BREAKING NEWS

ජාතියක් ලෙස වරද්දා ගැනීම්වලින් තොරව ප්‍රශස්තම තීන්දුව ගැනීම්ට අදිටන් කර ගනිමු!

ජාතියක් ලෙස වරද්දා ගැනීම්වලින් තොරව ප්‍රශස්තම තීන්දුව ගැනීම්ට අදිටන් කර ගනිමු!

සිංහල බෞද්ධයන් සහ දෙමළ හින්දුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනතාව ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට (14) යෙදී තිබේ.

අප ශ්‍රී ලාංකිකයන් ලෙස අවුරුදු උදාව ලෙස සලකනු ලබන්නේ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම ය. එසේ ම සම්ප්‍රදායට මුල්තැන දෙමින් නැකැත් හෙවත් සුබ වේලාවන් පදනම් කරගනිමින් අපි ජාතියක් ලෙස එකම මොහොතක ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා හිසතෙල් ගෑම වැනි ඉතා අරුත්බර චාරිත්‍රයන් හි නිරත වන්නෙමු.

උදා වූ අලුත් අවුරුද්දට මුහුණ දීමට අප සූදානම් වන්නේ නව සිතුවිලි හා නව අදිටන් සමුදායක් සමගිනි. එහිදී ආපසු හැරී බලා ගෙවී ගිය වසරේ අප අතින් සිදු වූ වරද්දා ගැනීම් නිවැරදි කර ගැනීමට අදිටන් කර ගැනීම බාල, මහලු, තරුණ සමස්ත ජනතාවම පොදුවේ සිදු කරන්නකි. එනම් අප ජාතියක් ලෙස ගෙවී ගිය වසරේ අපි අතින් සිදුවූ වරද්දා ගැනීම් නිවැරදි කර ගැනීමට අදිටන් කර ගන්නේ අද දිනයේදී ය.

නමුත් අපට රටක්, ජාතියක් ලෙස වරද්දා ගැනීම්වලින් තොරව ප්‍රශස්තම තීන්දුව ගැනීමට සිදුවන කාලයක් මේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇරඹෙයි. ජාතියේ අභිලාෂයන් යටපත් කෙරෙන ඇමරිකානු එක්සත් ජනපද අභිලාෂයන් මුදුන් පත් කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට වත්මන් පාලකයන් සැරසෙන්නේ මේ එළඹෙන වසරේදී ය. එසේම රට බෙදා වෙන් කෙරෙන, රාජ්‍යය දුර්වල කෙරෙන, ව්‍යවස්ථා සංශෝධන සූක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ද මේ එළඹෙන වසරේදී ය. මේවට ඉඩදී ජාතියක් ලෙස නිහඬව සිටියහොත් සිදු වන්නේ 2020 අලුත් අවුරුද්දේ යළි නිවැරදි කරගැනීමට නොහැකි වැරදි රැසක් අප අතින් සිදුවීම ය.

එහෙයින් කවර ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින මුළුමහත් ශ්‍රී ලාංකික ජාතියෙන් අප ඉල්ලා සිටින්නේ ‘උදා වූ අලුත් අවුරුද්දේ වරද්දා ගැනීම්වලින් තොරව ප්‍රශස්තම තීන්දුව ගැනීමට අදිටන් කර ගනිමු!’ කියා ය.

සැමට සුබ ජාතික අලුත් අවුරුද්දක්!

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2019.04.14

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*