BREAKING NEWS

“සහන සැලසීමේදී අපට පක්ෂ පාට භේද අදාළ නැහැ. අපි ඉටු කරන්නේ මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ සමාජ යුතුකමයි.”- ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙන යා නොහැකි බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදු කරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටු කිරීමක් බව අවධාරණය කරයි.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහතෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඊයේ (06) හෝමාගම රෝහලේ කොවිඞ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
“පළමුව කිව යුතුයි, ‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’ කියා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා ‘මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩ ුකාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’ කියා.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොතකා සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවක දී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”

මෙම අවස්ථාවට හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත් හෙට්ටිආරච්චි, වෛද්‍ය අශෝක ජයතිලක, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020.04.07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*