BREAKING NEWS

05/2015 චක‍්‍රලේඛයෙන් පාසල්වල වියදම් පියවා ගැනීමට සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කර තිබෙනවා – නිමල් පේ‍්‍රමවංශ සභාපති, ජාතික ගුරු සභාව

10858567_411756352319245_1095669029349494379_nඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති 05/2015 චක‍්‍රලේඛය අනුව පාසල්වල වියදම් පියවා ගැනීම පිණිස සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කර ඇති බවත්, එමගින් නිදහස් අධ්‍යාපනය පිළිබඳ කන්නන්ගර මූලධර්ම උල්ලංඝනය වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ගුරු සභාවේ සභාපති, නිමල් පේ‍්‍රමවංශ මහතා අවධාරණය කරයි.

අද(08) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී නිමල් පේ‍්‍රමවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පේ‍්‍රමවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘නව ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් පසුගිය ජනවාරි 29 වැනිදා නිකුත් කරන ලද ‘පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කිරීම’ යන අංක 05/2015 දරන චක‍්‍රලේඛය පිළිබඳව මේ රටේ දෙමව්පියන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලි ජනකොටස්වල අවධානය යොමු විය යුතුව තිබෙනවා.

අප මේ චක‍්‍රලේඛය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවන්නේ එමගින් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ මූලධර්ම උල්ලංඝනය කරන නිසයි. රජයේ පාසල්වල සිසුන්ගෙන් මුදල් අය කිරීම නීතිගත කිරීමක් මෙම චක‍්‍රලේඛය මගින් සිදු වෙනවා. මෙම චක‍්‍රලේඛයේ පළමු හා දෙවන වගන්තිවලින් පමණක් කියැවෙනවා, ‘පාසල්වල මුදල් අය කිරීම් තහනම්’ කියලා. දෙවැනි වගන්තියේ විශේෂයෙන් සඳහන් වෙනවා, අමාත්‍යාංශයේ ලේකම්ගේ අවසරයකින් තොරව මුදල් අය කිරීම තහනම් කියලා.

හැබැයි චක‍්‍රලේඛයේ මුල් වගන්ති 02 තුළ එහෙම අන්තර්ගත වුණාට 05 සහ 06 වගන්තිවලින් කියන්නේ කුමක්ද? 05 සහ 06 වගන්ති මුල් වගන්ති දෙකට සම්පූර්ණයෙන් පටහැනියි. එමගින් ‘පාසල්වල මුදල් අය කිරීම නීත්‍යනුකූලව සිදු කරන්නේ කෙසේද?’ කියලා කියනවා.

05 වැනි වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා, ‘පාසලක විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අය කර ගත හැකි අවස්ථා පහත පරිදි වේ’ කියලා. ‘5.1 අනුමත පහසුකම් හා සේවා ගාස්තු, 5.2 පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට(විදුලි බිල, දුරකථන බිල්, ආරක්‍ෂක කටයුතු වැනි මූල්‍ය අවශ්‍යතා)’ කියලා එහි උප වගන්ති දෙකහි සඳහන්. මීට පෙර අනුමත පහසුකම් හා සේවා ගාස්තු අයකර ගැනීම සිදු වුණා. ඊට පරිබාහිරව මුදල් අය කිරීම නීතිවිරෝධී ක‍්‍රියාවක් ලෙසයි සැලකුණේ.

06 වැනි වගන්තියෙන් කියනවා, 5.2 යටතේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් අයකර ගන්නා නීත්‍යනුකූල ක‍්‍රමවේදයක් පිළිබඳව. ‘පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවක් සැකසීම’ තමයි 6(අ) හෙවත් පළමු පියවර. 6(ආ) කොටසින් කියනවා, ‘එම ඇස්තමේන්තුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනවලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට (අ) හා (ආ) අතර පරතරය’ ගණනය කරන්න කියලා. ඉන් පසුව 6(ඇ) කොටසින් කියන්නේ කුමක්ද? ‘එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවකුට අදාළ වන මුදල් ප‍්‍රමාණය’ ගණනය කරන්න කියලා. පාසලේ වියදම් පියවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා වෙනත් රාජ්‍ය ආයතනවලින් ලැබෙන මුදල් මදි නම්, ඒ මදි වන මුදල සිසුන්ගෙන් නීත්‍යනුකූලව අයකර ගන්නා අන්දමයි මේ 06 වගන්තියෙන් කියන්නේ. 6(ඈ) මගින් කියනවා, ‘ඉහත (අ), (ආ) හා (ඇ) පරිදි සකස් කළ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට එවා එක් සිසුවකුගෙන් පාසලේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම සඳහා අනුමැතිය ලබා ගත යුතුයි’ කියලා.

