BREAKING NEWS

“අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපකරුවකු වී රටට හතුරු මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා”

“අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපකරුවකු වී රටට හතුරු මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා”

– ජානිපෙ නායක විමල් වීරවංශ

තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අද දින මව්බිම පුවත්පතෙහි මුල් පිටුවෙහි මුල් පුවත සැකසී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා සහ එම්. ඒ. සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරේ පැවති රැස්වීම් දෙකක දී වෙන වෙනම සිදු කළ ප්‍රකාශ කිහිපයක් ඇසුරෙනුයි. ඒවායේ දී ඔවුන් කියන කරුණු සම්පිණ්ඩනය කළහොත් ‘අපෙන් අහන්නේ නැතිව ආණ්ඩුවට කැබිනට් තීරණ ගන්න බැහැ. අප සහ ආණ්ඩුව අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා පැවැති සාකච්ඡාවලදී රනිල් එකඟ වුණේ උතුරේ සංවර්ධනය භාර අරන් අපිත් සමඟ වැඩ කරන්න. ඉදිරියේදී උතුර කියන නමත් වෙනස් වේවි. මේ පිළිබඳව සාකච්ජා කිරීමට අපේ කණ්ඩායමක් ඉන්නවා’ කියන අදහසයි ලැබෙන්නේ.

සියල්ලට ඉහළින් ටී. එන්. ඒ

මෙමගින් අපි කාටත් පැහැදිලියි, මේ දෙදෙනා කියන්නේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබෙන, කැබිනට් මණ්ඩලය ගනු ලබන තීරණ පිළිබඳව පූර්ව වශයෙන් නිගමනයකට එළඹිය හැකි දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව බව. ඒ අනුව පැහැදිලියි දෙමළ ජාතික සන්ධානය අකැමති කිසිවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවන බව. ඒ විතරක් නෙවෙයි දෙමළ ජාතික සන්ධානයට පමණක් අවශ්‍ය ඕනෑම යෝජනාවක් කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරවා ගැනීමේ ඉඩකඩ මෙමගින් සැකසී තිබෙනවා.

‘බොරුවට විපපක්ෂයේ වාඩි වීම‘

මා මීට ඉහත දී අනාවරණය කළා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු හා ඇමතිවරයකු ලෙස කටයුතු කළ ස්වාමිනාදන් මහතාට තමයි උතුරු සංවර්ධන අමාත්‍යාංශය භාර දීමට තිබුණේ කියා. නමුත් ඔහු, දෙමළ ජාතික සන්ධානය පවසන පරිදි ‘එහෙනම් ඔයා ඇමතිකම තියාගන්න, අපට ඕන විදිහටයි අමාත්‍යාංශයේ වැඩ කෙරෙන්නේ’ කියන කරුණු පිළිගැනීමට අකමැති වුණා. ඒ නිසා උතුරු සංවර්ධන අමාත්‍යාංශය අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමති පට්ටම් නහුතයටම අයත් වුණා, කියලත් මා එදා පෙන්වා දුන්නා. අද මාවෙයි සේනාධිරාජා සහ සුමන්තිරන්ගේ ඉහත රැස්වීම්වලදී පවසා ඇති කරුණු සමඟ මගේ අනාවරණය නිවැරදි බව තහවුරු වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි උතුරු සංවර්ධන අමාත්‍යාංශයේ සියලු කටයුතු සිදු වන්නේ දෙමළ ජාතික සන්ධානයේ අභිලාෂයන්ට අනුව බව. දෙමළ ජාතික සන්ධානය බොරුවට විපක්ෂයේ වාඩි වුණාට ඔවුන් මේ ආණ්ඩුවේ විධායක බලය දරන හවුල්කරුවකු බව දැන් ඔප්පු වී අවසන්. ඒ වගේම විපක්ෂයේ වාඩි වෙමින් ඔවුන් කැබිනට් මණ්ඩලය පාලනය කරන යාන්ත්‍රණයක හවුල්කරු වී තිබෙනවා.

