BREAKING NEWS

“ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල්ට හෝ සජිත්ට දේශපාලන වශයෙන් ‘අනිච්චාවත සංඛාරා‘ කීමට සිදුවේවි’‘

“ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල්ට හෝ සජිත්ට දේශපාලන වශයෙන් ‘අනිච්චාවත සංඛාරා‘ කීමට සිදුවේවි’‘

– ජානිපෙ නායක විමල් වීරවංශ

එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාගෙන් එක් අයකුට තම දේශපාලන කාල පරිච්ඡේදය අවසන් කිරීමට සිදු වීම නියත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (25) මාවනැල්ල වියත් සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘ජාතික ආරක්ෂාව බිල්ලට නොදීම’

“අපට ජීවිතයේ තෝරාගැනීමට තිබෙන්නේ වඩාත් සුදුසු තේරීම්. පරමාදර්ශී විසඳුම් නොලැබෙන තත්වයක් ඇතුළේ අපට වඩාත් සුදුසු විසඳුමට යෑමට සිදු වෙනවා. මේ මොහොතේ අපට බල කෙරෙනවා මනඃකල්පිත විසඳුම් පසුපස හඹා යන්නේ නැතිව, යථාර්ථය තුළ තිබෙන වඩාත් සුදුසු තීරණය ගැනීමට. අද මේ රාජ්‍යය ආරක්ෂාව, සිංහල – දෙමළ – මුස්ලිම් ජන කොටස්වල බලවත් සමගිය මෙන්ම බලවත් ආර්ථික පරිවර්තනයක් ඉල්ලා සිටිනවා. මේ ශ්‍රී ලංකාව නමැති උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ජාතික රාජ්‍යය, අද එහි ස්වෛරීභාවය කිසිදු ලෙසකින් ලෝක බලවතුන් හමුවේ බිල්ලට නොදෙන නායකයෙක් ඉල්ලා සිටිනවා.

‘මේ ආණ්ඩුව සුද්දන්ටත් එහා’

2019 මැයි 18 වැනිදාට කොටි ත්‍රස්තවාදයෙන් මේ රට නිදහස් කරගෙන වසර 10යි. ඒත් අද උතුරේ, විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහන උත්සවයක් සිදු කිරීමේ නිදහසත් අහිමිව ගොස් තිබෙනවා. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය ගොඩනැගුණේ ථේරවාදී බුදුදහම ඇසුරෙන්. ඒ බව සුද්දා පවා පිළිගනිමින් තමයි කටයුතු කළේ. සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ පවා නොතිබුණු තත්ත්වයක් අද තිබෙන්නේ. ‘අලුතින් පන්සලක් හදනවා නම් අවසරය ගන්න ඕනේ නැහැ. අනෙක් ආගමික ස්ථානයක් හදනවානම් අවසරය ගන්න ඕනේ’ කියන නීතියයි සුද්දන් එදා පනවා තිබුණේ. ඕනෑම රටක ඓතිහාසික සංස්කෘතිය නිර්මාණය කළේ කවුද, කියන එකයි වැදගත්. ඒ නිසයි සුද්දන් පවා එලෙස කටයුතු කළේ. මේ ‘යහපාලකයින්’ සුද්දන්ටත් එහා ගිහිල්ලා පන්සලේ පින් කැටයට ‘ඉබි යතුරු’ දැම්මා. අපි නොවැම්බර් 16 වැනිදාට මේ තත්වය වෙනස් කරන දිශාවට තීරණයක් ගත යුතුයි.

‘රනිල්ගේ කොන්දේසි’

දැන් එක්සත් ජාතික පක්ෂයේ ‘මණ්ඩලය කචල්’. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මොනවාද මේ කොන්දේසි? අගමැති ධුරය හා පක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදිය යුතුයි. මාස 06ක් ඇතුළත විධායක ජනපති ධුරය අහෝසි කළ යුතුයි. බැරිවෙලාවත් සජිත් දිනුවොත් මාස 06න් රනිල්ට රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ කොන්දේසි දෙක අනුව. කොහොමද ‘ටිකිරි මොලේ’? දැන් රනිල් බලනවා, සජිත්ව ‘දෙවැනි සිරිසේන’ බවට පත්කර ගැනීමට. ඊළඟ ප්‍රධාන කොන්දේසිය තමයි ‘බලය බෙදීමට එකඟ විය යුතුයි’ යන්න.

