BREAKING NEWS

‘තේරීම් කාරක සභා – රියැලිටි ෂෝ‘ පෙන්වා මේ රටේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් අනතුරේ හෙළන්න එපා! බුද්ධි නිලධාරින්, බුද්ධි ක්‍රියාන්විතයන් පාවා දෙන්න එපා!

‘තේරීම් කාරක සභා – රියැලිටි ෂෝ‘ පෙන්වා මේ රටේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් අනතුරේ හෙළන්න එපා! බුද්ධි නිලධාරින්, බුද්ධි ක්‍රියාන්විතයන් පාවා දෙන්න එපා!

– විමල් ආණ්ඩුවෙන් හා කථානායකගෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ ‘පාපය’ මේ වන විට යහපාලකයන්ගේ ගිණුමට බැර වී අවසන් බවත් ඒ නිසා ඉන් ගැලවීමට ‘තේරීම් කාරක සභා – රියැලිටි ෂෝ’ පෙන්වීමෙන් වැඩක් නොවන බවත් ඉන් සිදු වන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් අනතුරට පත්වීම පමණක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පෙන්වා දුන්නේය.

“ඊයේ පාර්ලිමේන්තුව තුළ රඟ දක්වන ලද ‘මිලේනියම් සිටි පාවාදීමේ දෙවන කොටසේ’ දර්ශන දැකීමෙන් පසු ඇති වූ කම්පනය හේතුවෙන් මෙම මාධ්‍ය හමුව හදිසියේම කැඳවීමට සිදු වූවා. ඊයේ අපට මැනවින් සනාථ වූයේ ‘මේ වගේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ සත පහක හැඟීමක් නැති, එයත් සමඟ පන්දු කෙළින තකතීරු ආණ්ඩුවක් පවතින රටකට අයිඑස් ත්‍රස්තවාදීන් නොවෙයි, පිටසක්වලින් පැමිණ ගහලා ගියත් පුදුම වෙන්න දෙයක් නැහැ’ කියන එකයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ ඒහා බැඳුණු චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම යන කරුණු ඉදිරියට දමා ගෙනයි මේ තේරීම් කාරක සභාව පිහිටුවනු ලැබුවේ.

ඇත්තෙන්ම මේ ඊනියා තේරීම් කාරක සභාව පත් කිරීමේ රුදාව මේ ආණ්ඩුවට ඇති වුණේ අපි විපක්‍ෂය විදියට රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ආ නිසයි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම යන දෙකම එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විදියට මේ ඊනියා තේරීම් කාරක සභාවට සහභාගී වීමෙන් වැළකුණේ එහි අරමුණු පිළිබඳව අපට තිබුණු බලවත් සැකය නිසයි.

‘රිෂාඞ්ගේ ලේ තැවැරුණු වස්ත්‍ර සෝදන ලොන්ඩරියක්’

තේරීම් කාරක සභාව මගින් ආණ්ඩුව එක් පැත්තකින් තමන්ගේ අත්වල තැවැරුණු ලේ සෝදා ගන්න උත්සාහ කරන බවත් අනෙක් පැත්තෙන් එය රිෂාඞ් බදුර්දීන්ගේ ලේ තැවරුණු වස්ත්‍ර සෝදා පවිත්‍ර කරන ලොන්ඩරියක් ලෙස කටයුතු කරන බවත් රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට ජුනි 18, 19 වැනි දුර දිනයක් ලබා දෙන විට අපට තේරුම් ගියා. ‘මේ සැරසෙන්නේ ඊනියා තේරීම් කාරක සභාව මගින් එම දිනවලට කලින් ඔහු පිළිබඳ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි’ කියාත් අපට වැටහුණා. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමට ඒ ‘ලොන්ඩරියට’ සහභාගී වීමේ කිසිදු උවමනාවක් තිබුණේ නැහැ.

