BREAKING NEWS

”රටකට ජනාධිපතිවරයකු උවමනා කරන්නේ රෑට ගෙවල්වලට එබිකම් කරන්නද? – ‘මිඞ්වයිෆ් නෝනා’ හොයන බොත්තම ඔබමින් ඉන්නද?”

”රටකට ජනාධිපතිවරයකු උවමනා කරන්නේ රෑට ගෙවල්වලට එබිකම් කරන්නද? – ‘මිඞ්වයිෆ් නෝනා’ හොයන බොත්තම ඔබමින් ඉන්නද?”
ජානිපෙ. නායක විමල් වීරවංශ

රටකට ජනාධිපතිවරයකු උවමනා කරන්නේ රෑට ගෙවල්වලට එබීමට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීවරිය සොයන බොත්තමක් එබීමට හෝ නොව ජාතික ආරක්ෂාව තහවුරු කර, රටේ ආර්ථිකයට පණ දී, අනාගත පරපුරෙහි සිහින පැළ වන පොළොවක් නිර්මාණය කිරීමට බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (17) කුලියාපිටිය නගර මධ්‍යයේ පැවැති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කරන ජාතික රැලි මාලාවේ සිව්වැන්න ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මෙසේ පවසා සිටියේය.

එහි දී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

රට රැක්ක කඳවුර

“කුලියාපිටිය නගර මධ්‍යයේ පවත්වනු ලබන මෙම මහා රැලියට එක්ව සිටින සියලුදෙනාගෙන් අවසරයි. විශේෂයෙන් කියන්න ඕන, මේ ආණ්ඩුව ආරම්භ කරපු වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අද නිවාඩු දීලා. ඒකෙ වැඩ කරන සේවක සේවිකාවන් දහස් ගණනක් මෙතැනට පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාගෙන් ද අවසරයි. (ජනතා හූ හඬ). මේ ජනාධිපතිවරණ සටන තියෙන්නේ කඳවුරු දෙකක් අතරයි. එකක් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින අපේ කඳවුරයි. එය රට රැක්ක කඳවුරයි. ලක්මාතාවට ජීවය දුන් කඳවුරයි. ඒකීයභාවයට පණ දුන්නේ, රණවිරුවන්ගේ අභිමානය රැක දුන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය ගොඩනැගුවේ, උතුරට කෝච්චියේ යන්න පාර හදා දුන්නේ අපේ කඳවුරයි. මේ තමයි රට රැක්ක, ඉදිරියටත් රට රකින – රට හදන, ඒ වගේම ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් පණ පෙවුණු කඳවුර.

අනෙක් කඳවුර

අනෙක් කඳවුර කුමක්ද? ඒ තමයි සහරාන් ගායට විටමින් දීලා අහිංසක මුස්ලිම් ජනතාවගේ ගෙල වටේට ‘අයිඑස්අයිඑස් බෝඞ් ලෑල්ල’ එල්ලපු කඳවුර. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට සහරාන්ලා උවමනා වුණේ නැහැ. සහරාන්ලා උවමනා වුණේ මේ ආණ්ඩුවටයි. ඒකයි 97 වතාවක් සහරාන්ලා ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබියදීත් ඔවුන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිඳු පියවරක් නොගත්තේ. අවසානයේ දේවස්ථාන, හෝටල් මෙන්ම අපේ හදවත් ද කුඩුපට්ටම් කරන තෙක් මේ ආණ්ඩුව සහරාන්ලා රැක්කා. සහරාන් ගායට බෙහෙත් දීලා, තමන්ගේ බෙල්ලේ එල්ලා ඇති ‘අයිඑස්අයිඑස් බෝඞ් ලෑල්ල’ ගැලවිය හැකි නායකයකු සාමාන්‍ය මුස්ලිම් ජනතාව සොයනවා. අද ඔවුන් ඒ නායකයා, ජාතියේ නායක, අප කාගෙත් නායක, ගෝඨාභය රාජපක්ෂයන් බව හඳුනාගෙන අවසන්. ඒක අන්තවාදයට පණ දීපු කඳවුරයි. ඒ වගේම ඒ කඳවුර මංපහරන්නන්ගේ කඳවුරක්. ඔවුන් තමයි මහ බැංකුව මහදවල් කොල්ලකෑවේ. ඒ විතරක්ද? ඒක තමයි බදු බර පටවන්නන්ගේ කඳවුර. ඔවුන් නටන්නේ බටහිර බලවතුන්ගේ පදයටයි. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇක්සා ගිවිසුමට අත්සන් කරලා, ඕනෑම හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට මේ රටේ බින්නබහින්න ඉඩ හැදුවේ ඒ පරගැති කඳවුරයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම්ගත යුතුයි, අද සටන ඇත්තේ මේ මව් පොළොවට මිතුරු අපේ කඳවුර සහ ඒ පරගැති කඳවුර අතරයි.

