BREAKING NEWS

20 වැනි සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතු වන ගැටළු ඉතා පුළුල්ව අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. – ජාතික නිදහස් පෙරමුණ

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු සීමානිර්ණ ක‍්‍රමවේදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන්  ගැටළු මතු වන බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කිරීමට ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍යයව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(14) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘2015-05-11 දින ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ කොමසාරිස්තුමන්ගේ ද සහභාගීත්වයෙන් දේශපාලන පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් පවත්වා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව තම තමන්ගේ පක්‍ෂවල අදහස් හා යෝජනා මැයි 13 වැනිදා දහවල් 12.00ට පෙර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. අපි මේ ඉල්ලීම පිළිබඳව අපේ ස්ථාවරය රැගත් ලිපියක් ජනාධිපතිතුමන් වෙත අපේ පක්‍ෂ නායක, විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරනු ලැබුවා.

එම ලිපියෙන් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දුන්නා, ‘20 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනයෙහි ඇතුළත් සීමානිර්ණ ක‍්‍රමවේදය සහ දිස්ත‍්‍රික් මට්ටමින් මහජන නියෝජිතයන් තෝරාපත් කිරීම යන කරුණු ගැටළු සහිතයි. මන්ත‍්‍රීවරයකුගේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථාවෙන් හිමි අයිතිය උල්ලංඝනය වීමක් මෙහි ඇතුළත් කරුණුවලින් සිදු වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීමට කිසිදු දේශපාලන පක්‍ෂයකට ඉඩකඩ අහිමි වෙනවා’ කියලා.

ඒ නිසා 20 වැනි සංශෝධනයේ ඉහත කරුණු මුල් කොට ගෙන මතුවන ගැටළු සම්බන්ධයෙන් ඉතා පුළුල්ව අධ්‍යයන කරලා ඊට පසුව ඒ පිළිබඳව අපගේ යෝජනා දැනුම් දෙන බවයි අපි ජනාධිපතිතුමන් වෙත ඉහත ලිපියෙන් දන්වා සිටියේ. අවසන් වශයෙන් 2015-05-13 දින මධ්‍යහන 12ට පෙර අදාළ යෝජනා ලබාදීම අපහසු බවත් ඊට ප‍්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසත් අපි ජනාධිපතිතුමන්ගේ ඉල්ලා සිටියා.

1977ට පෙර තිබුණු කේවල ආසන මැතිවරණ ක‍්‍රමය ප‍්‍රායෝගික නොවන බව පවසමින් තමයි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමය තුළ දැනට පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය යෝජනා කළේ. අද නව මැතිවරණ ක‍්‍රමයක් හෙවත් ‘20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ යනුවෙන් යෝජනා කරනු ලබන්නේ 77ට පෙර ක‍්‍රමයත් 77ට පසු ක‍්‍රමයත් දෙමුහුන් කර සාදන ලද නව මැතිවරණ ක‍්‍රමයක් බව බැලූ බැල්මට පෙනී යනවා.

පෙර පැවැති මැතිවරණ ක‍්‍රම සියල්ල අසාර්ථක නම් නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීමේදී අපි වඩාත් පුළුල්ව කල්පනා කළ යුතුයි. එම නිසා එයට සාධාරණ කාලයක් අවශ්‍යයි. අප මෙන්ම අනෙකුත් දේශපාලන පක්‍ෂවලටද වෙන වෙනම මෙයට අදාළ විශේෂඥයන් සමග කරනු ලබන සාකච්ඡුාවකට ඉඩකඩ විවර කර දීම ඉතා වැදගත් බව ද අපි විශ්වාස කරනවා. එසේ නොමැතිව නව සංශෝධන අනුව මැතිවරණයක් පැවැත්වීමේදී ගැටළු රාශියක් මතු විය හැකියි. මේ කරුණත් අපි අපේ ලිපියෙන් ජනාධිපතිතුමන්ට දන්වා සිටියා.

‘මූල්‍ය අපරාධ කොට්ඨාසය’

ගෝඨභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්තුමන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ලැබුණු නිගමනය අනුවත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව මේ රටේ ජනතාවට අලූතෙන් සිතා බැලිය යුතු යමක් ඉතිරි කොට තිබෙනවා. ‘මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙතෙක් සිදු කළ ක‍්‍රියා හරිද, වැරදිද?’ කියන ප‍්‍රශ්නයත් ඒ සමග මතු වී තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමට අදාළ ගැසට් පත‍්‍රය පහසුවෙන් සොයා ගත හැකි තැනක නොවෙයි තිබුණේ. මා විසින් එය පාර්ලිමේන්තු පුස්තකාලය තුළ තිබී අපහසුවෙන් සොයාගත්තා. ඉන්පසුව අපි එම ගැසට් පත‍්‍රය පිළිබඳ එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිතුමන්ගෙන් විමසා සිටියා. ‘මේ පිළිබඳ මා දැනුම්වත් නැහැ. සොයා බලා එය අත්හිටුවීමට කටයුතු කරනවා’ කියලයි ජනාධිපතිතුමන් එහිදී පැවසුවේ. මෙම ගැසට් පත‍්‍රයේ අවසන් වගන්තිය ඉතා බරපතළයි. පොලීසිය ස්වාධීන කරන්න ‘පූර්ණ බලැති පොලිස් කොමිසමක්’ ගෙනෙන බව ජනතාවට කියලා බලයට ආපු යහපාලන ආණ්ඩුව අවසානයේදී පොලිස්පතිවරයාට වග නොකියන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට පමණක් වග කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහිත ‘මූල්‍ය අපරාධ කොට්ඨාසය’ හැදුවා. මේක පැහැදිලිවම විපක්‍ෂ දේශපාලනඥයන් දඩයම් කිරීමට ගෙන ආ ‘දඩයම් ඒකකයක්’.

