BREAKING NEWS

“මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි” කියන පණිවිඩය මුළු රටටම, ලබාදෙන දවස තමයි ඔක්තෝබර් 11 වැනිදා. ඒ පණිවිඩය ලබාදීමේ ජාතික වගකීමයි ඔබට තියෙන්නේ.

“මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි” කියන පණිවිඩය මුළු රටටම, ලබාදෙන දවස තමයි ඔක්තෝබර් 11 වැනිදා.
ඒ පණිවිඩය ලබාදීමේ ජාතික වගකීමයි ඔබට තියෙන්නේ.
– ජානිපෙ නායක විමල් වීරවංශ

‘මේ පරගැති පාලනතන්ත්‍රය දැන් ඉතිං ඉවරයි’ කියන පණිවිඩය මුළු රටටම ලබා දෙන දිනය ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන ඔක්. 11 වැනිදා යොදා ගන්නා ලෙසත් ‘පොහොට්ටුවට’ විශිෂ්ට ජයක් ලබාදී ඒ පණිවිඩය බලවත් ආකාරයට රට හමුවේ තැබීම ජාතික වගකීමක් බව සලකන ලෙසත් එම බලප්‍රදේශයේ ඡන්දදායකයන් වෙතින් ඉල්ලා සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (28) ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග වදින ජානිපෙ අපෙක්ෂක ජානක ප්‍රියන්ත මහතා සංවිධානය කළ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ පෙරවදන ලිවීම’

“ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් මේ රටේ සෙසු ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නේ එක් වතාවයි. නමුත් ඇල්පිටිය ජනතාවට දෙවතාවක් ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවා. ගෝඨාභය රාජපක්ෂයන් ඔක්තෝබර් 07 වැනිදා නාමයෝජනා භාර දුන්නාට පසුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එනවා ඔක්තෝබර් 11 වැනිදා. එදිනට ඔබලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරවා ‘එතුමා තමයි මුළු රටටම ඕනෑ’ කියන පණිවිඩය ලබා දෙනවා. (ජය ඝෝෂා)

පළාත් පාලන ඡන්දය වසර ගණනාවක් කල් දමා තමයි 2018 පෙබරවාරි 10 වැනිදා එය පැවැත්වූයේ. පළාත් සභා ඡන්දය ද දැන් වසර ගණනාවක් කල් දමමින් සිටිනවා. මේ ආණ්ඩුව කළේ ඡන්ද කල් දැමීම. මේක ඡන්දවලට බය ආණ්ඩුවක්. ඡන්දයක් ළං වුණාම ඒ ඡන්දය කල් දමන්න මේ ආණ්ඩුව කරන්න තියෙන ‘වහුකුණු වැඩ’ ඔක්කොම කරනවා. මැතිවරණ කොමිසම මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට දින දුන්නාම ඒකට විරුද්ධව මේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ ගත්තු උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ජනාධිපතිවරණය නිසා වෙනත් ඕනෑම ඡන්ද විමසීමක් කල් දැමිය හැකියි. නමුත් මෙතැනදී තම අභිමතය පරිදි ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම තියන්න මැතිවරණ කොමිසම තීන්දු කළා. ඒ අනුව ඡන්ද අනන්තය දක්වා තල් දමපු මේ ආණ්ඩුවට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ පටිසන් දුන්නා.

අපි කිසි ලෙසකින්වත් හිතන්න හොඳ නැහැ, ‘මේක ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පමණක් සීමා වුණු ඡන්දයක්’ කියා. මේක තමයි ‘ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ පෙරවදන’. මේ පෙරවදන ලියන්නේ ඇල්පිටියේ ඡන්දදායක ඔබ සැම විසිනුයි. දැන් එක්තරා පිරිසක් මතයක් පැළ කරගෙන යනවා, ‘ගෝඨාට දිනන්න නම් සිංහල ඡන්දවලින් මෙච්චර ප්‍රතිශතයක් ගන්න ඕනෙ’ කියලා. අපි ඔබෙන් ඉල්ලනවා, ‘ඊට එහා ගිය ප්‍රතිශතයකින් ඔක්තෝබර් 11 වැනිදා පොහොට්ටුව දිනවන්න’ කියා. අද මේ රටට සිදුව ඇති විපතෙන් එය මුදා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මේ ජනාධිපතිවරණයයි. ඊට අවශ්‍ය ‘මොරාල් එක’ හදා දෙන අවස්ථාව බවට අපි මේ පුංචි ඡන්දය යොදා ගනිමු.

