BREAKING NEWS

කොරෝනා වසංගතය ජය ගැනීමෙන් පසුව එළඹෙන යුගය තුළ සවිමත් රටක් ගොඩනැගීමට පෙළගැසෙමු!

පැය අටක වැඩමුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 134 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ලොව පුරා වෙසෙන වැඩ කරන ජනතාවට තම ශක්තිය විදහා පාන මැයි දින පෙළපාලි, රැලි සහිත සැමරුම් ද අහිමිව තිබේ.

එසේම මෙම ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ලොව පුරා වැඩ කරන ජනතාව තම රැකියා සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවකට මුහුණ පා සිටිති. ලොව ‘ධනවත් ම රාජ්‍යය’ යැයි පැවසෙන ඇමරිකා එක්සත් ජනපදයේ ද මේ වන විට රැකියා අහිමිව ඇති පිරිස මිලියන 26කට ආසන්නය. කොරෝනා වසංගතය ජය ගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට අප ද රටක් ලෙස සූදානම් විය යුතුව තිබේ.

ලෝක පරිමාණ ආර්ථික – ආහාර අර්බුදයන් හමුවේ අපට රටක් ලෙස පිටරටින් සියල්ල රැගෙන එන නැව් දෙස බලා සිටි යුගය අවසන් කිරීමට සිදුව ඇත. එහි දී අපේ දෑතින් – අපේ පොළොවෙන් වැඩ ගන්නා නව යුගයක් නිර්මාණය කිරීමට අප සමත් විය යුතුය.

මෙකී කොරෝනා වසංගතයත් සමග ඊට මුහුණ දීමේ නව නිපැයුම් නිපදවන්නෝ ද ඉන්පසු එළඹෙන යුගය ගොඩනැගීමට සමත් නව නිපැයුම් නිපදවන්නෝ ද අප රට තුළ බිහිව සිටිති. මේ දිරිය පුතුන්ගේ නව නිපැයුම් තුළින් නව කර්මාන්ත රටට හඳුන්වාදීමේ වගකීම කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා සතුව පවතී. එම නව ප්‍රවේශයේ දී ගාමක බලවේගය වන්නේ මෙරට වැඩකරන ජනතාව ය.

එහෙයින් එවැනි තත්ත්වයක් තුළ විරුකියාවට තිත තබමින්, බිඳ වැටෙන ආර්ථිකය සවිමත් කරමින් රටක් ලෙස නැගීසිටීමට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය මෙරට වැඩකරන ජනතාව සතු බව මගේ විශ්වාසය ය. විවෘත සැමරුම්වලින් තොර මේ ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ඉහත අභියෝගයට මුහුණ දීමේ චින්තනමය සූදානම ඇති කරගන්නා ලෙසත් ඒ වෙනුවෙන් පෙරට එන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන
සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2020.05.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*