BREAKING NEWS

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ “මාර්ගෝපදේශ මාලාවක්” කඩිනමින් සකස් කළ යුතුයි – ජනමාධ්‍ය ඇමැතිට විමල්ගෙන් ලිපියක්

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
163, ඇසිදිසි මැඳුර,
කිරුළපන මාවත, පොල්හේන්ගොඩ,
කොළඹ 05

ගරු අමාත්‍යතුමනි,

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීම

ඔබතුමන් ද දන්නා පරිදි මෑතකදී ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, අතවර කිරීම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ රැල්ලක් මතුව තිබේ.
විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදු වූ මෙම අපරාධ ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේ දී, අදාළ අපරාධය පසෙකලා පහත් මානසික අවශ්‍යතා තෘප්ත කෙරෙන අනවශ්‍ය ප්‍රලාපවලට මුල්තැන දී තිබෙනු දක්නට ලැබිණි. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළ ද දක්නට ලැබුණු මෙම ප්‍රවණතාව, සමාජ මාධ්‍ය අවකාශය තුළ වඩාත් උත්සන්නව තිබෙනු පැහැදිලිවම නිරීක්ෂණය කිරීමට හැකි විය.

කිසියම් අපරාධයක් පිළිබඳ ඇතැම් සංවේදී කරුණු වෛද්‍ය වෘත්තිකයන්ට හා අපරාධ විමර්ශකයින්ට පමණක් වෘත්තීමය අවශ්‍යතා මත වැදගත් වේ. එහෙත් අපරාධ වින්දිතයන්ගේ ඇඳුම්වල සවිස්තරාත්මක තොරතුරු, දේහයේ ඇති සීරීම් තුවාල, ඔවුන් පෙළෙමින් සිටි රෝගාබාධයන් සහ පවුලේ අයගේ සංවේදී තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම අපරාධ වින්දිතයන් නැවත වරක් අපයෝජනයට ලක්කිරීමක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් ද වේ.

එබැවින් කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීමේ දී ඇති කරගත යුතු මූලික එකඟතා පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කළ යුතු අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය හා ඒකාබද්ධව ඒ පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් ද කඩිනමින් සකස් කළ යුතු යැයි යෝජනා කරමු.

මෙම ක්‍රියාවලිය මාධ්‍ය නිදහස අවුරාලීමේ වෑයමක් නොවනු පිණිස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන්ගේ සහ වෘත්තීය ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන්ගේ සම්පත් දායකත්වය සහිතව සිදු කළ යුතු බව ද අවධාරණය කරමු.

මෙයට ව්ශ්වාසී,
විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-05-16

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*