‘ජාතික ආරක්‍ෂාව සමඟ කරන සෙල්ලම්’

ඊයේ නියෝජනය දෙස බැලුවොත් එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් පමණයි මේ ඊනියා තේරීම් කාරක සභාවට සහභාගී වී සිටියේ. පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳ ගවේෂණයක යෙදෙන එතැන සිටි මහ බැංකු වංචාවේ ප්‍රධාන චූදිතයන් දුටුවාම සිනහ විය යුත්තේ කොතැනින්ද, යන පැනය අපට ඇති වුණා. තමන්ගේ නෝනාට ඇලෝසියස් ගෙයක් දුන්නාද, නැද්ද කියා මතක නැහැ, කියූ ‘දේශපාලන තොත්ත බබාලා’ පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන විලාසය දුටුවාම මේ රටට සිදු වී ඇත්තේ කුමක්දැයි සිතුණා. අපි දන්නවා, මේ පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධානතම මූල්‍ය දායකත්වය ලබා දුන්නේ මොහොමඞ් ඊබ්‍රාහිම් නැමැති පුද්ගලයා බව. එසේම ඔහුගේ පුතුන් දෙදෙනකු මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ වී සිටියා. ලේලිය හා ඒ පුතුන් දෙදෙනා ‘මිනිස් බෝම්බ’ ලෙස මරාගෙන මැරුණා. මේ මොහොමඞ් ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ 2015 මැතිවරණයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයෙක්. එහෙම වහාබ්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරපු ඊබ්‍රාහිම් ළඟ තියා ගත්තු ජවිපෙ නියෝජිතයෝ ඊයේ බුද්ධි ප්‍රධානින්ගෙන් ප්‍රශ්න කරනවා. ‘බුද්ධි අංශ මුදල් ගෙව්වේ කාට ද?’ කියා. මේක මේ රටේ ජාතික ආරක්‍ෂාව සමඟ කරන සෙල්ලමක්.

‘පාප කර්මයේ ලේ තැවරුණු චූදිතයෝ උඩ වාඩි වෙලා’

පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳ කල් තියා දැනගෙන එය වැළැක්වීමට කිසිදු පියවරක් නොගෙන, අහිංසක ජනතාව සිය ගණනක් මරෙන්නට සැලැස්වූ මේ ආණ්ඩුව තමන්ගේ අත්වල තැවරුණු ලේ සෝදා ගැනීමට කරන නාඩගමෙන් සිදු වන්නේ මේ රටේ බුද්ධි නිලධාරන් හා බුද්ධි ක්‍රියාන්විතයන් සම්පූර්ණයෙන්ම අනාවරණය වීම සහ ඒවා ලෝකය ඉදිරියේ සමච්චලයට හා හෑල්ලුවට ලක් වීම. අපි දන්නවා මේ පාස්කු දින ප්‍රහාරය සිදු වුණේ බුද්ධි අංශවල ප්‍රශ්නයක් නිසා නොවෙයි, කියා. පොලිස්පති හෝ ආරක්‍ෂක ලේකම් මත මේ වරද පටවන්න හැදුවාට ඊයේ වුවත් අනාවරණය වුණා, ‘මේ පිළිබඳව සාගල රත්නායක ඇමතිවරයාටත් දැනුම් දුන්නා’ කියා. අයිඑස් ත්‍රස්තවාදින් පිළිබඳව ආරක්‍ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වූ බව, පෙබරවාරි මාසයෙන් පසුව ආරක්‍ෂක මණ්ඩලය රැස් වී නොමැති බව, අන්තිමට රැස් වූ ආරක්‍ෂක මණ්ඩලයට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහභාගී වී නොතිබුණු බව යන කරුණු සියල්ලත් ඊයේ අනාවරණය වුණා. ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, ‘අපි මේ පාප කර්මය කළා’ කියා පිළිගන්නේ නැතිව මීට විසඳුම් සොයන්න බැහැ. ඊයේ සිදු වූයේ මේ පාපකර්මයේ ලේ තැවරුණු වගඋත්තරකරුවන් උඩ වාඩි වෙලා, මේ රටේ බුද්ධි අංශ නිලධාරින් ගෙනල්ලා ‘සර් – සර්’ කියවා ගන්න එකයි, ඔවුන් අසීරුතාවට පත් කරන එකයි. ඔවුන්ට රට හමුවේ කිව හැකි දේවල් වගේම කිව නොහැකි දේවල් ද තිබෙනවා. මීට කලින් කුමන කාරක සභාව ද සජීවීව දුන්නෙ? මහ බැංකු වංචාව පිළිබඳ කෝප් කාරක සභාව සිදු කළ විමර්ශන සජීවීව දුන්නා ද? මේ තේරීම් කාරක සභාවේ කටයුතු සජීවීව දෙන්නේ එය ‘රියැලිටි ෂෝ’ එකක් නිසා ද? මේ ආණ්ඩුවේ ඉන්නේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම නොදන්නා තකතීරුවන් රැලක් බවයි පෙනීයන්නේ. ඔවුන් මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් සමඟ දැන් ‘මිනීමරු නාඩගමක්’ නටන්න පටන් අරන් තිබෙනවා.