‘අරලියගහ මන්දිරයේ බින්න බැහැපු ඇමෙරිකන්කාරයෝ’

1948දී සුද්දා, ස්වදේශික නායක පෙළැන්තියකට මේ රට භාර දී ගියාට පසුව අපට මුණගැසුණු අඳුරුතම යුගය තමයි මේ ‘පුතාණෝගේ පියාණන්ගේ’ පාලන සමය. නමුත් ගෙවී ගිය වසර හතරහමාර ඊටත් වඩා අඳුරුතම යුගයක් ලෙසයි ඉතිහාසයට එක් වන්නේ. දැන් යළිත් මේ රටේ පාලනය සම්පූර්ණයෙන්ම ස්වදේශිකයන් වෙතින් ගිලිහී ගොස් තිබෙනවා. බලන්න, අද පාර්ලිමේන්තුව අණපනත් සම්මත කරන්නේ, වෙළඳ ප්‍රතිපත්ති සකස් කරන්නේ ස්වදේශික ජනතාවගේ ඕනෑ එපාකම් මත ද? නැහැ. අද තේ, කුරුදු ආදී ඔබේ වගාවන්ගේ මිල අනන්තයටම පහළ වැටිලා. ඊට හේතුව එය තීරණය කරන්නේ විදේශිකයන් වීමයි. අද අරලියගහ මන්දිරයේ ඇමරිකන්කාරයෝ බින්න බැහැලා ඉන්නවා. එයාලා තමයි තීරණය කරන්න අපේ රටේ ‘සංවර්ධන’ මොඩලය.

‘දෙකම එකයි ද?’

දැන් 2015 ජනවාරි 08 හංසයාට කතිරය ගහපු සමහරු කියනවා, ‘දෙකම එකයි’ කියා. එහෙමනම් ඒ ආණ්ඩුවටම තියෙන්න දෙන්න ඕනනේ. අපි 2015දී භාර දුන්නේ යුද්ධය අවසන් කරපු රටක්. අද ‘සහරාන්ලා’ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගන්නා රටක් නිර්මාණය කර තිබෙනවා. අප මේ රට භාර දෙන කොට ආර්ථික වර්ධන වේගය 6.5%යි. අද 3%ටත් අඩුයි. එදා අපනයන බෝග සහ සුළු අපනයන බෝගවලට හොඳ මිලක් තිබුණා. අද මිල බින්දුවට බැහැලා. එදා කොළඹ නගරය දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත්ව තිබුණා. අද කොළඹ කුණුවලින් කුණු වන නගරයක් බවට පත් වෙලා. ඉතිං කොහොමද ‘දෙකම එක’ වෙන්නේ? අනෙක පැවති ආණ්ඩුව ‘මහබැංකුව මහ දවාලේ කොල්ල කෑවාද?’ වැදගත්ම දෙය තමයි මේ ආණ්ඩුවේ පළමුවැනියාට සහ දෙවැනියාට තමන් මේ රටට කළ හානිය නිසා ඡන්දය ඉල්ලන්නවත් බැරි වී තිබීම. ඔවුන් දෙදෙනාම එළඹෙන ජනාධිපතිවරණය හෙමින්ම මඟහැර ගොස් තිබෙනවා.

‘හිස දන් දෙන්න ආපු කෙනා’

