BREAKING NEWS

“කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතුයි’‘

“කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතුයි’‘

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් නිකුත් කර ඇති ට්වීටර් පණිවිඩයක, ‘ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිඳු සැලසුමක් හෝ වුවමනාවක් නැහැ.’ යනුවෙන් සඳහන් කර ඇත. එසේ ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ සැලසුමක් හෝ වුවමනාවක් නැත්නම් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා ඇති හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමට (SOFA – Status Of Forces Agreement) අදාළ ලේඛනයෙහි සඳහන් කරුණු මොනවාදැයි අපි දැන ගැනීමට කැමැත්තෙමු. එසේම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ඇමරිකානු තානාපතිනිය මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් කවරාකාරදැයි දැන ගැනීමට ද අපි කැමැත්තෙමු.

මේ වන විට රට හමුවේ සෝෆා ගිවිසුම (SOFA) යැයි අනාවරණය වී ඇති ලේඛනයෙහි අඩංගු කරුණු සැකවින් රට හමුවේ තැබීමට කැමැත්තෙමු. ඒ අනුව මෙම ගිවිසුම අදාළ වන්නේ ඇමරිකානු හමුදාවන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වන කොන්ත්‍රාත්කරුවන්ට ය. ඒ සියලුදෙනාටම ‘තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතියට’ අනුව තානාපති මුක්තිය ලැබෙනු ඇත. ඔවුනට වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකාව තුළ පරීක්ෂා කිරීම්වලින් තොරව අධි ආරක්ෂිත කලාප ඇතුළු ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට හැකි ය. එසේම ඔවුනට ශ්‍රී ලංකාවේ නීතිය අදාළ නොවන අතර ඔවුන් සිදු කරන නීති විරෝධී හෝ සාපරාධී ක්‍රියාවන් සඳහා ඇමරිකානු නීතිය පමණක් අදාළ වෙයි.

එසේම ශ්‍රී ලංකාව තුළ පනවා ඇති බදුවලට හෝ කිසිදු ගෙවීමකට එම ඇමරිකානු පුද්ගලයන් යටත් වන්නේ නැත. ඔවුනට අවශ්‍ය දේපළ, උපකරණ, සැපයීම්, අමුද්‍රව්‍ය හා තාක්ෂණ පුහුණුවීම්වලට අදාළ දේවල් ආනයනය කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉහත සන්නද්ධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා සියලු යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකා භූමියට ඇතුළුවීමට හා පිටවීමට, නිදහසේ ගමන් කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේම විදුලි සංදේශ ජාලයක් කිසිඳු ගෙවීමකින් තොරව භාවිතා කිරීමට අයිතිය ලැබේ.

මෙවැනි කරුණු ඇතුළත් ගිවිසුමක් බලාත්මක වුවහොත් ඇමරිකානු කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ වුවමනාවක් නැත. මක් නිසාද යත්, එමගින් මුළුමහත් ශ්‍රී ලංකාවම ඇමරිකානු එක්සත් ජනපදයේ යුද තිප්පොළක් වන නිසා ය.

ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙතෙක් සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ සිදුකර ඇති සාකච්ඡා, ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන එකඟතා, කෙටුම්පත් හා ලේඛන මොනවාදැයි විවෘතව හා විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් අනාවරණය කරන ලෙස ය. එසේ නොමැතිව මෙසේ වරින් වර ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමෙන් මේ ගැටළුව නිරාකරණය නොවන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2019.07.02

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*