අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…
ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “ගාල්ල සම්ප්‍රාප්තිය” අද(29) සවස ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි.
මෙම ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.
එසේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී තිලකසිරි මහතා ද මෙම ජනතා සමුළුව ඇමතුවේය. පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ගා. දේනෙත්ති මහතා විසින් සිදු කරන ලදී.
උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් ගාල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තිය”, “අනුරාධපුර සම්ප්‍රාප්තිය”, “මහනුවර සම්ප්‍රාප්තිය” හා “නුවරඑළිය සම්ප්‍රාප්තිය” ද මේ වනවිට සිදුව ඇත.
මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
2022-11-29


