‘සංචාරක ව්‍යාපාරය අපි බිඳ වැට්ටුවා. කෘෂි ආර්ථිකය වනසා දැම්මා. මහ බැංකුව කොල්ල කෑවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කළා’ කියා මේ දෙන්නා ඡන්දය ඉල්ලන්න ද? මේක ඡන්දය ඉල්ලන්න ජනතාව ඉදිරියට යන්න බැරි ආණ්ඩුවක්. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන ඒ පාලනයේ පළමුවැනියා සහ දෙවැනියා ජනාධිපතිවරණය මඟහැර යද්දි ඔන්න දැන් කෙනෙක් එනවා ‘අයියණ්ඩිය බිය නොවන්න, මැරෙන සැටි මම පෙන්වමි’ කියාගෙන. අලුත් ඡන්දදායකයන් පිරිසක්, තරුණ පිරිසක් මෙවර මැතිවරණයේදී තම ඡන්දය පාවිච්චි කරන්න බලා ඉන්නවා. එයාලා කුමන සමාජ, ආර්ථික මට්ටමක හිටියත් තොරතුරු තාක්ෂණය තුළින් ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත්තු පිරිසක්. ඔවුන් දන්නවා ලෝකයේ අනික් රටවල සිදු වන දේවල්. එයාලා බලාපොරොත්තු වන්නේ, මේ රට ඉල්ලා සිටින ගැඹුරු පරිවර්තනය ලබා දෙන්න පුළුවන්, රටට විනයක් නිර්මාණය කරන්න පුළුවන් නායකයෙක්.

‘මොලේ අප්ඬේට් වෙලා නැහැ’

එදා ගෝඨාභය රාජපක්ෂයන් තමන් යටතේ පැවැති නාගරික සංවර්ධන අධිකාරිය යොදාගෙන කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස ද ලබා දුන්නා. එවැනි වැඩපිළිවෙළක් යටතේ තමයි ‘කොළඹ නගරය’ දකුණු ආසියාවේ පළමුතැනට ආවේ. ඒත් දැන් බලන්න, මේ ‘හිස දන් දෙන්න ආපු කෙනා’ තාමත් ඉන්නේ 80 දශකයේ. එයා තාමත් හදන්නේ ‘හුණ්ඩු’ ගෙවල්. එයා තාමත් හිතන්නේ ‘පියාණෝගේ වැඩ ටික අදටත් ගැලපෙනවා’ කියලයි. මෙතැන තියෙන්නේ ‘මොලේ අප්ඬේට්’ නොවීමේ ප්‍රශ්නයක්. අපි 60%කටත් වඩා අවසන් කළ මහල් නිවාස සංකීර්ණවල වැඩ අවසන් කිරීම හැර, ‘තමන් හදපු එක මහල් නිවාස සංකීර්ණයක් හෝ තියෙනවා නම් කියන්න’ කියා අපි පුතාණෝට අභියෝග කරනවා. අද මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ 80 දශකයේ තවමත් ජීවත් වන, මොළය අප්ඬේට් නොවුණු නායකයෙක් නොවෙයි. රනිල් වික්‍රමසිංහලා මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑවාම, මංගල සමරවීරලා ජිනීවා යෝජනාව අනුව මේ රටේ බුද්ධි අංශ ඇතුළු රණවිරු දඩයම සිදු කරද්දී උගුඩුවෙක් වගේ කටේ පිට්ටු හිරකරන් හිටපු නායකයෙක් නොවෙයි. භික්ෂුන්වහන්සේලාට ජම්පර් අන්දන විට, පන්සල්වල පින්කැටේට ඉබ්බෝ දමන විට කටක් අරින්නේ නැතිව ‘මම හොඳ බෞද්ධයෙක්’ කියන ඊනියා නායකයෙක් නොවෙයි මේ රට අද ඉල්ලා සිටින්නේ.

‘මල්ටි බැරල් ප්‍රහාරයක්’

අපේ බෞද්ධ සංස්කෘතික උරුමයන්ට අද සුද්දාගේ කාලයේදීටත් වඩා පහර ගහනවා. විහාරාධිපති වහන්සේ නමකගේ දේහය පන්සල් බිමේ ආදාහනය කිරීමේ අයිතිය පවා අහිමි වී තිබෙනවා. මේ තත්වයට ඉඩ දී අපට තවදුරටත් ඉවසිය හැකිද? ඔබ මීට ප්‍රතිප්‍රහාර එල්ල කරන පළමු දිනය ඔක්තෝබර් එකොළොස් වැනිදා. සුළු අවි ප්‍රහාර වැඩක් නැහැ. අපි එදාට ඇල්පිටියෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් විය යුතුයි. සුළු අවිවලින් කිව්වාට මේ ‘අයියලාට’ තේරෙන්නේ නැහැ. 60%ට එහා ගිය ප්‍රතිශතයකින් අපි පිළිතුරු දිය යුතුයි. එවිට තමයි ‘පුතාණෝටත්’ තේරෙන්නේ ‘වැඬේ දෙල් වෙනවා’ කියා.

