BREAKING NEWS

19 ගෙනවිත් රට අරාජික කරන බටහිර උපාය අපි පරාජය කළා. – ජානිපෙ නායක විමල් වීරවංශ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට, විධායකයට හා මහජනතාවට වග නොකියන ව්‍යුහයක් හදා එයට බලය පවරා රට අරාජික කිරීමේ බටහිර උපාය පැරදවීමට සැබෑ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හැකි වූයේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද(29) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ආණ්ඩුව කීවත් ‘අපි බලවත් සංශෝධනයක් කළා’ කියලා ඒගොල්ලො ලැජ්ජාවට නොකියන දෙයකුත් තිබෙනවා. ඔවුන් රැගෙන ආ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවෙයි මේ සම්මත වෙලා තිබෙන්නේ. ගෙනාවේ ‘නයෙක්’ නම් සම්මත වුණේ ‘ගැරඩියෙක්.’ නමුත් ඒක කියන්න බැහැනේ. ඒ නිසා ‘නයාම’ සම්මත වුණු බවයි පෙන්වන්නේ. මේ වැඩෙන් ජනමාධ්‍ය අල්ලාගෙන මේ ආණ්ඩුව විශාල වින්දනයක් ලබන බවයි පෙන්වන්නේ. ඒකට කමක් නැහැ. අපට කීමට ඇත්තේ ‘මහත්වරුනි ඔයගොල්ලො කරන්න ආපු දේ නම් අපි කරන්න දුන්නේ නැහැ’ කියලයි.

ජනාධිපතිවරයාගේ බලයෙන් විශාල කොටසක් අගමැති අතට අරගෙන ඉතිරි කොටස කාටවත් වග නොකියන ව්‍යවස්ථාදායක සභාවට දෙන්න තමයි ගියේ. ජනාධිපතිවරයාගෙන් ගලවන්න හදපු බලයෙන් විශාල කොටසක් නැවැත්වූවා අධිකරණයෙන්. එහෙම කරනවා නම්, ජනමත විචාරණයකට යන්න කියලයි ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළ යුතු යැයි කියූ වගන්ති ඉවත් කර රැගෙන ආ පනත් කෙටුම්පත සම`ග තවත් පිටු 12ක සංශෝධනයක් ආණ්ඩුව රැගෙන ආවා. ඒ සංශෝධන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකට යා යුතු යැයි කියූ වර්ගයේ සංශෝධනත් තිබුණා. මුලින්ම අපි ඒ කොළ 12 ඉවත් කෙරෙව්වා.

ඉන්පසුව අපි මේ පනත් කෙටුම්පත 27 වැනිදා පාර්ලිමේන්තුවට එන්න කලින් සංශෝධන ගණනාවකට ආණ්ඩුව එකග කරවා ගත්තා. ඒ සඳහා ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කථානායකතුමන් සමග පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වට ගණනාවක් අපි සැබෑ විපක්‍ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග එක්ව සැබෑ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ලෙස පැවැත්වූවා.

ඒ නිසා මේ පනත් කෙටුම්පත සභා ගර්භයට එන විට අපි ඉදිරිපත් කළ බොහෝ වැදගත්ම සංශෝධන සහිතව තමයි ආවේ. නමුත් අප ඉදිරිපත් කළ සංශෝධන කිහිපයකට එරෙහිව ආණ්ඩුව තීරණාත්මකව ගැටුණා. එතැනදී අපි තීරණය කළා ‘ඔයගොල්ලො විරුද්ධ වෙන්න. අපි අපේ ජනතාවාදී සංශෝධන ගෙනවිල්ලා කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නවා’ කියලා. ඒ හැකියාව අපට තිබුණා. අපේ මන්ත‍්‍රීවරු ඒකට සූදානම් වෙලා හිටියේ.