‘අතුරු කොන්දේසි’

ඒවාට අමතරව තිබෙනවා, අතුරු කොන්දේසි ගණනාවක්. ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ. ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවහොත් එහි පූර්ණ බලැති මුදල් අමාත්‍ය ධුරය රවී කරුණානායක මහතාට අනිවාර්යෙන් ලබාදිය යුතුය. දැනටමත් සජිත් කියලා තිබෙනවා, ‘කොන්දේසි වලට නම් එකඟ වෙන්න බැහැ’ කියා. එවිට රනිල් පවසා ඇත්තේ ‘එහෙනම් ඔයාට අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ’ කියා. ඉන් පසුව ඊයේ (24) හේමා ප්‍රේමදාස මැතිනිය පැය භාගයක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා කියා අපට ආරංචියි. දැන් හිටපු ගමන් ඇය කියනවාලු ‘මගේ මහත්තයා හිටියා නම් කරන දේ දනී’ කියා. හොඳ වෙලාවට මහත්තයා නොහිටියේ.

‘සජිත්ට බරපතළ තෝරාගැනීම් දෙකක්’

දැන් මේ රනිල් වික්‍රමසිංහ හදන්නේ කුමක් කරන්නද? ඒක හරියට සජිත්ගේ අත්දෙක නිදහස් කරලා කකුල් දෙකේ පොඩි ගැටයක් ගහලා පිහිනන්න දානවා වගේ වැඩක්. කොහොම නමුත් එයා ගිලෙනවා. ඒ කියන්නේ පරදිනවා. එවිට සජිත්ට එහෙම ගෙදර යන්න කියලා ඊළඟ මහ මැතිවරණයෙන් විපක්ෂ නායක ධුරයට එන්නේ රනිල්. මේ සැලසුම් හැදුවේ ඒ විදිහට. සජිත්ව ගෙදර යවලා තමන්ගේ පැළැන්තියේ කෙනෙකුට බැටන් එක දීලා විශ්‍රාම යන්නයි රනිල්ගේ අවසාන අදහස. දැන් ඒ අනුව බැලුවාම සජිත් ප්‍රේමදාස මහතා ළඟ තිබෙනවා බරපතළ තෝරාගැනීම් දෙකක්. එකක් තමයි රනිල්ගේ කොන්දේසි පිළිඅරගෙන අපේක්ෂකත්වය ලබා ගෙන, නොමිනේෂන් දීමෙන් පසු කොන්දේසි බල්ලාට දැමීම. එහෙම වුණත් වික්‍රමසිංහ මහත්තයාගේ කට්ටිය සජිත්ව ඇතුළේ ඉඳන් පරද්දන්න කටයුතු කරනවා. මතකනේ චන්ද්‍රිකා නෝනා 2005දී මහින්ද මහත්තයා පරද්දන්න දාපු සෙල්ලම. එදා චන්ද්‍රිකා නෝනාගේ ඒ සෙල්ලම අපි පැරැද්දුවානේ. නමුත් මෙතැනදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිරිස, කොන්දේසි පිළිගෙන එන සජිත්ව කොහොම හරි පරද්දනවා. පැරදුනාට පසු සජිත්ට ගෙදර යන්න වෙනවා. එතැනින් පසු එයාගේ දේශපාලන පරිච්ඡේදය ඉවර වෙනවා. ඒ නිසා කොන්දේසි පිළිගත්තත් සජිත් පරාදයි.

