BREAKING NEWS

“පාස්කු ඉරිදා වින්දිතයන්, වහාබ්වාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස බවට පත් කිරීම ඔවුනට කළ හැකි එකම සාධාරණයයි”

“පාස්කු ඉරිදා වින්දිතයන්, වහාබ්වාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස බවට පත් කිරීම ඔවුනට කළ හැකි එකම සාධාරණයයි”

– ජානිපෙ නායක විමල් වීරවංශ

පාස්කු ඉරිදා වින්දිතයන්, වහාබ්වාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස ලෙස මෙරට ඉතිහාස කතාව තුළ ලියා තැබිය යුතු බවත් එය එකී මිනිසුන්ට අපට කළ හැකි එකම සාධාරණය බවත් ඒ ඉතිහාස කතාව ලිවිය හැකි දේශපාලන නායකත්වයක් වහාම මේ රට ගෙන ආ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (21) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ‘ඉටි පහන් වැට’ – පාස්කු ඉරිදා වින්දිතයන්ගේ දෙමස් පූර්ණය වෙනුවෙන් සංවිධානය කළ සැමරුමට එක්වෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘සහරාන් වැඩ කළේ එජාපයට බව ඔප්පු වුණා’

ජනතාව තුළ තිබෙන සාමය පිළිබඳ බලාපොරොත්තු පුපුරවා හරිමින් අප්‍රේල් 21 වැනිදා නැවත භීතිය රජ කරන පරිච්ඡේදයකට මේ රට අවතීර්ණය කළා. මේ ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එක් පාර්ශ්වයකට වරද පැටවීමට ගෙන ආ එකක් වුවත් එමගින් ආණ්ඩුවේ සියලු පාර්ශ්වවල රෙදි ගැලවී තිබෙනවා. එම තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වුණා සහරාන් වැඩ කළේ එක්සත් ජාතික පක්ෂයට කියලා. සහරාන් අත්අඩංගුවට ගන්න හදන පොලිස් නිලධාරීන් මාරු කළා. මේ ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් වියදම් කරපු ඊබ්‍රාහිම්ලා මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ උපදේශකයන් වුණා. පාස්කු ඉරිදා නිර්මාණය වූවා නොවේ එය රාජ්‍ය අනුග්‍රහය සහිතව නිර්මාණය කළා. බලන්න, එදා ජනපති රට ගියා – අගමැති බලපිටි ගියා. හරින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ තාත්තා කිව්වා ‘පුතේ උඹ අද පල්ලි යන්න එපා’ කියලා. මේ සියල්ලෙන් පෙනෙන්නේ මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කරපු එකක් බව නොවේද?

කොටි ත්‍රස්තවාදීන්ටවත් බිය නොවූ මේ රටේ ජනතාව අද මෙතරම් භීතියට පත්ව සිටින්නේ මෙම ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති නිසයි. ඒ නිසා අද ජනතාව තුළ මේ තකතීරු වගකීම් විරහිත ආණ්ඩුව කෙරෙහි වෛරයක් හා පිළිකුලක් ඇතිව තිබෙනවා. අගමැති කියනවා, ‘දැන් ත්‍රස්තවාදය ඉවරයි’ කියා. සරත් ෆොන්සේකා කියනවා, ‘නැහැ ඉවර නැහැ, ඒකට තව අවුරුදු දෙකක්වත් යනවා’ කියා. ඉතිං ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවේ කවර පළුව කියන කතාව ද? අද මේ වහාබ්වාදී අන්තවාදයේ අලගිය – මුලගිය තැන් සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් මොකද කරන්නේ? රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරනවා ‘රාජ්‍ය සේවකයාට නිල ඇඳුමක් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි?’ කියා. මේ වගකීම් විරහිත පාලකයන් තමයි 2015 ජනවාරි 08 වැනිදා පත්කර ගනු ලැබූවේ.

‘රට දශක තුනක් ආපස්සට ගියා’

එදා මේ ටික වෙන බව අප පෙන්වා දුන්නා. ‘ආඬි හත්දෙනාගේ කැඳ හැලියෙන්’ මේ රට දශක තුනක් ආපස්සට ගියා. මුළු රටම අවාසනාවේ ගොදුරක් බවට පත්ව තිබෙනවා. මේ ඉරණමෙන් ගොඩ එන්න මාර්ගයක් අපට තියෙන්න ඕනේ. අද ඕන ජාතික ආරක්ෂාව මුල්කොට හිතෙන නායකයෙක්. ජාතික ආරක්ෂාව රැකුණොත් පමණයි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සාමකාමී ජනයා රැකෙන්නේ, ආර්ථිකය පිබිදෙන්නේ.