‘වගඋත්තරකරුවන් කවුද, කියා රටම දන්නවා’

පාස්කු දින ප්‍රහාරයේ වගඋත්තරකරුවන් කවුද කියා මුළු රටම දන්නවා. කාදිනල්තුමන් ‘වගඋත්තරකරුවෝ කවුද?’ කියා වරක් රට හමුවේ පැවසුවා. වගඋත්තරකරුවන් සොයන්න ‘රියැලටි ෂෝ’ – තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා ‘මේ පාපකර්මය වහාම නතර කරන්න’ කියා. මේ රටේ ජාතික ආරක්ෂාව සමග මේ විදියේ නාඩගම් නටන්න දෙන්න බැහැ. බුද්ධි අංශ නිලධාරීන් කියන්නේ සජීවී විකාශනවලට ගෙනල්ලා ප්‍රශ්න කරලා, කිව යුතු දේ – නොකිව යුතු දේ සියල්ල ප්‍රශ්න කළ යුතු අය නොවෙයි. බුද්ධි අංශයක වැදගත්කම නොදන්නා මේ මොට්ට ආණ්ඩුවට මේ විදිහට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට කිසිදු අයිතියක් නැහැ. ආරක්ෂක ඇමතිවරු, ආණ්ඩු තිබෙන්නේ බුද්ධි අංශවල අඩුපාඩු සකසා දෙන්න මිසක් මේ විදියේ රියැලිටි ෂෝ පවත්වා බුද්ධි අංශ විනාශ කරන්නෙ නොවෙයි.

‘මොළේ කළඳක් තිබෙනවා ද?’

මොළය කළඳක් හරි තිබෙනවානම් කථානායක කරු ජයසූරිය මහත්තයාට හිතන්න තිබුණා මේ වැඬේ සජීවීව දෙන එක හරිද වැරදිද, කියා. මේ ආණ්ඩුව හදන්නේ මේ පාපකර්මය ජනාධිපතිගේ ‘බිලට’ දාන්න. හැබැයි මේ විදිහට බුද්ධි නිලධාරීන් ගෙනවිත් ප්‍රශ්න කරන විට පෙනෙනවා, ජනාධිපති විතරක් නොවෙයි අගමැති, රාජ්‍ය ආරක්ෂක ඇමති ඇතුළු කැබිනට් මණ්ඩලයේම රෙදි ගැලවෙන බව. ඒ ගැන නම් අපට සතුටු විය හැකියි. ඒක වෙනම කාරණයක්.

‘තකතීරු කෝකියෝ’