පාර්ලිමේන්තුවේ මෑත ඉතිහාසයේදී කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පනතකට වැඩිම සංශෝධන ගණනක් රැගෙන ආ දිනය ඊයේ දිනයයි. කාරක සභා අවස්ථාව පැය 04ක් පමණ දිර්ඝ වූවා. අපි විපක්‍ෂ මන්ත‍්‍රීවරු විදියට ජනතාවාදී සංශෝධන ගණනාවක් රැගෙන අවා. ඔවුන්ට අපේ බහුතර බලයට අවසානයේදි කොන්ද නමන්න සිදු වුණා. ඔවුන් රැුගෙන ආ ‘විෂ මදය’ වෙනුවට අපට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ‘අලූත් මදයක්්’ ඇතුළු කරන්න පුළුවන් වුණා. ඔවුන්ට අවසානයේදී තමන්ගෙ කියන්න ඉතිරි වුණේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන ‘කට්ට’ විතරයි. අපි පාර්ලිමේන්තුව සැබෑ ලෙස ශක්තිමත් කරන ආකාරයේ සංශෝධන රැගෙන ආවා.

ව්‍යවස්ථාදායක සභාව සිවිල් පුද්ගලයන්ගෙන් පුරවන්න ගියේ. අපි දන්නවා, ‘ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිනිය කරන්න හිටියේ කවුද?’ කියලා. මේ ව්‍යවස්ථාදායක සභාවේ වාඩි කරවන්න හැදුවේ තානාපති කාර්යාලවලට රිංගන එන්.ජී. ඕ. කාක්කෝ සහ කාක්කියෝ.’ මේක තමයි ලෝකයේ බටහිර රටවල් අනුගමනය කරන උපාය. පරමාධිපත්‍ය බලය කොල්ල කනවා. පාර්ලිමේන්තුවට, විධායකයට හා මහජනයාට යන මේ තුනෙන් කිසිවකට වග නොකියන ව්‍යුහයක් හදනවා. ඒවාට බලය පවරනවා. එතකොට රටවල් අරාජික වෙනවා. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය’ යන සටන් පාඨවලට මුවා වෙලා බටහිර බලවතුන් රටවල් අරාජික කරන උපාය මේකයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට පූර්ණ බලය ස්ථාපිත කර ගන්න ගමන් තවත් අංශයකින් රට අරාජිකත්වයට රැගෙන යාමේ ප‍්‍රයත්නය සම්පූර්ණයෙන් පරාජය කරන්න අපට හැකි වුණා.

‘එපා වහෙට හොදි බෙදලා’

සම්මත වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් 07 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්. ඉතිරි තිදෙනා සිවිල් පුරවැසියන්. නමුත් ඒ තිදෙනාත් පාර්ලිමේන්තුවේ අනුමත වෙන්න ඕනෙ. අධිකරණ සේවා කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව හැර අනෙකුත් සියලූම ස්වාධින කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ඒක විශාල ජයග‍්‍රහණයක්. මීට පෙර 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවත් ස්වාධින කොමිෂන් සභා හැදුවා. අපිත් එදා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවා. ඒවා ‘ස්වාධිනයි’ කියන්නේ කාටවත් වග කියන්නේ නැහැ කියන එකයි. විධායකයට, ව්‍යවස්ථාදායකයට වගේම මහජනයාටත් මේ ස්වාධීන කොමිෂන් සභා වග කියන්නේ නැහැ. අන්තිමට ඒ අය තමන්ගේ යාළු මිත‍්‍රයෝ කියන විදියට තීරණ ගත්තා. අපි ඒකෙන් බැට කෑවා. ඒ ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට අපි රැගෙන ආ සංශෝධනයට ආණ්ඩුව ඉතා අකමැත්තෙන් එකග වුණේ. මුණු ‘නාලූ’ කරගෙන, ‘එපා වාහෙට හොදි බෙදනවා’ වගේ තමයි ඔවුන් මෙවැනි සංශෝධනයන්ට එකග වුණේ. දැන් මේ අධිකරණ සහ මැතිවරණ හැර සෙසු ස්වාධින කොමිෂන් සභා මුළුමහත් පාර්ලිමේන්තුවට වග කියනු ලබනවා. එමගින් ශක්තිමත් වන්නේ ජනතා පරමාධිපත්‍ය බලයයි. ජනතාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇති ව්‍යවස්ථාදායක බලය කොල්ල කෑමට ගනු ලැබූ උත්සාහය අපි පරාජය කරනු ලැබුවා. දැන් ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වග කියනවා, එහෙත් ස්වාධීනව කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා, ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු විමසන්නත අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. මේක ඉතා වැදගත්. ආණ්ඩුව පරමාධිපත්‍ය බලය දුර්වල කරන්න හැදුවා. අපි පරමාධිපත්‍ය බලය සවිමත් වන අන්දමට අත එසවූවා.

