BREAKING NEWS

ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී “ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලට බැට් කරන්න දෙන්න!” කියා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට ලබාදී තිබූ “ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පවා ඒ මොහොතේ පුදුමයට පත්කළ උපදෙස” පිළිබඳව ද එවැනි තීන්දු පිටුපස තිබෙන කතාව කෙරෙහි ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගත යුතු යැයි කියා සිතන සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(07) පාර්ලිමේන්තුවේ දී මෙරට “ක්‍රිකට් අවුල” පිළිබඳව සුවිශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

‘ක්‍රිකට්’ අපේ ලේවල උරුමයක්!

“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබූ එක් එක් දේ අතුරින් මේ රටට හොඳටම අවශෝෂණය කරගත්තු දෙය තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. වර්තමානය වන විට ඒක අපේ ලේවල උරුමයක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා සමහර රටවල ක්‍රිකට් තරග පැරදුනාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියෙනවා. අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඒ වගේ අශිෂ්ට ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ නැහැ .නමුත් අපේ ක්‍රිකට් කණ්ඩායම ‘ෆේල්’ වන විට ඒ පිළිබඳව වේදනාව මේ රටේ ප්‍රේක්ෂකයන් තුළ නිරායාසයෙන්ම ඇති වෙනවා. ඔවුන් එය පිටකරන ආකාරය අනෙක් රටවල ප්‍රේක්ෂකයන්ට වඩා වෙනස්. ඒ අපේ ප්‍රේක්ෂකයන් තුළ තිබෙන ඉහළ ගුණාත්මකභාවය, ක්‍රිකට්වලින් විවිධ ආකාරයේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඇතැමුන් පාවිච්චි කරනවා. ඒ අනුව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාට අද ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල චෝදනා මාලාවක් එල්ල කිරීමට සිදු වූයේ. ‘එම චෝදනාවලට ක්‍රිකට් පාලක මණ්ඩලය සමස්තයක් ලෙස වගකිව යුතු ද, දෙතුන් දෙනෙකු ද වගකිව යුත්තේ’ කියන්න අපි දන්නේ නැහැ. කෙසේ නමුත් එම චෝදනා ඉතාමත් බරපතල ඒවායි.

අද ICC ඉන්දියාවේ දේපළක්!

අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඉන්දියාවේ දේපළක් බවට පත්ව තියෙනවා. බලන්න, මෙවර එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් දිනය යෙදී ඇති දිනයේදීයි. ඒ වගේම ඒ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද එතූමාගේ ගමේමයි. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තාක්ෂණ ක්‍රමවේද භාවිතා කර ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් බරපතළ මතභේද ඇතිව තියෙනවා. පිටියේ සිටින විනිසුරුවරයා ‘අවුට්’ කියා තීන්දුව දුන්නාම තාක්ෂණ ක්‍රමවේදය මගින් පෙන්වනවා ‘නොට් අවුට්’ කියා. අද මෙම කරුණු ලෝකය පුරාම විශාල වශයෙන් අවධානයට ලක්වෙලා තියෙනවා.

‘මහේලගේ පුදුම උපදෙස’

ක්‍රීඩා අමාත්‍යතුමනි, මට මෙතැනදී පෙන්වා දෙන්න ඕනේ, ‘ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොවෙයි තිබෙන එකම අවුල. ලොකුම අවුල තිබෙන තැන වන්නේ තේරීම් කමිටුවයි’ කියා. මෙතැනදී මම පෞද්ගලිකව දන්නා කාරණාවක් රට හමුවේ තබනවා. ඔබට මතක ඇති, අපේ කණ්ඩායම ඉන්දියාව සමග තිබූ තරඟයේ දී ‘ටොස් එක’ දින්නා. නමුත් මහේල ජයවර්ධන කණ්ඩායමේ නායකයාට උපදෙස් දී තිබුණා, ‘ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලාට බැට් කරන්න දෙන්න!’ කියා.(මහේල ජයවර්ධන කියන්නේ මේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු සමග කිසිදු පෞද්ගලික ආරෝවක් මට නැහැ.) මේ තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ඉදිරිපෙළ ක්‍රීඩකයන් කියනවා, ‘අපි පුදුම වුණා, අපි ටොස් එක දින්නත් අපි හිටියේ බැට් කරන්න’ කියලා. මේ වගේ තීන්දු පිටුපස තිබෙන කතා මොනවා වෙන්න පුළුවන්ද?