මෙතෙක් කාලයක් පාසලේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම නීත්‍යානුකූල කර තිබුණේ නැහැ චක‍්‍රලේඛයක් මගින්. ඔබට හොඳට මතක ඇති, ‘පාසල්වල වියදම් පියවා ගැනීමට මුදල් අය කිරීමට නිල වශයෙන් අවසර දී තිබෙනවාද?’ කියා විමසූ විට හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුන් පිළිතුර. ‘එහෙම කිසිදු නිල අවසරයක් ලබාදී නැහැ’ කියලයි ඔහු පැවසුවේ. නිදහස් අධ්‍යාපනය ශ‍්‍රී ලංකාව තුළ නීතිගත කළාට පසුව පැවැති තත්ත්වය ඒකයි. නමුත් නිදහස් අධ්‍යාපන ඉතිහාසයේ මුල්වරට අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා දෙමව්පියන්ගෙන් පාසලේ වියදම් පියවා ගැනීමට මුදල් අයකර ගැනීම නීතිගත කර තිබෙනවා.

කන්නන්ගර මැතිතුමන් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන මූලධර්මය තුළ තිබුණේ ‘පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා කිසිදු ශිෂ්‍යයකුගෙන් මුදල් අය කිරීම තහනම්’ කියලයි. කිසිදු ශිෂ්‍යයකුගෙන් කිසිදු හේතුවක් නිසා මුදල් අයකර ගැනීම ඒ අනුව තහනම් වුණා. නමුත් 05/2015 චක‍්‍රලේඛයෙන් ඒ කන්නන්ගර මූලධර්මය සම්පූර්ණයෙන් කණපිට හරවා තිබෙනවා.

මේ චක‍්‍රලේඛය තුළ තවත් අපේ අවධානය යොමු විය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මේ මුදල කිසියම් ශිෂ්‍යයකුට ගෙවන්න බැරි වුණොත් සිදු වන දෙය. 07 වගන්තියේ, II හා III උප වගන්තිවල ඒ පිළිබඳව සඳහන් වෙනවා. ‘නීත්‍යනුකූල ගාස්තු වුවද ගෙවීමට අපහසු සිසුන්, ග‍්‍රාම නිලධාරී සහතිකය මගින් ඒ බව සනාථ කළ විට සියලූ ගෙවීම්වලින් එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව නිදහස් කළ යුතු අතර, එසේ ගාස්තු ගෙවීමෙන් නිදහස් කළ බවට අදාළ දෙමව්පියන් වෙත ලිඛිතව දන්වා යැවිය යුතුය’ කියලයි II උප වගන්තියේ තියෙන්නේ. III උප වගන්තියෙන් කියනවා, ‘ගාස්තු නොගෙවන සිසුන් කිසියම් ආකාරයක කායික හෝ මානසික පීඩාවන්ට ලක් නොකළ යුතුය’ කියලා. නමුත් ප‍්‍රායෝගිකව මෙය සිදු වන්නේ නැහැ. අපි හිතමු, ගෙවීමට අපහසු සිසුන් පිරිසක් ඉහත ආකාරයට ගාස්තු ගෙවීමෙන් නිදහස් කළා කියලා. ඒත් පාසලේ වියදම් පියවා ගැනීමට ඒ සිසු පිරිසගෙන් නොලැබෙන මුදල් උපයා ගන්නේ කෙසේද? කියා මේ චක‍්‍රලේඛයේ කොතැනකවත් සඳහන් කර නැහැ. ඒ නිසා පාසල් බලධාරීන් සියලූ ශිෂ්‍යයන්ගෙන් මේ මුදල් අය කර ගැනීමට උත්සුක වීම අනිවාර්යෙන්ම සිදු වන දෙයක්.

මෙම චක‍්‍රලේඛය හේතුවෙන් දෙමාපියන් හා සිසුන් අපහසුතාවට පත් වන අන්දම මම එක් පාසලක් උදාහරණයට ගෙන පහදා දෙන්නම්. මධ්‍යම පළාත් සභාවේ ප‍්‍රධානතම පාසලක 2015 වසර සඳහා ඇස්තමේන්තු වියදම තුන්කෝටි පනස්ලක්‍ෂයයි(රු. 3,50,00000). එහි ශිෂ්‍ය සංඛ්‍යාව 3500යි. ඒ අනුව එක් ශිෂ්‍යයකු ගෙවිය යුතු මුදල රුපියල් 10,000යි. ගෙවන්න බැරි වුණොත් පාසල් බලධාරීන් යම් යම් පියවර ගනු ලබනවා. මෙවැනි ජනප‍්‍රිය පාසල්වලට ඇති හැකි ශිෂ්‍යයන් එනවා. ඒ වගේම පාසලට යාබදව ජීවත් වන ඉතා දිළිඳු පවුල්වල දරුවනුත් මේ පාසල්වලට ගැනෙනවා. ඒ දරුවනුත් ‘සමානව’ තම කොටස ගෙවිය යුතුයි. ‘සමානව’ ලබාගන්න කියලයි විදුහල්පතිවරයාට චක‍්‍රලේඛයෙන් කියන්නේ. පොළොන්නරුව ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක මාසික විදුලි බිල රුපියල් 75,000ට වැඩියි. රජයෙන් ගෙවන්නේ රුපියල් 12,000යි. ඉතිරි මුදල වන රුපියල් 63,000 අය කර ගන්න වෙන්නේ ශිෂ්‍යයන්ගෙන්. මේ උදාහරණ මගින් දෙමාපියන් පත් වන අසරණභාවය ඔබට වැටහෙනවා ඇති.