ඇත්තෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු අය පරාදයි. විරුද්ධ පක්‍ෂය දිනුම්. ගෙනාපු අයගේ යටි අරමුණු ඉටු වුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගෙන් අහලා බලන්නකො, ‘කොහොමද මේ ව්‍යවස්ථා සංශෝධනය?’ කියලා. එතුමා 19 සම්මත වුණාට පස්සේ හිටියේ නහයෙන් හඩ හඩා. ‘අනේ මොකක්ද මේ වුණේ. මේකෙන් නම් ශත 05ක වැඩක් නැහැ’ කියලයි ඔහු පැවසුවේ. ආණ්ඩුව තුළත් 19 සම්මත වුණාට පසුව එහෙම නහයෙන් අඩ අඩා ගියපු අය හිටියා. මම නම් වශයෙන් මෙතැනදී ඔවුුන් ගැන පවසන්නේ නැහැ.

දැන් බලන්නකෝ, මාදුළුවාවේ සෝභිත හිමියෝ හිතාගෙන ඉන්නේ ‘19 සම්මත වුණාට පස්සේ විධායක ජනාධිපති ධුරය අහෝසි වුණා’ කියලානේ. ඇත්තෙන්ම දැන් සිදුව ඇත්තේ ‘ජනාධිපතිවරයාගේ බලතලවලින් ඉතාමත් සුළු ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාදායක සභාවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට ලැබී තිබීම’ පමණයි. අගමැතිට ලැබුණු බලයකුත් නැහැ. දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා කියනවාලූ ‘මට ඕන කිසිවක් වුණේ නැහැ. මේක වැඩක් නැහැ’ කියලා.

‘අපි කරන්න ආපු වැඬේ කරන්න බැරි වුණා. අනේ අපොයි’ කියලා කියන්නත් බැහැනේ. ඒ නිසා දැන් කියනවා ‘අපි විශාල ජයග‍්‍රහණයක් ලැබුවා. ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවට අත තිබ්බා’ කියලා. මම හිතන්නේ ඒ අය අත නොවෙයි ඇගිල්ලක්වත් තියලා නැහැ. අපි ජේ. අර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව පොඩිපට්ටම් කරන්න එකගයි, ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු වන ආකාරයට. එහෙම නැතිව ජනතා පරමාධිපත්‍ය බලය දුර්වල කරලා, ඒක කොල්ල කන්න තානාපති කාර්යාලවල බත් බැලයන්ට ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. ඒ පදනමේ ඉඳන් අපට හැකි වුණා. ජනතා පරමාධිපත්‍ය බලය ශක්තිමත් කරන්න. අපි මේ රටේ ජනතාවට කියනවා, ‘මෙතැනදී ජයග‍්‍රහණය කළේ විපක්‍ෂ බලවේග. ඒ අවුල් හවුල ගෙනෙන්න හදපු න්‍යාය පත‍්‍රය කනපිට හරවලා රටට උචිත ආකාරයට ඒක වෙනස් කරලා අපි අනුමත කළා’ කියලා. ‘දි ඉකොනොමිස්ට්’ සගරාවේ වාර්තාවක් පළවෙලා තියෙනවා, ‘දින 100 අසාර්ථකයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බැහැ විපක්‍ෂය හසුරුවා ගන්න.’ කියලා. ඇත්තෙන්ම විපක්‍ෂ බලවේග එකමිටකට ගෙන එන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු අප කාටත් හැකි වුණා. විරුද්ධ පක්‍ෂය වෙන පාරවල්වල රැගෙන යන්න බැරි වුණා. ඒක විශාල ජයග‍්‍රහණයක්’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-04-29

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*