‘ලෝක පූජිත – දේශපාලනයෙන් සදා අනාථවූවන්ගේ ගම’

සජිත් ප්‍රේමදාස මහත්තයාට තිබෙන ඊළඟ ප්‍රධාන තෝරාගැනීම තමයි ජනාධිපතිවරණයට වෙනම ඉදිරිපත් වීම. වෙනම ඉල්ලලා රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට වඩා එක ඡන්දයක් හෝ ලබාගත්තොත් පමණක් පසුව එන මහ මැතිවරණයෙන් පසු විපක්ෂය නායක ධුරය ගන්න පුළුවන් වේවි. හැබැයි රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට වඩා එක ඡන්දයක් හෝ ජනාධිපතිවරණයෙන් ලබා ගැනීමට බැරි වුණොත් එයාට ‘ලෝක පූජිත දේශපාලනයෙන් සදා අනාථවූවන්ගේ ගම’ කියා ගමක් හදලා එහි පදිංචි වීමටයි සිදු වන්නේ. මේ ජනාධිපතිවරණය අවසන් වන්නේ රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාසගේ හෝ දේශපාලන පරිච්ඡේදය අවසන් වීමෙනුයි. එක්කෙනෙකුට දේශපාලන වශයෙන් ‘අනිච්චාවත සංඛාරා’ කීමට සිදු වෙනවා.

‘දිට්ඨ ධම්මවේදනීය කර්මය’

2014 අගභාගයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව අන්දාගෙන කළ ‘කුප්ප වැඬේට’ අද ස්වභාවධර්මයාගේ ‘රිටන් එක’ එජාපයට ලැබෙමින් තිබෙනවා. එදා සිරිසේන මහත්තයා ඇන්දා තමයි. නමුත් ඒ පැත්තක හිටපු මනුස්සයා අල්ලාගෙන කළ වරදට අද එජාපයට ‘දිට්ඨ ධම්මවේදනීය කර්මය’ පඩිසන් දෙමින් තිබෙනවා. දැන් සජිත් හා රනිල් දෙන්නාම දන්නවා තමන්ට දිනන්න බැහැ කියා. එක් අයකු යට කරගෙන අනිකා මතු වෙන්නයි දෙන්නාම හදන්නේ. එයාලාට ගෝඨාභය සමග සටන් කරන්න කොහොමටවත් බැහැ. එයාලාට තරඟය ඇත්තේ දෙදෙනා අතර පමණයි.

‘නූල් සූත්තර ඉරියව්ව’

අපි දන්නා ක්‍රිකට් ක්‍රීඩාවේදී සැමවිටම පාහේ නායකත්වය ලැබෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයකුටයි. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය එවැනි අයයි. නමුත් විරළ ලෙස පන්දු යවන්නන් ද නායකත්වයට එනවා. මුරලිට බැරි වුණාට ලසිත් මාලිංගට එම අවස්ථාව ලැබුණා. මේ දේශපාලන ක්‍රිඩාවේදීත් නායකත්වය ලැබෙන්නේ තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයන්ටයි. නමුත් එජාපය තුළ වසර 25ක් තිස්සේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ නම් තුන් ඉරියව්වෙන්ම දක්ෂයකු නොවෙයි. ‘නූල් සූත්තර’ ඉරියව්වට අති දක්ෂයකු නිසාම ඔය විදිහට අල්ලාගෙන ඉන්නවා. කට ඇරියොත් ‘මඤ්ඤං’- අත ඉස්සුවොත් ‘මඤ්ඤං’. ‘නූල් සූත්තර’ හින්දාම අල්ලන් ඉන්නවා. ඒ විදිහට එයාලා විනාශයටම යනවා. ප්‍රධානතම ප්‍රතිවාදියා දුර්වල වුවත් අපේ ජයග්‍රහණය උදුරා ගැනීමට බටහිර බලවතුන් සිදුකරන කුමන්ත්‍රණය අපි සීයට සීයක් දන්නේ නැහැ. ඒ නිසා ජාතිය මේ වළපල්ලට රැගෙන යන ගමන නතර කිරීමට අපට ලැබෙන අන්තිම අවස්ථාව නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණය ජය ගැනීම සඳහා කළ හැකි සියල්ල කරමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/09/26

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*