ක්‍රිකට් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවක්’ නම්…

අද එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක් හැරුණාම ඉන්දියාව ක්‍රිකට් ලෝකය පුරා ඉතා විශාල ආධිපත්‍යයක් පතුරුවා තිබෙනවා. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට අදාළ සමාරම්භක උත්සවයක් නොපවත්වා පසුව එවැනි උත්සවයක් ‘ඉන්දියා – පාකිස්ථාන්’ තරඟය පැවති දිනයට ගෙන ආවා. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නම්, තරඟාවලියක් පවත්වන රට එහිදී තම ශක්තිය, බලය පෙන්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒ නිසා අපි අද එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ඔබතුමා දැන් නව තේරීම් කමිටුවක් පත් කළ විගසම ICC එක කියයි, ‘අපි ලංකාවට ක්‍රිකට් තහනමක් පනවනවා’ කියා. එහෙම වෙන්නේ මම ඉහතදීත් පෙන්වා දුන් පරිදි අද ICC එක පාලනය කරන්නේ ඉන්දියාව නිසයි. අද මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව පාලනය කරන්නේ ද වෙන කවුරුත් නොවෙයි ඉන්දියාවයි. දැන් බලන්න එක පාරටම ක්‍රිකට් ක්‍රීඩකයන් හැලෙන්නේ කොහොමද? ඔවුන් වෙනුවට ඇතුළට එන්නේ ඊට වඩා දක්ෂ ක්‍රීඩකයන් ද? ඊට තිබෙන තර්කානුකූල පදනම කුමක්ද? මහේල ජයවර්ධන ‘ටොස් එක දින්නත් බැට් කරන්න ඉන්දියාවට දෙන්න’ කියන්නේ ඇයි?

‘කෝලි කියපු බව්වාගේ කතාව’

ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙට මෙහෙට කරලා විතරක් හරියන්නෙ නැහැ. මේක ඊට වඩා එහාට ගිය, ව්‍යාප්ත වුණු බරපතළ අවුලක්. මම දැක්කා, ඉන්දියාවේ වාර්තා තියපු ක්‍රිකට් ක්‍රීඩකයා විරාට් කෝලි සම්මුඛ සාකච්ඡාවකදී එයාගෙ සාර්ථකභාවයට හේතු වූ නම් තුනක් කියනවා.. එක්කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ හිටපු ශ්‍රී ලාංකිකයෙක්. එයාගේ නම නුවන් සෙනෙවිරත්න; ‘පෙට් නේම් එක’ තමයි ‘බව්වා’ කියන්නේ. පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයේ සිටියදී ඔහු සුපිරි වේගපන්දු යවන්නන්ට මුහුණ දිය හැකි ආකාරය පුහුණු විය හැකි අන්දමට, සුපිරි වේගයකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුව විසි කිරීමේ කටයුත්ත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව අහිමි කරගත්තා. පසුව ඉන්දියාව ඔහුගේ හැකියාව දැකලා, ඉහළ වටිනාකමක් දෙමින් ඔහු ඔවුන්ගේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ කර ගත්තා. අද ‘බව්වා’ කියන්නේ විරාට් කෝලි ආපු වාර්තාගත ගමනේ ඔහුගේ ස්තුතියට පාත්‍ර වන තුන්දෙනාගෙන් එක් අයෙක්. අපට තියෙන වටිනා සම්පත් එකඑකාට ඩැහැගන්න දීලා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්න බැහැ.

එක් අයෙකු මත පමණක් යැපෙන්න එපා!

ක්‍රීඩා අමාත්‍යතුමනි, ඔබතුමා මෙවර පත්කළ අතුරු පාලක මණ්ඩලය තුළ ඉන්නේ ජාත්‍යන්තර අත්දැකීම් බහුල එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණයි. අනෙක් අය විශ්‍රාමික විනිසුරුවරුන් ඇතුළු පිරිසක්. මට තේරෙන්නේ නැහැ, ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්නේ කෙසේද? කියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති වංචා, දූෂණ හොයන්න වෙනම විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත කමිටුවක් දාගන්න. අර්ජුන රණතුංග කියන්නේ මේ රටට ලෝක කුසලානය දිනා දීමට මුල් වූ නායකයකු තමයි. නමුත් මම කියන්නේ, එක් අයෙකු මත පමණක් යැපෙන යන්න එපා! කියලයි.

වහාම පනත සංශෝධනය කරන්න!

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ අවස්ථාවේදී මම ඉල්ලනවා, ‘ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරා පත් කරගන්න බෝඩ්ලෑලිවලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ හැටහුටහමාරක ඡන්දය ඕනෙ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් කියන්නේ කුමක්ද, ඊට අදාළ නීතිමය පදනම කුමක්ද, කියා හරියටම දක්වන්න. මේ සියල්ල කිරීමට වහා ක්‍රීඩා පනත සංශෝධනය කරන්න.’ කියා. මම කියන්නේ නැහැ ඇමතිවරුන් පත් කරන සභාපතිවරුන් පමණයි වැදගත් කියා. ඡන්දයෙන් පත් කරන සභාපතිවරුන් තමා වැදගත්. නමුත් තෝරා පත්කරන ක්‍රමවේදය නම් වහාම වෙනස් කළ යූතුයි. ‘අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට යන්න නොදී ආරක්ෂා කර ගන්න සැමවිටම අපේ සහයෝගය ලැබෙන බවත් මෙහිදී අවධාරණය කරනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-11-07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*