‘තවත් සහරාන්ලා බිහි කරන එක නතර කරන්න’

මේ අන්තවාදී ත්‍රස්තවාදය බිහි වුණු ගර්භාෂය තිබෙන්නේ මුස්ලිම් ජන සමාජය තුළයි. ඒ නිසා අපි මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලනවා, ‘අල්ලාහ් දෙවියන් ළඟට යන්න එන්න, කියා මුස්ලිම් තරුණයන්ගේ ඔළුවලට විස කවලා මරාගෙන මැරෙන ත්‍රස්ත පැටව් හදන්න එපා’ කියා. එහෙම ‘අල්ලාහ් දෙවියන්’ ළඟට කවුරුහරි යවන්නට උවමනානම් ඒ අය අරාබි රටකට, මැදපෙරදිගට යවලා පුපුරුවාගෙන මැරෙන්න කියන්න. මුස්ලිම් නායකයිනි, ඊළඟ ‘සහරාන්’ මුස්ලිම් ජන සමාජයෙන් බිහි වීමට ඉඩ තබන්න එපා. එහෙම බිහි වීමට ඉඩහැරියොත් මේ මුස්ලිම් නායකයන් පළමුව ද්‍රෝහී වන්නේ මුස්ලිම් ජන සමාජයට හා මුස්ලිම් තරුණ තරුණියන්ටයි.

‘වහාබ්වාදී අන්තවාදයට උඩගෙඩි දෙන නායකයෝ’

එදා එල්ටීටීඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාට භෞතික ඉලක්කයක් තිබුණා. ඒ තමයි දෙමළ ඊළමක් හැදීම. ඔහු මරාගෙන මැරුණේ ප්‍රභූවරයෙක්. විනාශ කළේ ආර්ථික මර්මස්ථානයක්. නමුත් අද කතෝලික බැතිමතුන්, සංචාරකයන් ආදීන් මේ වහාබ්වාදී ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත් වෙලා. මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන වහාබ්වාදී ‘ගර්භාෂය’ ඉවත් කිරීමට මුස්ලිම් නායකයන් පෙරට එන බවක් පෙනෙන්නේ නැහැ. අද දක්නට ලැබෙන්නේ වහාබ්වාදී අන්තවාදයට උඩගෙඩි දෙන නායකත්වයක් මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන බවයි. අපි ජාතිවාදී නැහැ. නමුත් මුස්ලිම් දේශපාලනඥයන් හා ආගමික නායකත්වය, තවත් සහරාන්ලා බිහි වීම නොවැළැක්වුවහොත් ඉන් විනාශයට පත් වන්නේ මුස්ලිම් ජන සමාජය විතරක් නොවෙයි, මුළුමහත් ශ්‍රී ලාංකීය ජනසමාජයම බවත් පෙන්වා දීමට කැමතියි. තම ජන සමාජය තුළ අන්තවාදයට හිස එසවීමට ඉඩ දෙන නායකයන් සිංහල වුවත් මුස්ලිම් වුවත් දෙමළ වුවත් තම ජනසමාජයන්ට කරන්නේ ද්‍රෝහීකමක්.

‘වින්දිතයන්ට කළ හැකි එකම සාධාරණය’

කීයක් හරි ලියුම් කවරෙක දාලා දීලා, අපට පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට බැහැ. පාස්කු ඉරිදා මියගිය මිනිස්සු, තුවාල ලැබූ මිනිස්සු, තම සමීප ඥාතියා මියයාම නිසා අහස දෙස බලාගෙන හූල්ලන මිනිස්සු යන සියල්ලෝම මෙහි වින්දිතයෝ යි. ඒ වගේම තවත් පැත්තකින් පාපතර වෛද්‍යවරුන්ගේ ගර්භාෂ යුද්ධයේ ගොදුරු බවට පත් මවුවරුන් ද මේ වහබ්වාදී අන්තවාදී ත්‍රස්තවාදයේ වින්දිතයන් පිරිසක් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. මේ වින්දිතයන් ප්‍රමාණය පැටව් ගැසීමට ඉඩදිය යුතු නැහැ. මේ පිරිස වහාබ්වාදී අන්තවාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස බවට පත් කළ යුතුයි. ඔවුන්ට කළ හැකි එකම සාධාරණය මෙවැනි ඉරණමකට ලක් වූ අවසානම පිරිස තමන් ඔවුන් යැයි මේ රටේ ඉතිහාස කතාව තුළ ලියැවීමයි. එම ඉතිහාස කතාව ලිවීමට හැකි දේශපාලන නායකත්වයක් යටතට වහාම මේ රට එන්න ඕනේ.