දැන් බලන්න, ‘හෙන්දාවිතාරණට තිබුණු බලාධිකාරිය ඔබට තිබුණේ නැද්ද?’ කියා සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරන විට ජාතික බුද්ධි ප්‍රධානියා කියූ දෙය. ‘මට එවැනි බලයක් ලබා දී තිබුණේ නැහැ’ කියායි ඔහු පවසන්නේ. හෙන්දාවිතාරණ මහතාට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස බලය ලබා දී තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. නමුත් දැන් මේ ජාතික බුද්ධි ප්‍රධානියාගේ තටු කපා දැමුවේ කවුද? ආරක්‍ෂක ලේකම් පත් කළ ජනාධිපති මේවා දන්නේ නැද්ද? ‘මේ විදියට ජනාධිපතිට – අගමැතිට ඇඟිල්ල දික් කරමින් කිසිදු ඒකාග්‍රතාවක් නැති, ප්‍රතිපත්තිමය එකඟතාවක් නැති තකතීරු කෝකියන් ටිකකට ජාතික ආරක්‍ෂාව රකින්න තියා මෙලොව දෙයක් කරන්න බැහැ’ කියා දැන් තහවුරු වී ඉවරයි. ‘ඒ නිසා මේ රටේ ජාතික ආරක්‍ෂාව සමඟ පන්දු කෙළින්නේ නැතිව ඔය රියැලිටි ෂෝ එක, නාඩගම වහාම නතර කරන්න’ කියා අපි යළිත් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා. ‘බුද්ධි නිලධාරින්ගෙන් දැනගත යුතු දෙයක් තිබෙනවා නම් එය රහස්‍යභාවය සහිතව දැන ගන්න. වගකීම් සහගතව මේ කටයුත්ත කළ නොහැකිනම් එය නතර කරන්න’ කියන එකයි අපේ අවධාරණය.

‘මිලේනියම් සිටි පාවාදීම 02’

එදා මේ අය බුද්ධි අංශ ‘මිලේනියම් සිටි’වලදී පාවා දුන්නා. 2015 සිට බුද්ධි නිලධාරින් හිරේ දැමුවා. එවැනිම ආකාරයට බුද්ධි අංශ නිලධාරින් සහ බුද්ධි ක්‍රිියාන්විතයන් අනාවරණය කර ඒවා වනසා දැමීමටයි දැන් හදන්නේ. මේ තේරීම් කාරක සභාව තුළ ප්‍රශ්න කිරීම් කරන්නේ වහාබ්වාදී ත්‍රස්තවාදීන් බිහිවන ගර්භාෂය ඉවත් කිරීමට ද? එහෙම සැබෑ උවමනාවක් මේ අයට නැහැ. මේ අය පාස්කු දින ප්‍රහාරය තම දේශපාලන බලය රැක ගැනීමට භාවිතා කරන සෙල්ලමක් බවට පත්කර ගෙන අවසන්. තමන් පන්දු කෙළින්නේ පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ සොහොන් කොත් මත සිටගෙන බව අමතක කළ යුතු නැහැ.

පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ ‘පාපය’ දැන් ඔයාලාගේ ගිණුමට බැර වී අවසන්. ඒකෙන් ගැලවීමට මේ විදියේ ‘ගොං තකතීරු’ වැඩ කරන්න එපා! තමන්ගේ ගැලවීමට ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී තොරතුරු එළියට දමන මේ රියැලිටි ෂෝ එක වහාම නතර කරන ලෙස යළි යළිත් ආණ්ඩුවෙන් සහ කථානායකගෙන් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/30

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. යුක්තිය Reply

    එහෙං රතන මුස්ලිම් ඇමතිලත් අල්ලං යූඑන්පීඑකට ඒ කියන්නෙ චම්පිකලට සිංහල බොදු චන්ද පොහොට්ටුවෙන් කඩා ගන්න හදනව…! තම්බි වැඩි කාලයක් එලියෙ ඉන්නෙ නෑ.. ! චම්පිකයි,රනිලුයි කියන්න ඇති තම්බි ඇමතිලට පොඩ්ඩක් අයින් වෙන්න කියල අසාද් සාලි අයින් උනු වෙලාවෙ… සිංහල චන්ද රතනලට හරව ගන්න..! ඊට පස්සෙ චන්දෙන් පස්සෙ එකතු වෙලා ආපහු යූඑන්පී ආන්ඩුවක් හදනව…! රතනට තරහ තිබ්බෙ අසාද් සාලි එක්ක විතරයි…!ඒ අන්තවාදියෙක් නිසා නෙවේ…! රතනට පොල් ටෝක් දාපු නිසා…! ඌ ඒකට පලිගන්නයි ගියේ…! අන්තිනට එක ගලෙන් කුරැල්ලො දෙන්නෙක්…!

Leave a Reply

*