‘සජිත්ගේ බොරු අවලා’

‘සජිත් පේ‍්‍රමදාස මහතා දැන් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය ඇතුළේ ඉඳගෙන ‘කසය’ ගහනවා. ‘පසුගිය කාලයේ අරවා වුණා. මේවා වුණා.’ කියලා කියනවා. එහෙම ‘බොරු චෝදනා සහිත කසය ගහනකොට තවත් කෙනෙක් ‘බොරු පැමිණිල්ලක්’ දානවා. ඉන්පස්සේ මේ මූල්‍ය අපරාධ අංශය ‘දඩයම්’ පටන් ගන්නවා.

අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාත් මේ දඩයමට හසුකර ගන්නයි හදන්නේ. අමාත්‍යාංශයක මුදල්, ඇමතිවරයකුට අවශ්‍ය පරිදි පරිහරණය කරන්න බැහැ. අමාත්‍යාංශ ලේකම්වරයකු, ප‍්‍රධාන ගණකාධිකාරීවරයකු හා අභ්‍යන්තර විගණන අංශයක් සහිත ක‍්‍රමවේදයක් යටතේ තමයි අමාත්‍යාංශයක මුදල් පාලනය කරනු ලබන්නේ. එසේ තිබියදී තමයි මාධ්‍ය සංදර්ශනවලදී කිසිඳු පදනමක් නොමැති චෝදනා ඉදිරිපත් වන්නේ. ඒ වගේම රාජ්‍ය සංස්ථාවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ රාජ්‍ය සමාගමක් පාලනය වන්නේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක් මගින් එහි මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නියෝජිතයකු ද අනිවාර්යෙන් සිටිනවා. ඇමතිවරයකුට මුදල් සාක්කුවේ දා ගැනීමට හැකි ක‍්‍රමවේද සාදා නැහැ.

අපි සජිත් පේ‍්‍රමදාස මහත්තයාට කියනවා, ‘ඔබතුමා දින 100 තුළ කරපු දේ රටට කියන්න. එහෙම නැතිව බොරු අවලාද ගහන්න එපා. ඔබතුමා නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් මොනවාද කළේ?. සමෘද්ධිලාභීන්ගේ අරමුදල්වලින් හිතවතුන්ට මුදල් බෙදමින් ගියපු එකනේ ඔබතුමා කළේ.’ කියලා. ‘නිවාස අමාත්‍යවරයා ලෙස ඔබ ඉටු කළ දේවල් පිළිබඳවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉටු කළ දේවල් පිළිබඳවත් කථා කරන්න ප‍්‍රසිද්ධ විවාදයකට එන්න’ කියලා අපි සජිත් පේ‍්‍රමදාස මහතාට අභියෝග කරනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2010දී වසා දැමීමට නියමිතව තිබුණේ. රාජ්‍ය ඉන්ජිනේරු සංසථාව ඉතාමත් දුර්වල තැනක තිබූණේ. නමුත් ඒ සියල්ල යළි ගොඩන`ගා රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන තත්ත්වයට පත් කළේ විමල් වීරවංශ මහතායි. නිවාස 50,000ක් හදන බවට පාරම්බාපු සජිත් පේ‍්‍රමදාස මහත්තයා දින 100ට ගෙවල් කීයක් හැදුවාද? ඒවා ගැන දැන් රටට කියන්න, ගිරිය පුප්පාගෙන විමල් වීරවංශ මහතාට බොරු අවලාද නගන්නේ නැතිව. ගෙවල් 50,000ක් කෙසේවෙතත් හදපු ගෙවල් 50කවත් තොරතුරු රටට හෙළි කරන්න.

මේක යහපාලනයක් නම්, හිටපු ඇමතිවරයාගේ වැඩපිළිවෙළේ හොඳ දේවල් සහ තමන්ගේ අලූත් දේවල් එකතු කරලා රටට හොඳම දේ දිය යුතුයි. අඩුම තරමින් සජිත් පේ‍්‍රමදාස මහතා තමන්ගේ පියා සිදු  කළ හොඳ දේවල් මේ දින 100 තුළ ආදර්ශයට ගත්තාද?’’
01
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා,

‘‘යහපාලන දින 100 තුළ රාජ්‍ය අංශයේත්, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේත් ලක්‍ෂ 15කට වැඩි පිරිසකට රැකියා අහිමිව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු රැස් කිරීමේ ඒකකයක් පිහිටුවීමට අපේ දේශපාලන මණ්ඩලය තීරණය කළා. ඒ අනුව ‘යහපාලන ආණ්ඩුව යටතේ රැකියා අහිමි වූවන්ගේ තොරතුරු රැස් කිරීමේ ඒකකය, ජාතික නිදහස් පෙරමුණ, 21/1, අශෝක මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල’ යන ලිපිනයට රැකියා අහිමිවූවන්ට තම විස්තර තැපෑලෙන් අප වෙත එවිය හැක. ඒ වගේම 011 2883365 යන දුරකථන අංකයට අමතා හෝ ෆැක්ස් 011 2882176 මගින් ද, තොරතුරු ලබාදිය හැකියි. යහපාලනය යටතේ රැුකියා අහිමිවූවන්ගේ අයිතීන් සුරැකීමට අපි ඉදිරියේදී විධිමත් වැඩපිළිවෙළක් සකසනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*