‘ජම්පර් ආණ්ඩුව’

දැන් ‘පුතාණෝ’ හිතාගෙන ඉන්නවා ‘අපේක්ෂකකම ලැබුණාම ඔක්කොම හරි’ කියලා. යම්කිසි දිවුරුම් පෙත්සමක් රනිල් වික්‍රමසිංහට පෙන්වලා ඒකට එතුමාගේ ‘බඩ බුරුල්’ වුණ නිසා තමයි ‘පුතාණෝට’ අපේක්ෂකකම ලබා දුන්නේ. දිවුරුම් පෙත්සම එළියට ගියාම ‘කලිසම ගැලවෙන’ නිසා අපේක්ෂකකම දුන්නාට ‘රිටන් එක’ දෙන්න වෙලාව එනකම් රනිල් බලා ඉන්නවා. පුතාණෝගේ එක ගෝලයෙක් කියා තිබෙනවා, ‘නොවැම්බර් 17 වැනිදා ගෝඨාභයට ජම්පර් අන්දනවා’ කියා. අපට ජම්පර් ඇන්දවීම කෙසේ වෙතත් එදාට මෙයාලාට ‘පැම්පර්’ තමයි අදින්න වෙන්නේ. මේ අවුරුදු හතරහමාර තුළම මේ අය උත්සාහ කළේ රාජපක්ෂවරුන් ඇතුළු විපක්ෂයේ නායකයන්ට ජම්පර් අන්දන්නයි. මේක ‘ජම්පර්’ ආණ්ඩුවක්. 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරයත් සමගම ජනතාව සිරගත වුණා වගේ ගෙවල් තුළටම වී සිටියා. ඒ අනුව මේ ආණ්ඩුව ඒ කාලයේ රටේම ජනතාව සිරගත කොට ‘ජම්පර්’ ඇන්දූ බව ඔබට මතක ඇති.
‘ඒත් සහරාන්ලාට ජම්පර් ඇන්දුවේ නැහැ’

2017 සහරාන් බෝම්බ හදන්න බඩු ගෙනත් සෙයින්දමරුදුවල ගොඩබාගත් බවට පැමිණිලි මුස්ලිම් ජනතාව වෙතින්ම ලැබී තිබුණා. ඒ අවස්ථාවේ සහරාන්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. අත්අඩංගුවට ගත්තානම් මේ මහා විනාශය වෙන්නේ නැහැ. එදා සහරාන්ව අත්අඩංගුවට ගන්න හදපු ඕ.අයි.සී. මාරු කළා. සහරාන් යූඑන්පී බවත් 2015දී හංසයාට වැඩ කළ බවත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලැබුණු සාක්ෂිවලින් අද ඔප්පු වී තිබෙනවා. සහරාන්ට ජම්පර් ඇන්දුවේ නැති මේ ආණ්ඩුව රටටම ජම්පර් ඇන්දුවා. මිනිස්සු දරුවන් පාසල් යැව්වේ නැහැ. පන්සලට, කෝවිලට, පල්ලියට ගියේ නැහැ. හිරගත වෙලා ජම්පර් ඇදගෙන, ගෙවල්වලට වී සිටියා.
ඒ වගේම මේ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ සහායෙන් දුවන ආණ්ඩුවක් මිස සරල බහුතරය හෝ තිබෙන ආණ්ඩුවක් නොවෙයි. උතුරේ ජාතිවාදී, අන්තවාදයට උඩගෙඩි දෙමින් තමයි මේ ආණ්ඩවු තම පැවැත්ම හදාගෙන ඇත්තේ. මේ සියල්ලට තිත තැබීමේ ආරම්භක පියවර තමයි ඔක්තෝබර් 11 වැනිදා ඔබ සැම ඉදිරියේ තිබෙන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/09/29

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    If his victory is so sure why do you have to take pains to make him win. My comment to guru Kanda ihara news item published in Colombo telegraph was not published as I said your hero can never win. People’s freedom of writing is already taken away. What will happen if he comes into power? Seriouly why can’t you think about people?

Leave a Reply

*