BREAKING NEWS

මාකඳුර පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ වෙට්ග්‍රෝ ආයතනය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වා ගෙන යන “ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (BREAD Centre) අද (11) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මාකඳුර බටහිර කර්මාන්තපුරයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පෙර වැඩුම් මධ්‍යස්ථානයක් (Incubator Centre) ලෙස ද හඳුන්වනු ලබයි.

තම නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර සපයා ගැනීමේ දුෂ්කරතා ඇති, වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික සංසදය (UBL) තුළින් බිහි කෙරෙන නව ව්‍යවසායකයන්ට මෙන්ම ප්‍රදේශයේ එවැනි සහයෝගයක් අවශ්‍ය ව්‍යවසායකයන්ට ඉතා සුළු මුදලක් ගෙවීමෙන් මෙම පෙර වැඩුම් මධ්‍යස්ථානයේ ඇති යන්ත්‍රසූත්‍ර තම නිෂ්පාදන සකසා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව මෙමඟින් විවර වී තිබේ. ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් අනෙකුත් විශ්වවිද්‍යාලවල ද තාක්ෂණ දායකත්වය සහිතව මෙවැනි පෙර වැඩුම් මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එසේම මෙම කර්මාන්තපුරයේ පිහිටි වෙට්ග්‍රෝ (VETGROW) ආයතනය විසින් කොරෝනා වසංගත තත්ත්වය යටතේ ආනයන කටයුතු සීමාවීමෙන් ඇති වූ සුරතල් බල්ලන්ගේ සහ බළලුන්ගේ ආහාර හිඟයට පිළියමක් වශයෙන් නිපදවූ ආහාරමය නිෂ්පාදනය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ගමික ප්‍රතාපසිංහ හා ආචාර්ය අනුර ජයසූරිය යන මහත්වරුන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ මේවන විට මෙරට සුරතල් බල්ලන් හා බළලුන් සඳහා ආනයනය කරන ආහාර සඳහා වසරකට වැය කරන රුපියල් මිලියන 816කට අධික මුදල තම නිෂ්පාදන බිහිවීමත් සමඟ රට තුළ ඉතිරි වන බව ය.

ඔවුනට සුබ පැතුම් එක් කළ ඇමතිවරයා වෙට්ග්‍රෝ ආයතනය විසින් කිරි ගවයන් හා හා සුරතල් සතුන් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන අනෙකුත් නිෂ්පාදන කෙරෙහි ද අවධානය යොමු කළ අතර එම අපනයන තත්ත්වයේ නිෂ්පාදන රට තුළ ව්‍යාප්ත කිරීමට මෙන්ම ඒවායේ අපනයන කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීමට තමන් කටයුතු කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපති, මාකඳුර පෙර වැඩුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය චන්දන අබේසිංහ, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020.06.11

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*