BREAKING NEWS

“මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීමයි”

“මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීමයි”
– ජානිපෙ නායක විමල් වීරවංශ

මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීම බවත් කවුරුන් හෝ එම දේශපාලන සන්ධානය ගොඩනැගීම ප්‍රමාද කරනවානම් හෝ එවැනි සන්ධානයක් අවශ්‍ය නැතැයි සිතනවානම් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට බෙදුම්වාදීන්ට අවශ්‍ය සහයෝගය අනියමින් ලබා දීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘රනිල් රඟ දක්වන නාටකය’

මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතා, පන්සල් වෙත යනවා, බෝමළුව මත හිස තබා වන්දනා කරනවා. මහනායක හිමිවරුන් බැහැ දකිනවා, දේවාල වෙත යනවා අපට දැකගත හැකියි. තමන් සිංහල බෞද්ධ නායකයකු බව පෙන්වීමට ඔහු කටයුතු කරනවා. මේ සියල්ල ඔහු සිදු කරන්නේ සුමන්තිරන්ලා වැනි බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීම පිණිස ගෙන එනු ලබන නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සිංහල බෞද්ධ ජනතාවගෙන් නිසැකවම එල්ල වන විරෝධය සමනයකර ගැනීමටයි. මේ ව්‍යවස්ථා ක්‍රියාදාමය පිළිබඳ සිංහල බෞද්ධ සමාජය තුළ බලවත් සැකයක් ඇති වී තිබෙනවා. ඉන් ගැලවීමටයි මේ නාටකය රඟ දක්වන්නේ.

‘සුමන්තිරන් කියන ටිකත් ඇති’

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ගේ දැන් රැස්වීම්වල කියමින් යනවා, ‘ගෙන එනු ලබන වන ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක බලයටත් වඩා වැඩි බලයක් ලැබෙනවා. පළාත් දෙකක් එම පළාත් දෙකේ ජනතාවගේ කැමැත්තෙන් ඒකාබද්ධ කරන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා’ කියා. මේ කියන්නේ අපි නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන ගැලවුම්කරු එම්. ඒ. සුමන්තිරන්. මේ කතාව අනුව හිතා බලන්න උතුරු – නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් තිබියදී උතුරු – නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා, එම පළාත් සභාවට පූර්ණ බලතල දුන්නාම සිදුවිය හැකි දේ. මධ්‍යම ආණ්ඩුවේ අතපය බැඳලා පළාත් ආණ්ඩුවට ස්වාධීන වීමට දුන්නාම උතුරු – නැඟෙනහිර හමුදා කඳවුරක් හෝ නැති තත්වයකදී හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද?

‘බටහිර රටවල රුදාව’

ඒ වගේම අපි දන්නවා බලවත් බටහිර රටවල් කිහිපයකටම දැඩි රුදාවක් තිබෙනවා මේ රටේ ෆෙඩරල් පාලනයක් අතිකර ගැනීමට. ත්‍රිකුණාමල ප්‍රදේශය තමන්ගේ හමුදා තිප්පොළක් බවට පත්කර ගැනීම සඳහා ඇමෙරිකාවට උතුරු – නැඟෙනහිර බලවත් ප්‍රාන්ත ආණ්ඩුවක් ඇති වීම වැදගත්. ඒ වගේම ඉඩම් පිළිබඳ බලය ඒ ප්‍රාන්ත අෘණ්ඩුවට ලැබී තිබීමත් ඔවුනට වැදගත්. ‘කොතැනින්, කොපමණ ඉඩම් ප්‍රමාණයක් ඇමෙරිකානු හමුදා කඳවුරකට ලබා දෙනවා ද?’ යන්න තීරණය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩුවකට ලැබී තිබීම ඇමෙරිකාවට ඉතා වැදගත්. දුර්වල මධ්‍යම ආණ්ඩුවක් ඇති කොට, උතුරු – නැඟෙනහිර බලවත් පළාත් ආණ්ඩුවක් ඇති කිරීමෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට මැදිහත්වීමේ ඉඩකඩ මෙමගින් බටහිර බලවතුන්ට ලැබෙනවා. ඒකයි ඔවුන් මේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර දීමට උත්සාහ ගන්නේ.

