BREAKING NEWS

කර්මාන්තකරුවන්ට ඉතිහාසයේ පෙර නොවූ විරූ අත්දැකීමක් ලැබුණා. බොහෝ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබේවි…

කර්මාන්තකරුවන්ට ඉතිහාසයේ පෙර නොවූ විරූ අත්දැකීමක් ලැබුණා. බොහෝ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබේවි..

– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

ජනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම් මෙරට කර්මාන්තකරුවන්ට පෙර නොවූ අත්දැකීමක් ලබා දෙන බවත් එහි පළමු රැස්වීමේ දී ගනු ලැබූ තීරණවලින් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය දා පැවැති දෙවැනි රැස්වීමේ දී ගනු ලැබූ තීරණ ද මාස 02කට නොවැඩි කාලයක් තුළ ඉටු කර දීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට නව ජීවයක් ලබා දීමට හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය දා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ දෙවන රැස්වීම 22 වැනිදා සවස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි දී ගනු ලැබූ තීරණ රට හමුවේ තැබීමටයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ. අප මෙම අමාත්‍යාංශය භාර ගත්තාට පසුව දුටුවා, කර්මාන්තකරුවන්ට බොහෝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටලු රැසක් ඇති බව. ඇතැම් ගැටලු විසඳීමේ දී අපට නොයෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයක් මෙන්ම සහයෝගයක් ද ලබාගත යුතු බව ද මා තේරුම් ගත්තා. ඒ අනුවයි ඉහත කාර්ය සාධක බලකාය පිහිටුවීම පිණිස වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අප විසින් ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ අනුව පිහිටුවනු ලැබූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම පවත්වා කර්මාන්තකරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලු රුසකට විසඳුම් ලබා දීමට අපට හැකි වුණා. කොවිඞ් – 19 වසංගතයෙන් පසුව කැඳවනු ලැබූ පෙර කී එහි දෙවන රුස්වීමේ දී අප කර්මාන්තකරුවන් වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ලෙස ඉතාම වැදගත් මෙම සියලු තීරණ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්වයි ගනු ලැබුවේ. ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගනු ලැබූ මෙම සියලු තීරණ ඉදිරි අමාත්‍ය මණඩල රැස්වීමට අනුමැතිය සඳහා මා ඉදිරිපත් කරනු ලබනවා.

ලෝහමය අබලි ද්‍රව්‍ය පිටරට යැවීම නතර කළා
එහි දී ගනු ලැබූ පළමු තීරණය තමයි යකඩ වැනි අබලි ද්‍රව්‍ය ආනයනය කිරීම නතර කළ යුතුයි, කියන එක. ලේකම්තුමන් දන්නවා, මෙම අමාත්‍යාංශය මා විසින් භාරගත් පසුව කිසිදු අබලි ද්‍රව්‍යයක් යොදාගෙන නිපද වූ නිමි භාණ්ඩ පවා මා පිටරට යැවීම නතර කළ බව. ඒ තීරණය සමඟ වටිනාකම් එකතු කර තඹ ඇතුළු අබලි ද්‍රව්‍ය යොදා ගෙන භාණ්ඩ නිපදවා ඒවා ආනයනය කළ පිරිස්වල පීඩනයක් ද එල්ල වූවා, තම නිමි භාණ්ඩ පිටරට යැවීමට අවසර ලබා දෙන්න කියා. එහි දී අපි කළේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා රේගුවේ නිලධාරීන් යොදවා මේ අගය එකතු කළා යැයි පවසන භාණ්ඩ කන්ටේනර්වලට පැටවීම අධීක්ෂණය කිරීමයි. පසුව මේ කන්ටේනරවල ඇත්තේ මේ රටේ නිෂ්පාදකයන්ට යොදාගත හැකි ලෝහමය අබලි ද්‍රව්‍ය නොවන බවට ඒ නිලධාරීන්ගෙන් සහතිකයක් ලබාගෙනයි අපි ඒවා පිටරට යැවීමට අනුමැතිය දුන්නේ. පසුගිය වසරට සාපේක්ෂව වටිනාකම් එකතු කළ ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන නිපද වූ භාණ්ඩ පිටරට යැවීම පසුගිය මාස 06 තුළ බෙහෝ සෙයින් අඩු වී තිබෙනවා. කෙසේ නමුත් පිත්තල, තඹ, යකඩ වැනි අබලි ද්‍රව්‍ය යොදාගෙන සිය කර්මාන්ත පවත්වා ගෙන ගිය පිරිස්වල දුක්ගැනවිල්ල වූයේ රට තුළ තම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැහැ කියන එකයි. ඒ අනුව මා විසින් පළමුව කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යාම වැළැක්වූවා. පසුව අගය එකතු කිරීමක් සිදු කළ බවට තහවුරු වූ නිමි භාණ්ඩ සීමිත ප්‍රමාණයක් රටින්පිටට යැවීමට ඉහත කී ක්‍රමවේදය අනුව අනුමැතිය ලබා දුන්නා.

දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

මේ තත්ත්වය තුළ මෙරට පිත්තල, ඇලුමිනියම්, තඹ, චීනචට්ටි, හයි කාබන් යන ලෝහමය ද්‍රව්‍ය යොදාගෙන කර්මාන්ත පවත්වා ගෙන යන පිරිස් කොපමණ ඉන්නවාද, ඔවුනට වර්ෂයකට කොපමණ ඉහත කී ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ද යන තොරතුරු ලැබෙන සේ සමීක්ෂණයක් සිදු කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. ඒ සමීක්ෂණය මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. එහි වාර්තාව ලැබුණු පසු අපට තීරණය කළ හැකියි, ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබෙනවා නම් ඒවාට කුමක්ද කරන්නේ, කියා. ඒ වාර්තාව ලැබෙන තෙක් අපි තීරණය කළා. කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යැවීම නතර කිරීමට.
‘අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක්…’

ඒ වගේම ඉහත කී අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක් ලබා ගැනීමට අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස කටයුතු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස තඹ නිමි භාණ්ඩ ලෙස තඹ ප්ලේට් රටින් පිටට යැවීම සිදු කරමින් තිබෙන්නේ අගය එකතු කළ භාණ්ඩයක් ලෙසයි. නමුත් ඒ අගය එකතු කිරීම විෂය භාර ඇමතිවරයා ලෙස මට හෘද සාක්ෂියට එකඟව පිළිගත නොහැකියි. නමුත් අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන එය අගය එකතු කිරීමක් ලෙස පිළිගනු ලබනවා. අපි මෙම කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටිනු ලැබුවා, මේ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් ඇති කළ යුතු බවට. මේ සියල්ල නිරාකරණය කර ගන්නා තෙක් ඉහත සියලු අබලි ද්‍රව්‍ය රටින් පිටට යාම නතර කිරීමටයි තීරණය කරනු ලැබුවේ. ඒ අනුව අපි දැඩි තීරණයක ඉන්නවා, වංචනික ලෙස අගය එකතු කිරීමක් කළා යැයි පවසා ලෝහමය අබලි ද්‍රව්‍ය රට පැටවීම නතර කිරීමට. එමඟින් ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන තම කර්මාන්තයන්හි නියැලෙන නිෂ්පාදකයන් සුරැකීමට අපට ඉඩකඩ ලැබෙනවා.

‘දෑත් පිරිසිදුකරණ දියර සමාගම් ලියාපදිංචිය’

ඉදිරියේ දී පාසල්, විශ්වවිද්‍යාල විවෘත වේවි. ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන තම සම්පූර්ණ ධාරිතාවෙන් වැඩ කිරීමට පටන් ගනීවි. එවිට මේ සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් දෑත් පිරිසිදුකරණ දියර විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. අපේ ආණ්ඩුවේ දැක්ම වන්නේ අපට අවශ්‍ය සියලු දේ රට තුළ නිපදවා ගැනීමයි. ඒ නිසා අපි මේ දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදකයන්, නිසි ප්‍රමිතියෙන් යුත් ‘දෑත් පිරිසිදුකරණ දියර’ නිපදවීමට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමන් පැවසුවා, මෙම දියර නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන සමාගම් කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කොට එම සමාගම් ලැයිස්තුව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසට. ඒ අනුව එම අධික ඉල්ලුම සපුරාලීම සඳහා ඉහත කී ආකාරයට ලියාපදිංචි වන ලෙස දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන් වෙතින් අපි ඉල්ලා සිටිනවා.