මේ චක‍්‍රලේඛය මගින් පාසල් ශිෂ්‍යයන්ගෙන් නීත්‍යනුකූලව මුදල් අය කිරීමට අදාළ ප‍්‍රතිපාදන ඇතුළත් කොට තිබෙනවා පමණක් නොවෙයි ඊට අදාළ ක‍්‍රමවේදයත් සකස් කර තියෙනවා. විපක්‍ෂයේ සිටින විට අකිල විරාජ් කාරියවසම් මහත්තයා නිතරම කීවේ ‘කන්නන්ගර මැතිතුමා ගෙන ආ නිදහස් අධ්‍යාපන මූලධර්ම රැකගැනීම වෙනුවන් පෙනී සිටිනවා. මේ රටට නිදහස් අධ්‍යාපනය රැගෙන ආවේ එජාපය.’ ආදී කතා. ඔහු ඒ කියපු දේවල්වලට අද පස්ස හරවා තිබෙනවා.

අවධාරණය කළ යුතු තවත් කාරණයක් තියෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ දින 100 වැඩපිළිවෙළේ 55 වැනි ක්ෂණික සහනය ලෙස ඉදිරිපත් කළේ කුමක්ද? ‘අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක මුදලක් වෙන් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ’ යන්නයි. නමුත් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් එහෙම දෙයක් සිදු කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එතුමාගේ 2015 අයවැයෙන් අධ්‍යාපනය හා සෞඛ්‍යයට බිලියන 120ක් වෙන් කරනු ලැබුවා. මේ අතුරු අයවැයෙන් ඒක තවත් බිලියනකින් පමණක් වැඩි කොට තිබෙනවා. අපි හිතමු ඒ අනුව අධ්‍යාපනයට තවත් මිලියන 500ක් ලැබුණා කියලා. තම අතුරු අයවැය කතාවේදී රවී කරුණානායක ඇමතිවරයා කිඹුල් කඳුළු හෙළනවා, ‘ශ‍්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වියදම් කරනුයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් පමණයි’ කියලා. අතුරු අයවැයෙන් අධ්‍යාපනයට තව මිලියන 500ක් වෙන් කළාම 6%ක් හැදෙනවාද? කියා අකිල විරාජ් කාරියවසම් හා රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගෙන් අපි අහනවා. පසුගිය ආණ්ඩුවෙන් ‘ජාතික අධ්‍යාපනයට 6%ක් වෙන් කරනුෟ’ කියලා ඉල්ලමින් පෙළපාලී ගියපු විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ දඹර අමිල හිමි යන අයගෙන් අපි අහනවා, මේ යහපාලන ආණ්ඩුව ඒ ඉල්ලීම ඉටුකර තිබෙනවාද?’ කියා. ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබෙන ජාතික විධායක සභාවේ සාමාජිකත්වය දරනවා. අපි අහනවා, ‘මේ සම්බන්ධයෙන් ඔය මහත්තුරු කියන්නේ කුමක්ද?’ කියා.

‘යහපාලන තිර රෙද්ද’ පිටුපස්සේ සිදුවන්නේ අනාගත එක්සත් ජාතික පක්‍ෂ පාලනයකට අවශ්‍ය දේවල් පමණයි. 1977 සිට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළේ නිදහස් අධ්‍යාපනය වළ දැමීමටයි. නිදහස් අධ්‍යාපනයට නිදහසේ වැඩෙන්න එජාප පාලන කාලයන් තුළ ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක යන අමාත්‍යවරු හදන්නේ නිදහස් අධ්‍යාපනයට සුපුරුදු පරිදි අඩ තබන්නයි.

‘මේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න, නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට පටහැනිව අකිල විරාජ් කාරියවසම් මහතා ගෙන යන ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව නැගී සිටින්න, එම ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන්න’ කියන ඉල්ලීම මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගත යුතුයි කියා සිතන සියලූ බුද්ධිමතුන් වෙතින් ඉල්ලා සිටිනවා’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකවරුන් වන දේශපේ‍්‍රමී වැඩකරන ජනතා මධ්‍යස්ථානයේ සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, දේශපේ‍්‍රමී වැඩකරන ජනතා මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ලේකම්, ජයන්ත වන්නිආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-02-08

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*