළ අඩංගු විය.

එවකට පැවැති දේශපාලන වාතාවරණය හමුවේ ‘පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම’ යන එකම දේශපාලන මතයේ සිටිමින් දෙදෙනාම කටයුතු කළත් තමන් යම් තරමකට ආත්මාර්ථකාමීව කටයුතු කර පාසල් දිවියෙන් සමුගෙන කොළඹ නීති පීඨයට පිවිසෙන විට උසස් පෙළ කලා අංශයේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ විමල් තම අධ්‍යාපනය කැප කර පූර්ණකාලීනව දේශපාලනයට පිවිසුණු බවද මෙහිදී අජිත් ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ තරුණ තරුණියන්ගේ ඇස්වලට කඳුළු නංවමිනි. එය තම මිතුරාගේ ළමා විය, තරුණ විය, අධ්‍යාපනය පිළිබඳ අවලාද නගන්නන්ට හොඳ අතුල් පහරක් විය.

‘‘රට, ජාතිය ගැන පොතපතෙහි තිබුණු අදහස් අපේ ජීවිතවලට එකතු වුණා. ඒ හින්දා තමයි  ඕනෑම අභියෝගයක් ඉදිරියේ දණගහන්නෙ නැතිව, ඒවා සමග පොර බදන්න, ඒවා ජයග‍්‍රහණය පිණිස අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න අද අපට ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් හා පන්නරයක් ලැබී තිබෙන්නේ. අපට අපේ ජීවිතවලින් ගෙවන්න බැරි ණයක් තියෙනවා. ඒ අපේ පරම්පරාවේ මැරුණු මිනිස්සු. මෙතැන එවැනි මිනිසකුගේ නම කියැවුණා. ඔහු උදය කීර්ති පෙරේරා. ඇත්ත වශයෙන්ම කිව්වොත්, ඒ අපේ පාසල් මිතුරා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත්තේ අජිත් හා මා නිසයි. ඒ නිසා අපේ හිත්වල ලොකු බරක් තිබුණා, උදය කීර්ති මරලා දාපු දවසේ ඉඳලා. පොතුපිටිය සුසාන භූමියේ තමයි උදය කීර්තිගේ ටයර් දමා පුළුස්සපු මළ සිරුර දමා ගොස් තිබුණේ. ඒ දවස්වල මගෙත් ගෙදරත් අතර සම්බන්ධතා නතර වෙලා තිබුණේ. කටකතාවක් ගියොත් ‘අන්න, අහවල් තැන විමල්වත් මරලා පුළුස්සලා දාලා’ කියලා අපේ තාත්තා මොන වැඩ තිබුණත් නවත්තලා බයෙන් වෙවුලමින් යනවා ඒ මළ මිනිය දිහා බලන්න.

අපේ පරම්පරාවේ ඒ මිනිස්සු ජීවිත පූජා කළා මේ රටේ ඒකීයභාවය රකින්න, බෙදුම්වාදය පරද්දන්න, මේ මව් පොළොව අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු දඩබිමක් වන එක වළක්වන්න. එකම අරමුණින් එකට බැඳිලා කටයුතු කළ අප අතුරින් ඔවුන් මිය ගියා. ඒත් අපි අධිරාජ්‍යවාදයට එරෙහි කොඩිය අතහැරියේ නැහැ. ඒ කොඩිය අත දරා ගෙන සිටි පක්‍ෂය කොඩිය අතහැරියත් අපි අත හැරියේ නැහැ. ඒ පක්‍ෂයේ මෙවර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ රටේ ඒකීයභාවය පිළිබඳ එක වචනයක් ලියැවිලා නැහැ. අපේ සටනේ ස්වභාවය, රටාව වෙනස් වෙන්න ඇති. සටන ගලාගෙන යන මාවත වෙනස් වෙන්න ඇති. නමුත් අපි එදා සිටම අත දරා ගෙන සිටි කොඩිය අත හැරියේ නැහැ.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ  ඕනෑම තැනක තරුණ පරපුර වේගවත්. ඒ වේගවත් බව යහපත් දෙයකට යොදා ගන්න පුළුවන්, වගේම අයහපත් දෙයකට යොදා ගන්නත් පුළුවන්. රටක් ස්ථාවර කරන්න තරුණ පරපුර යොදා ගන්නවා වගේම රටක් අස්ථාවර කරන්නත් ඔවුන් යොදා ගන්න පුළුවන්.

ඔබ මේ රටේ තරුණ පරම්පරාව ලෙස තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ රට ලෝක සිතියමේ පොඩි තිතක් වුණාට. මේ තිත වටිනවා මහා විශාල රාජ්‍යයකට වඩා. ඇමෙරිකාවේ ප‍්‍රවීණ දේශපාලන විශ්ලේෂකයන් කියනවා, ‘ලෝකයේ ගුරුත්වකේන්ද්‍රය යුරෝපයේ සිට ආසියාවට මාරු වෙනවා. ආසියාවට මාරු වෙද්දී එහි ගුරුත්වකේන්ද්‍රය වනු ඇත්තේ ශ‍්‍රී ලංකාවයි’ කියලා. ශ‍්‍රී ලංකාව ආසියාවේ ගුරුත්වකේන්ද්‍රය වන්නේ කෙසේද? රටක වටිනාකම නොදන්නා තරුණ පරම්පරාවකට ඒ රට ආරක්‍ෂා කරන්න බැහැ. අපි නොදන්නා මේ පොළොවේ වටිනාකම ගැන බටහිර බලවතුන් දන්නවා. ඔවුන්ගේ චන්ද්‍රිකා තාක්‍ෂණයට පුළුවන් මේ පොළොවේ අඩි 30කටත් වඩා ගැඹුරු දත්ත සොයාගැනීමට සහ ඒවා පිළිබඳ නිගමනවලට එළඹීමට. පසුගියදා ඉන්දීය ජනරජ දිනයට පැමිණි එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා ශ‍්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිදු වූ බල පෙරළිවලට ඉන්දියාව දැක් වූ සහයෝගයට ස්තූතිවන්ත වුණා. ලෝක සිතියමේ මේ ‘තිත’ ගැන බැරක් ඔබාමා වද වෙන්නේ ඇයි? මේ රටේ කවරාකාරයේ පාලනයක් තිබුණත් බැරක් ඔබාමාට ප‍්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ.’’

විමල් වීරවංශ මහතා සිය දේශපාලන දිවියෙහි මූලබීජයන් බිහි වූ අයුරු මෙන්ම තරුණ පරපුර දේශපාලන වශයෙන් සවිඥානික වීමේ වැදගත්කමද පෙන්වා දෙමින් එහිදී පැවසීය.

2015-08-16

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*