‘මුස්ලිම් ඡන්ද කුට්ටිය’

මේ අභියෝගය ඉදිරියේ සිංහල බෞද්ධ, සිංහල කිතුණු, දෙමළ හින්දු, දෙමළ කිතුනු ජනයා වගේම මුස්ලිම් ජන සමාජයෙත් සාධාරණ ලෙස හිතන මිනිස්සු සමගියෙන් වෙළී ඉන්නවා. මේ ආණ්ඩුවට ඕනෑ ඒ සමගිය මරන්න. ඔවුන්ට මුස්ලිම් ඡන්ද කුට්ටිය ලබාගන්න මේ අන්තවාදී ත්‍රස්තවාදය රකින බව ඉතා පැහැදිලියි. එනිසා මේ ආණ්ඩුව වහාබ්වාදී අන්තවාදී ත්‍රස්තවාදීන්ට තවදුරටත් තමන්ගේ කටයුතු කරගෙන යන්න දීලා නිහඩව ඉන්න බව පෙනෙනවා. මෙවැනි ආණ්ඩුවකින් කිසිසේත්ම වින්දිතයන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

‘යුදමය තත්ත්වයකදී දේශපාලන නායකත්වය’

සහරාන්ලා බිහි වන ‘ගර්භාෂය’ විනාශ කර දැමිය හැකි දේශපාලන නායකත්වයක් අපට උවමනායි. එදා කොටින් සමඟ යුද වදින කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ‘යුදමය තත්ත්වයකදී දේශපාලන නායකත්වය කියන්නේ මොකක්ද?’ කියලා ඔප්පු කර පෙන්නුවා. දැන් ඉන්න නායක ජෝඩුව යුදමය කාලෙකට නොවෙයි ගංවතුර කාලයකටවත් ගැලපෙන්නෙ නැහැ. ගංවතුරක් ආවම මේ ජෝඩුව බොට්ටු දෙකක දෙපැත්තට යනවා. අද මුළුමහත් ජාතියම 2015 ජනවාරි 08 වැනිදා කරගත් වරදේ ප්‍රතිවිපාක නිසා වදවේදනා විඳිනවා. මෙතැනින් මේ රට එළියට ගන්න දිනය උදාවන තුරු මුළුමහත් ලක්වාසීන් බලාගෙන ඉන්නවා. ඒත් මෙතැනින් එළියට එන්න බලාගෙන ඉන්න අපේ ජන සමාජය තීරු තීරුවලට බෙදන්න ඇතැමුන් උත්සාහ කරනවා. විශේෂයෙන් මේ අය සිංහල ජන සමාජය, තීරු තීරුවලට බෙදන්න හදනවා. මේ අයගේ සැලසුම සුළුතර ජන කොටස්වල ඡන්ද කුට්ටිය අතේ තියා ගන්න ගමන් සිංහල ඡන්දදායකයා තීරු තීරුවලට බෙදන්න.

ඒ නිසා පාස්කු ඉරිදා විපතට පත් වූ අහිංසක මිනිස්සුන්ගේ නාමයෙන් එවැනි විපතක් යළි ඇති නොවීම සඳහා වන ඉහළම සමගිය ඉල්ලා සිටිනවා. එදෙසට ගමන් කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාටම යෝධ බල, යෝධ වීර්ය ප්‍රාර්ථනා කරනවා.”

අප්‍රේල් 21 වැනිදා වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සැමරීම පිණිස කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙම සුවිශේෂ සැමරුම සංවිධානය කොට තිබිණි. ‘පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීමේ ජනතා ක්‍රියාන්විතය’ විසින් සංවිධානය කර තිබූ මෙම සැමරුම නම් කොට තිබුණේ ‘ඉටි පහන් වැට’ යනුවෙනි.

මෙම සැමරුම පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර හෝකන්දර දක්ෂිණාරාමාධිපති, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය මදුරුඔයේ ධම්මිස්සර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද හින්දු සම්මේලනයේ ප්‍රධාන අනුශාසක, මධ්‍යම පළාත් ප්‍රධාන පූජක හරිදෙව් ප්‍රභාකර් කරුක්කල්තුමන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් නියෝජනය කරමින් ක්ලැසිඩස් පියතුමන්, ජාතික සමගිය සදහා වන අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු පිළිබද සම සභාපති අල්හාජ් හසන් මවුලානා පූජකතුමන් ඇතුළු ආගමික නායකයෝ ද වැඩම කර සිටියහ.

අනුෂා දමයන්ති, ගයාන් වික්‍රමතිලක, අර්ජුන් කමලනාත් ඇතුළු කලාකරුවෝ පිරිසක් ද ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, සිසිර ජයකොඩි, නිරෝෂන් ප්‍රේමරත්න, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිගැනීමේ කතාව මහාචාර්ය අතුල සුමතිපාල මහතා සිදු කළ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ද අදහස් දැක්වූහ.

ඉදිරියේදී මෙවන් අපරාධයක වින්දිතයන් බවට පත්වීමට මෙරට ජනතාවට ඉඩ නොතබන බවට සපථ කරමින් ප්‍රතිඥාවක් ලබා දෙන අතරතුර ඉටිපහන් දැල්වීම ද මෙහිදී සිදු කෙරිණි. එසේම ඉහත ඛේදනීය සිදුවීම අලලා විමල් වීරවංශයන් විසින් රචිත, සංඛ දිනෙත් සංගීතවත් කළ ගීතයක් ජනගත කිරීම ද මෙම සැමරුමෙහි එක් අංගයක්ව පැවතිණි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/06/22

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*