වාලච්චෙන කඩදාසි කම්හලේ සේවකයින් පඩි වැඩි කර ගනියි
අර්බුද මැද ජයග්‍රහණ ලැබිය හැක්කේ ධෛර්යවන්ත මිනිස්සුන්ට පමණක් බව වාලච්චේන කඩදාසි කම්හලේ සේවක සේවිකාවන් යළිත් ඔප්පු කර ඇත. ඔවුන් මේ මාසයේ සිට තමන්ගේ වැටුප රුපියල් 15000කින් වැඩි කරගෙන ඇත. ඒ උද්ඝෝෂණ කර නොවේ. කම්හල වසාගෙන වැඩ වර්ජන කර නොවේ. මහන්සි වී වැඩ කර, නිෂ්පාදනය වැඩි කරගෙනය. එසේ උපයා ගත් ලාභ පංගුවකින් තමන්ගේ වැටුපද වැඩි කරගෙන ඇත.
ආයතනයක් ලාභ ලැබුවා කියා සේවකයින්ට පඩි වැඩි කරගැනීමට නොහැකිය. විශේෂයෙන්ම මේ වෙලාවේ පඩි වැඩි කිරීම රජයෙන් තහනම්ද කර ඇත. එහෙමනම් කවුද මේ ධෛර්යවන්ත තීරණය ගත්තෙ? වෙන කවුරුත් නොවේ. වාලච්චේන කඩදාසි කම්හලේ සභාපතිතුමායි එම තීරණයට නායකත්වය ලබා දී තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම සභාපති විමල් රූපසිංහ මහතා ඇතුළු මුළු අධ්යක්ෂ මණ්ඩලයටම මෙහි ගෞරවය හිමි විය යුතුය.
එපමණක්ද? නැහැ. තවත් තීරක මිනිසෙක් සිටී. සේවකයින් දොට්ට දමා වසා දමා තිබුණු වාලච්චේන කඩදාසි කම්හල යළි ආරම්භ කරමු යි යන එඩිතර තීරණය ගත්තේ එදා කර්මාන්ත ඇමැතිව සිටි විමල් වීරවංශයි. ඒ වෙනුවෙන් පත් කළ “මිනිසා” වන්නෙ විමල් රූපසිංහයි. බැසිල් රාජපක්ෂ එය හඳුන්වා තිබුණේ “පිස්සු වැඩක්” යනුවෙනි. නමුත් අද තත්වය කොහොමද? විමල් අද කර්මාන්ත ඇමැතිද නොවේ. ආණ්ඩුවේ කොටස්කරුවෙක්ද නොවේ. නමුත් නිවරැදි තීරණය ක්රියාත්මකය. එහි ප්රතිලාභ සේවකයින්ට හා රටට ලැබෙමින් තිබේ.
“අද එක දවසක්වත් මේක වහන්න බැරි තත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ ලොතරැයි ඔක්කොම ගහන්නෙ අපේ කඩදාසිවලින්නෙ” සභාපතිතුමා සතුටින් කතා කරගෙන යයි. ඇත්ත වශයෙන්ම ඔහු සිටින්නෙ සතුටිනි. ලියන අපටද සතුට බෝ වී ඇත. එය ස්වභාවිකය. “ඔය ගොල්ලො කොළඹට වෙලා ඉන්නෙ එන්නෙ නැද්ද මේක බලන්න? සභාපති විමල් අපෙන් විමසයි. “සති අන්තෙක එන්නකො බලන්න වැඩේ. මෙතැන බස් හත අටක් හැම සති අන්තෙකම නතර කරලා තියෙනවා. රටේ හැම තැනින්ම අපේ වැඩ බලන්න එනවා. ඒ නිසා එන අයට පහසුකම් දෙන්න වහල දාලා තිබ්බ විශ්රාම ශාලාවත් දැන් හදාගෙන යනවා”.