දේශීය ආහාර නිෂ්පාදනයට අතහිත

වටිනාකම් එකතු කළ ඇතැම් ආහාරමය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇතැම් නිෂ්පාදකයන් සිදු කර තිබූ ඉල්ලීම ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එම අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා දැයි ලැයිස්තුගත කරන ලෙස. අප ඉදිරියේ දී ඒ කටයුත්ත ඉටු කර දේශීය ආහාර නිෂ්පාදකයන්ගේ ඉහත ගැටලුව විසඳීමට කටයුතු කරනවා.
දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට දිරි දෙයි….
දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අවස්ථාවේ 2015ට පෙර තිබූ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුනට සහන ලබා දිය යුතු බවට තීරණය වුණා. සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී කරවාගෙන ඔවුන්ගෙ ගැටලුවලට විසඳුම් සහිත යෝජනාවලියක් සකසා ඉදිරි කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

නෙගටිව් ලිස්ට්’ එක සංශෝධනය කරනවා…

ඔබ දන්නවා රේගුව සතුව තිබෙනවා, ආනයනය කළ නොහැකි අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගම් මගින් නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන හා සැලකූ විට මෙම ආනයනය කළ නොහැකි නිෂ්පාදන ලැයිස්තුව සංශෝධනය විය යුතු බවට දේශීය ව්‍යවාසකයන්ගෙන් ලැබුණු ඉල්ලීම මෙහි දී සලකා බැලීමට තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එසේ ආනයනය නොකළ යුතු අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක් සකසා එය රේගුවට නිර්දේශයක් ලෙස ඉදිරිපත් කිරීමට.

‘සම් පදම් කිරීමේ කර්මාන්තයටත් දිරි දෙයි…

දැනට ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට තිබෙන බරපතළම ප්‍රශ්නයක් ඔවුන් ඉදිරිපත් කළා. ඒ තමයි සම්පදම් කිරීමේ කටයුතු සඳහා ස්ථානයක් ස්ථාපිත කිරීම. දැනට ඒ කටයුතු ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැහැ. එම කටයුත්ත පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට අදාළ යන්ත්‍ර සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමටත් ඒ යන්ත්‍රය සවි කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිර්දේශ කිරීමට ද මෙහි දී ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පවරනු ලැබුවා.

බෝට්ටු නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳෙයි….

සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්නා බෝට්ටු නිෂ්පාදකයන්ට තිබෙන ගැටලු ද මෙහි දී ඉදිරිපත් වුණා. ඔවුන්ගේ බෝට්ටු දියත් කිරීම සඳහා ද ධීවර වරායවල් යොදා ගැනීමට සිදුව ඇති බව දැනුම් දුන්නා. ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා බෝට්ටු සඳහා ජැටියක් ඉදිකිරීම සඳහා යෝග්‍ය ස්ථානයක් ලබා දීමට එකඟ වුණා.

‘දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට බදු සහන’

ඒ වගේම දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් ද ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර ඔවුනට බදු සහන ඇතුළු දිරි දීමනා රැසක් ලබා දීමට තීරණය වුණා. ඒවා පිළිබඳව සතිපතා ජනාධිපති ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම්වලදී සාකච්ඡා කර විසඳුම් කඩිනමින් ලබා දීම නියමිතයි. ඒ වගේම පැරණි බෝට්ටු ලංකාවට ගෙන ඒම තහනම් කිරීමට ද මෙහි දී තීරණය වූවා.

දේශීය ටයිල් නිෂ්පාදනයට සවියක්’

දේශීය ටයිල් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ආනයනික ටයිල් වර්ග අඩියක් සඳහා ඩොලර් 4.25ක ආනයනික සෙස් බද්දක් පැනවීමටත් මෙහි දී තීරණය වුණා.”

මෙම මාධ්‍ය හමුවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් හා අමාත්‍යාංශ උපදේශක සුදේෂ් නන්දසිරි යන මහත්වරුන් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය.
2020.06.25

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*