BREAKING NEWS

‘දිසාපතිවරුන් 16ක් සංචිතයට යවා තමන්ට ඕනෙ විදියට නටවා ගන්න පුළුවන් රූකඩ 16ක් පත් කරගන්න හදන්නේ ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලයක් සිදු කරන්නයි’

‘දිසාපතිවරුන් 16ක් සංචිතයට යවා තමන්ට ඕනෙ විදියට නටවා ගන්න පුළුවන් රූකඩ 16ක් පත් කරගන්න හදන්නේ ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලයක් සිදු කරන්නයි’

– ඇමති වජිර අබේවර්ධනගේ මගඩිය විමල් හෙළි කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත දිසාපතිවරුන් 16ක් කෘත්‍රිම චෝදනා ඉදිරිපත් කරමින් සංචිතයට යවන්නේ ඡන්ද මංකොල්ලයකට මේ ආණ්ඩුව සූදානම් වන නිසා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (04) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“වජිර අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේ එක්තරා මාධ්‍ය ආයතනයක සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවේදීන් පිරිසක් කැඳවා, ඔවුන් සතුටු කරවා, ව්‍යාජ ප්‍රවෘත්තියක් ඒ මාධ්‍ය මඟින් පළ කරවා ගෙන තිබෙනවා. ඒ ප්‍රවෘත්තිය තමයි ‘දිසාපතිවරුන් 16කට අධික පිරිසකට දූෂණ චෝදනා එල්ලවී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ සිදු කරනවා’ කියා. ඊට පසුව තවත් පුවත්පතක පළ වෙනවා, ‘දූෂණ චෝදනා ලබපු දිසාපතිවරුන් 16 දෙනෙක් සංචිතයට දැමීමට තීරණය කළා’ කියා. අපි මේ පිළිබඳව සොයා බැලුවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ වෙනත් තැනකට දිසාපතිවරු 16කගේ ක්‍රියාකලාපය ගැන පැමිණිලි ලැබී නැහැ. එහෙම පරීක්ෂණ සිදු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපට පෙනී ගියා ‘මේ කෘත්‍රිමව හදපු චෝදනා’ කියලා. තමන්ට උවමනා විදියට නටවන්න බැරි දිසාපතිවරු 16 දෙනෙක් සංචිතයට යවලා තමන්ට නටවා ගන්න පුළුවන් 16ක් ඒ තනතුරුවලට දමන්නයි මේ හදන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් වන්නේ දිසාපතිවරුනුයි. තමන්ට උවමනා විදිහට මෙමගින් රූකඩ ටිකක් පත්කරගෙන ඡන්ද වංචාවකටයි සැරසෙන්නේ. තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කෙරන ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලකෑමටයි මේ සූදානම් වෙන්නේ. මේ කටයුත්ත වහා නවතන ලෙස අප ආණ්ඩුවට බලකර සිටිනවා. එසේ නොවුණහොත් අපි ඊට එරෙහිව සටන් වැදීමට සූදානම්.

‘ඇමෙරිකන් හමුදා නිලධාරින් ගෙන ආවේ පුපුරන ද්‍රව්‍ය ද?’

පසුගිය ජූලි 30 වැනිදා රාත්‍රී කාලයේ දී හිල්ටන් හෝටලයට අමුත්තන් 05-06 දෙනෙක් පැමිණ තිබෙනවා. ඔවුන් අත විශාල ප්‍රමාණයේ බෑග් 06ක් පමණ තිබිලා. එම බෑග් ස්කෑන් පරීක්ෂාවට යොමු කරන්න බැහැ කියලා ඔවුන් කියනවා. හිල්ටන් හෝටලයේ ආරක්ෂක අංශ එහෙම නම් හෝටල් කාමරවලට ඇතුළු වෙන්න බැහැ කියපුවාම මේ අය එක බෑගයක් පමණක් ස්කෑන් පරීක්ෂාවට ලබා දෙනවා. අනෙක් බෑග් KL – 6586 අංකය සහිත ජීප් රථයට පටවා යවා තිබුණා. (ඊට අදාළ ඡායාරූප හා තොරතුරු සියල්ල මාධ්‍ය වෙත පෙන්වයි) අපට ලැබුණු මේ තොරතුරු අනුව මේ පිරිස පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් මගින්. ඒ අය ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පිරිසක්. එක් අයෙක් මර්සියස් ඇලෙක්සැන්ඩර් මැක්ලේන්. ඔහු එක්සත් ජනපද යුද හමුදාවට අයත් කෙනෙක් (හැඳුනුම්පතෙහි ඡායාපිටපතක් පෙන්වයි). මේ අනෙක් හතරදෙනාගේ වීසාවල ඡායාපිටපත්. ඉහත කී වාහනය මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් එකක්. මේ පිරිස දින දෙකකට පසුව මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා. තමන් ගෙනා බෑග් මෙරට තුළ තිබියදී තමයි ඔවුන් ආපසු යන්නේ. ඒවායේ තිබුණේ පරීක්ෂාවට ලක්කිරීමට දිය නොහැකි දේවල් නම් ඒ පුපුරන ද්‍රව්‍ය විය නොහැකි ද? අද මේ රට ඇමරිකා එක්සත් ජනපදයට ඕනෑම දෙයක් කළ හැකි රටක් බවට පත්ව තිබෙනවා. අපි සොයා බැලුවා, මීට පෙරත් මේ විදියට පරීක්ෂාවකින් තොරව රට තුළට ‘ගමන් මලු’ රැගෙනවිත් තිබෙනවා. ඔබ දන්නවා අයිඑස්අයිඑස් සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක්. සතුරා හදන්නෙත් ඒ අය. සටන් විකුණන්නෙත් ඒ අය. මේ තත්ත්වය මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පෙන්වා දිය යුතුයි. රටේ ස්වෛරීභාවයට හානිකර මෙවැනි ක්‍රියා පිළිබඳ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි.

‘ජානිපෙ මහ සමුළුව 08 වැනිදා’

ඒ වගේම අපි මෙහිදී සඳහන් කරන්න කැමැතියි ජාතික නිදහස් පෙරමුණ තම තුන්වැනි ජාතික මහා සමුළුව සැප්තැම්බර් 8 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව. මේ සමුළුවට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතයි. එහිදී ගෝඨාභය රාජපක්ෂයන්ට, ජයග්‍රහණයෙන් අනතුරුව, ජාතික ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත යෝජනාවලියක් පිළිගැන්වීමට ද කටයුතු කරනවා. මෙම අවස්ථාවට අපි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල සහ ජාතික සංවිධානවල නායකයන්ට ගෞරවයෙන් ඇරයුම් කර තිබෙනවා. මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දසදහස් සංඛ්‍යාත පිරිසක් එක්වීමට සූදානම්. අපි ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා, මෙම ජාතික මහා සමුළුව පිළිබඳ පූර්ව ප්‍රචාරයක් ලබා දෙන ලෙස. ඒ වගේම මෙම අභිමානවත් සමුළුව ඉරිදා දිනයේ සජීවීව අන්තර්ජාලය ඔස්සේ හා ජාතික නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/09/04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*