‘මේ ප්‍රයත්නය වැළැක්විය යුතුයි’

රණවිරුවන් දසදහස් ගණනක් දිවිපුදා නතර කළ ‘ඊළාම් සිහිනය’ පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලබන ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් සැබෑකර ගැනීමේ සුමන්තිරන්ලාගේ ප්‍රයත්නය කෙසේ හෝ පැරදවිය යුතුව තිබෙනවා. අපි දන්නා ආකාරයට දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපතිවරියකට විශාල මුදලක් ලබා දී තිබෙනකවා. ඒ මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගැනීම සඳහායි.

‘නව දේශපාලන සන්ධානය’

ඒ නිසා අපි විශ්වාස කරනවා, ‘මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා’ කියා. මේ දෙදෙනාගේ සමගිය මත තමයි මේ ෆෙඩරල් ව්‍යවස්ථාවට 2/3 බලය අහිමි කිරීමට හැකි වෙන්නේ. එය කළ හැක්කේ කෙසේද? මේ දෙදෙනාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ඉතා ඉක්මනින් ගොඩනැගීමෙන්. එය ප්‍රමාද කරන මොහොතක් මොහොතක් පාසා ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට බලා සිටින පිරිසට අපි ඉඩ හදා දුන්නා වෙනවා. නමුත් මේ නව දේශපාලන සන්ධානය කඩිනමින් ගොඩනැගුවොත් එම ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන්ට යම්කිසි පහසු දේශපාලන පරිසරයක් නිර්මාණය වෙනවා අර විදියේ තීරණයකට තල්ලු නොවී ඉන්න. ඉතා වැදගත් 2/3 බලය අහිමි කරන එකයි. එම බලය දැන් නැති නිසයි කෝටි 200 බැගින් බෙදලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ සිටින මන්ත්‍රීවරුන් 21දෙනා බිලිබාගන්න හදන්නේ. ඔවුන් බිලිබාගත හැක්කේ අපි ඔවුන්ව යම්කිසි අනාරක්‍ෂිත දේශපාලන පරිසරයක රදවා තැබුවොත් පමණයි. ඒ නිසයි ඔවුනට පහසු දේශපාලන පරිසරයක් අපි කඩිනමින් නිර්මාණය කළ යුත්තේ. ඒ පහසු දේශපාලන පරිසරය නිර්මාණය කිරීම වනාහි මෛත්‍රීපාල සිරිසේන – මහින්ද රාජපක්‍ෂ ඇතුළු දේශපාලන නායකත්වයේ ඒකාබද්ධතාවයෙන් නව දේශපාලන සන්ධානයක් කඩිනමින් ගොඩනැගීමයි.

‘අනියමින් සහාය දීම’

කවුරුන් හෝ එම නව දේශපාලන සන්ධානය ගොඩනැගීම ප්‍රමාද කරනවා නම්, එවැනි දේශපාලන සන්ධානයක් අවශ්‍ය නැතැයි සිතනවානම් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට බෙදුම්වාදීන්ට අවශ්‍ය සහයෝගය අනියමින් ලබා දීමක්. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකින් මේ රාජ්‍යය බෙදුවොත් යළි එයට අනාගතයක් නැහැ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා. ‘මෙම ව්‍යවස්ථා ගෙන එන්නේ යළි වෙනස් කළ නොහැකි අන්දමටයි’ කියා. පාර්ලිමේන්තුව හදපු නීතියක් පාර්ලිමේන්තුවටත් වෙනස් කළ නොහැකි තත්වයක් එමගින් ඇති වෙනවා. එහෙමයි මේ ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ’ සඳහන් වෙන්නේ. ඒ අනුව අනාගතයේදීවත් නිවැරදි කළ නොහැකි වරදකුයි මේ බෙදුම්වාදීන් සිදු කිරීමට සූදානම් වෙන්නේ.

ඒ නිසා ඒ වරද සිදු වීමට ඉඩ නොදී එය වැළැක්වීමේ එකම මාර්ගය වන නව දේශපාලන සන්ධානය ගොඩනැගීම නොපමාව සිදු කරන ලෙස යළිත් ජනාධිපතිවරයාගෙන් සහ විපක්‍ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වරද සිදුවීමට ඉඩ දුන්නොත් මේ රටේ ඉතිහාසය යළි ලියැවෙනු ඇත්තේ අපේ පෑනෙන් ජනතා අභිලාෂයන් අනුව නොව, බෙදුම්වාදීන්ගේ හා විදේශ බලවතුන්ගේ පෑනෙන් ඔවුන්ගේ අභිලාෂයන් අනුවයි.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, තරුණ කටයුතු ලේකම් උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019.01.08

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*