කොහොමද මේ වැඩේ කළේ? කරුණු දැන ගැනීමේ පිපාසාවෙන් පැනය අපෙනි. කෙටි උත්තරකි. ”වංචාව, දූෂණය නැත්නම් ලාභ ඕන තරම් තියෙනවා”. ඔහු කීවේය. මේ ආයතනය 2021 දී යළි ආරම්භ කර ඇත්තේ සේවක සේවිකාවන් 150ක ගෙනි. වැඩි පිරිස දෙමළ සහ මුස්ලිම් අයය. පළ පුරුදු සහ නවක අයගෙන් සමන්විත සේවක කණ්ඩායමක් වන මේ පිරිස බඳවාගෙන ඇත්තෙ කර්මාන්ත ශාලාව ආශ්රිත ප්රදේශයන්ගෙනි. “ මෙතැනදිත් මම එක දෙයක් කියන්න ඕනි” සභාපතිතුමා අවධාරණයෙන් කියයි. “විමල් ඇමැතිතුමා එක කොල් එකක්, එක වචනයක් කිව්වෙ නෑ… අහවලා ගන්න, මෙයා ගන්න කියලා. අපි සේවකයෝ ගත්තෙ ආයතනයක් විදිහටයි” ඔහු කතා කරගෙන යයි.
වාලච්චෙන කඩදාසි කම්හල මේ වන විට මාසිකව රුපියල් මිලියන 65ක ලාභයක් උපයමින් සිටී. නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ තදබල උවමනාවක් තිබුණද එය වැඩි කරගැනීමට පහසුකම් නැත. අලුත් මැෂින් හෝ සේවකයින් ගැනීමට අවසරක් නැත. පුදුම හිතෙන රාජ්ය ප්රතිපත්ති. නමුත් රුපි. මිලියන 2ට තිබුණු ලයිට් බිල රුපි. මිලියන 6.5 දක්වා වැඩි වී ඇත. ඒ විදුලි බිලේ නව ප්රතිපත්තියත් සමඟිනි. රුපි. මිලියන 3ක් තිබූ බැංකු පොලිය රුපි. මිලියන 6 දක්වා වැඩි වී ඇත. ඒ බැංකු පොලී වැඩි කිරීමේ ප්රතිපත්ති නිසාය. ඒ අතර වසර 2000 ඉඳළා 2016 වෙනකම් “පොල්ල” තිබූ රුපි.මිලියන 120ක විදුලි බිලද ගෙවාගෙන යයි. මේ ඔක්කොම කරන ගමන් සේවක පඩි නඩි වැඩි කිරීම වෙනුවෙන් මේ මාසයේ සිට රුපි. මිලියන 2.5 ක්ද වෙන් කර ඇත.
“මේ පඩි වැඩි වීමට අපි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ දිරි දීමානාවක් ද ගෙවනවා” දුරකතනය විසන්ධි වීමේ අවසන් තත්පරයේදී සභාපතිතුමාගේ හඬ ඈතින් ඇසුනි. මම කල්පනාවට වැටුණි. ඒ විමල් ඇමැති ගැනය. ඔහු ගැනත් නොවේ ඔහුගේ තීරණ ගැනය. අද කර්මාන්ත අමාත්යංශයේ ලාභ ලබන එකම කර්මාන්ත ශාලාව මෙය විය හැකිය. එය ද ඈවර කර වසර ගණනාවක් තිස්සෙ වසා දමා තිබූ කර්මාන්ත ශාලාවකිනි. එය පටන් අරගෙනද යන්තම් වසරක් ගෙවුණා පමණි. දැන් ලාභ ලබා සේවක පඩිද වැඩි කරගෙන ඇත. රටක් දියුණු කළ හැකි මාවත රටේ කෙලවරක පිහිටි රජයේ කර්මාන්ත ශාලාවක කුඩා සේවක පිරිසක් නිහඬව මුළු රටටම පෙන්වා දෙමින් සිටී. ඇස් අරින්න. මේ ආලෝකය දෙස බලන්නැයි අපි රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
– ප්‍රියන්ත නාවින්න