BREAKING NEWS

නව ජනවරමින් ජනිත වූ නව අපේක්‍ෂා ඉටුකරලීමට කැපවෙමු!

නව ජනවරමින් ජනිත වූ නව අපේක්‍ෂා ඉටුකරලීමට කැපවෙමු!

2020 වසර එළඹෙන්නේ ශ්‍රී ලාංකේය අප ඉදිරියේ අභියෝග රැසක් තබමිනි. අද නව ජනවරමින් පිබිදුණු රටක් අප ඉදිරියේ පවතී. විශේෂයෙන් තරුණ පරපුර ඒ පිබිදීම සමාජය වෙත මුදා හරිමින් ඇත්තේ සිතුවම් ඇඳීම, කසළින් තොර පරිසරයක් නිර්මාණය කිරීම, පැළ සිටුවීම ආදී ක්‍රියාකාරකම් තුළිනි. ඒ ක්‍රියාවන් පිටුපස වන අපේක්ෂාවන් අප රජයක් ලෙස ද රටට ආදරය කරන ජනතාවක් ලෙස ද නිවැරදිව, ගැඹුරින් කියවා ගැනීම ඉතා වැදගත් ය.

නව ජනවරමින් බලයට පත්වූ දේශපාලන නායකත්වය විසින් පරගැති න්‍යාය පත්‍රයක් අනුව අයාලේ ගිය රට, නිසි මඟට ගෙන තම අපේක්ෂාවන් ඉටුවන රටක් නිර්මාණය කරනු ඇති බවට තරුණ පරපුර තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබේ. රටක ජීවනාලිය වන් තරුණ පරපුරක මෙවැනි සුබවාදී අපෙක්ෂා, රට ඉහළින්ම ඔසවා තබනු ඇත. ඒ නිසා ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන රටක් හැදීමේ වගකීමට රජය මෙන්ම සෙසු ජනතාව ද උර දිය යුතුව තිබේ.

තරුණ පරපුර මෙතෙක් විරෝධාකල්ප මගින් අප සමාජයට කළ බලපෑමට වඩා වැඩි බලපෑමක් මේ වත්මන් තරුණ පරපුර, නව ජනවරමින් ජනිත වූ තම නව අපේක්ෂා තුළින් සිදු කරන බව අප සමාජයක් ලෙස තේරුම්ගත යුතුය.

එබැවින් වත්මන් තරුණ පරපුරේ සැබෑ විභවයන් හඳුනා ගනිමින් ඔවුන්ට සිය කුසලතා පූර්ණය කර ගැනුම සඳහා කළ යුතු මැදිහත්වීම මෙරට දේශීය ව්‍යවසායකයන් හා එක්ව ඉටුකරලීමට සූදානම් බව ද මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වගකීම දරන අප මේ මොහොතේ සදහන් කරනු කැමැත්තෙමු.

තම සිහින සැබෑ කර ගැනීමට රට හැරදා යන තරුණ පරපුරක් වෙනුවට සිය කුසලතා ඔප් නංවා ගනිමින් රට ගොඩනැගීමේ කාර්යයේ නිරත වන තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ පරිසරය සැකසීමට රටම එක් වී උරදෙමු. එසේම ‘නොවැම්බර් 16 ජනවරම’ එළඹෙන මහ මැතිවරණයේදී වඩ වඩාත් ශක්තිමත් කර ගනිමින් ‘ඔබ – අප ඉල්ලූ රට’ නිර්මාණය කරමු!

ලක්වාසී සැමට සුබ නව වසරක් වේවා!

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය,
2020.01.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*