ෆෙඩරල් මුට්ටිය

ඉහත සියල්ල දෙමළ ජාතික සන්ධානයට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරයට පත් වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට 113ක් ඇති බවට විශ්වාසය පළ කරපු හින්දයි – ඡන්දය දුන්න නිසයි. මේ ඊට ලැබෙන සන්තෝෂම්. ඒ විතරක් නොවෙයි දෙමළ ජාතික සන්ධානයේ උවමනාවට හදපු ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය දැන් පාර්ලිමේන්තුව හමුවට දමා තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලතෝනි දෙනවා ‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නොවෙයි කියලා’. හැබැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේදී කියා ඇත්තේ කුමක්ද? ‘මේක තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත’. රනිල් වික්‍රමසිංහ තෛපොංගල් දින උත්සවයේදී ‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නොවෙයි’ කිව්වත් සුමන්තිරන් යාපනේදි ‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්’ කිව්වත් මේ තමයි මේ අය අපට දාලා බලන ‘ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය’. මේ මුට්ටියට අපි සැරට පහර නොදුන්නොත් ඊළඟට එන්නේ සම්මත කර ගනු ලබන ‘ෆෙඩරල් ව්‍යවස්ථා හට්ටිය’.

දඹර අමිල හිමිගේ භූමිකාව

මේ දොළ පිදේනිය දෙන්න තමයි මේ අය පාර කපා ගන්නේ. දැන් බලන්න, මේ වෙනුවෙන් ලිට්රෝ ගෑස් එකෙන් ගෑස් වදින ප්‍රමාණයට කතා කරන්න දඹර අමිල හිමි යොදා ගන්නා ආකාරය. දැන් මහනායක හිමිවරුන්ගේ කටවල් වහන්න දඹර අමිල හිමි යොදා ගෙන තිබෙනවා. උන්වහන්සේ අද රස්තියාදුකාරයකු වගේ මහනාහිමිවරුන්ට තර්ජනය කරනවා. ඒ විදිහට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය’ දාලා බලලා ඊට එරෙහි හඬ මට්ටු කරන්න හදන්නේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාගේ මාධ්‍ය ආයතනය සහ ජවිපෙ හිතවාදී මාධ්‍ය හැරුණාම මේ රටේ සියලු මාධ්‍ය ‘කළු මාධ්‍ය’ ලෙස හඳුන්වන්නේ ද මේ ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටියට එරෙහිව නැගෙන ජනතා හඬ යටපත් කිරීමේ ක්‍රමවේදයක් හැටියටයි.

දැන් එක පැත්තකින් ෆෙඩරල් මුට්ටියක් දමා තිබෙනවා, අනෙක් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානයට නොනිල වශයෙන් අමාත්‍යාංශයක් භාර දී තිබෙනවා. ඒ වගේම අද කැබිනට් මණ්ඩලය තීරණය ගත යුතුව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ අනුමැතියට යටත්වයි. අද දෙමළ ජාතික සන්ධානය ස්වකීය ජාතිවාදී බෙදුම්වාදී වුවමනා ඉටුකර ගැනීමට ආණ්ඩුව ප්‍රාණ ඇපකරුවකු බවට පත්කරගෙන තිබෙනවා. මෙහිදී රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරු ලෙසත් මේ රටටත් ජාතියටත් හතුරු මෙහෙයුමේ ප්‍රධානියා විදිහටත් කටයුතු කරනවා.

‘උතුරේ නීතිය ක්‍රියාත්මක වන්නේ ද?’

පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණා, මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට අත් වී තිබෙන ඉරණම ගැන. මේ පෞරාණික විහාර බිමේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් දැන් බලහත්කාරයෙන් කෝවිලක් ඉදි කිරීමට යනවා. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ රියැදුරාගේ සහෝදරයා කේරල ගංජා සමඟ පොලීසියේ අතටම අහු වෙනවා. නමුත් එවෙලේම නිදහස් වෙනවා. ‘ආවා කල්ලියට’ පුළුවන් තෛපොංගල් දිනයේදී කෝවිලටම පැමිණ තරුණයන් ඝාතනය කරන්න. දැන් උතුරේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අද උතුරේ පොලීසියට ක්‍රියාත්මක වීමට සිදුව ඇත්තේ සුමන්තිරන්ලාගේ කොන්දේසිවලට යටත්ව. මේ ආණ්ඩුව අද කරන්නේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කල්ලියකට ප්‍රාණවායුව පිඹින එකයි. ඒ නිසා ‘මේ රටට හතුරු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කිරීමට යුහුසුලුව ක්‍රියාත්මක වෙමු,’ කියන ආරාධනය රට හමුවේ තබනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019.01.16

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*