පුතාණෝ සහ රිෂාඞ් බදියුදීන්

මේ අය බලයේ ඉන්න කොට සහරාන් ගායට සහ කොටි ගායට විටමින් ලැබෙනවා. දැන් බලන්න දෙමළ ජාතික සන්ධානය සහ තවත් දෙමළ අන්තවාදී පක්ෂ කිහිපයක් එකතුවෙලා තමන් සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා විසින් පිළිගත යුතු යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයංපාලනයක් ලබා දීම, උතුරු හා නැගෙනහිර පළාත්වල තිබෙන බෞද්ධ සිද්ධස්ථාන සහ ජීවත් වන සිංහල ජනතාව ඉවත් කිරීම මෙන්ම පුරාවිද්‍යා ස්මාරක ඉවත් කිරීම එම යෝජනාවලියෙහි තිබෙනවා. පලාලි ගුවන්තොටුපළ විවෘත කිරීමට ගිය පුතාණෝගේ අගමැතිතුමාණෝ මේ අන්තවාදී, ජාතිවාදී, සහජීවනයට හතුරු ඉල්ලීම් ඉදිරිපත් කරපු දෙමළ ජාතික සන්ධානය සමඟ කරට අත දමාගෙන ඉන්නවා. සහරාන් එදා 2015 දී වැඩ කළේ හංසයාට. 2019 දී සහරාන්ගේ ඉතිරි වී සිටින ගෝලයන් වැඩකරන්නෙත් හංසයාට. සහරාන්ලා 2015 සිට අත්අඩංගුවට ගන්න නොදී රැක ගත්තු, රිෂාඞ් බදියුදීන් අද පුතාණෝගේ ‘දකුණත්සව්’ වෙලා. මේ අය බැරි වෙලාවත් දිනුවොත් වෙනසක් වේවිද? ආයෙත් ඇමතිවරු වෙලා මුස්ලිම් ජනතාවගේ බෙල්ලේ ‘අයිඑස්අයිඑස් බෝඞ් එක’ ගැටගසන්නේ මේ අය නොවෙයිද? නමුත් ගෝඨාභය රාජපක්ෂයන් නොවැම්බර් 16 වැනිදා බලයට එන්නේ මේ අන්තවාදයට උඩගෙඩි නොදෙන ආණ්ඩුවක් හදන්නයි.

බොත්තම ඔබන අපේක්ෂකයා

රෑට රෑට ගෙවල්වලට එනවාලු – මිඞ්වයිෆ් නෝනා ගෙන්න ගන්න එයා ළඟ තියෙන බොත්තම ඔබනවාලු. මේ නල්ලමලේ අපේක්ෂකයා කියන කතා ටික අහපුවාම මට මතක් වෙනවා, මේ සිංදුවත්.

‘මම ඕන වැඩක් කර දෙන්නම්,
අලි ඇත්තු වුණත් පෙරළන්නම්,
ඔබට ආඩම්බරනේ…
ඔබට ආඩම්බරනේ කඵ මැණිකේ…

පොල් කඩලා ගාලා දෙන්නම්,
රෙදි සෝදා වේලා දෙන්නම්,
මොකද ආදරෙද පණේ…
මොකද ආදරෙද පණේ මගෙ මැණිකේ…’

තව ටික දවසක් යනකොට පුතාණේ, පොල් කඩලත් දෙනවා, පොල් ගාලත් දෙනවා, සම්බෝල හදලත් දෙනවා, හදලා, අනලා, කවලා, නිදිකරවලත් තමයි මේ යන තාලෙට ගියොත් අවසන් වෙන්නේ. අපට ජනාධිපතිවරු උවමනා රෑට ගෙවල්වලට එබෙන්න නොවෙයි. මිඞ්වයිෆ් නෝනා හොයන බොත්තම ඔබමින් ඉන්න නොවෙයි, අපට ජනාධිපතිවරයකු උවමනා වන්නේ රට සුරක්ෂිත කරන්න, ජාතික ආරක්ෂාව තර කරන්න, රටේ ආර්ථිකයට පණ දෙන්න, අපේ දරුවන්ගේ හීන පැළ වෙන පොළොවක් බවට මේ මහ පොළොව පත් කරන්නයි.

‘පෙට්ටි ගෙවල් – පෙට්ටි කතා’

රටට උවමනා වැඩක් කරලා පෙන්වපු නායකයකු මිස ‘පෙට්ට් ගෙවල් හදමින් පෙට්ටි කතා කියමින්’ යන නායකයකු නොවෙයි. දැන් බලන්න අර ‘අප්පච්චි මළෝ’ කියනවා, ‘අපේ නායකයා යටට අඳින්නෙත් නැහැ’ කියලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා යටට නොඅඳින්නකු විය යුතුය, කියා ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතේ තිබෙනවාද? මේ කොලොප්පම්කාරයන් නිසා මේ රටේ මිනිසුන්ගේ ජීවිතවල අවුරුදු හතරහමාරක් අපතේ ගියා. මේ අය අපේ ජීවිත විනාශ කළා. රටක ජනාධිපතිවරයකු විය යුත්තේ දරුවකුගේ කිරි සුවඳ දැනෙන ආදරණීය පියෙක්. දරුවා ඇකයේ තබාගෙන නලවපු පියෙක්. මිඞ්වයිෆ් නෝනා ඉන්න තැන හොයන බොත්තම ඔබන එක පස්සට තියලා අඩුම තරමින් ආර්යාව ඉන්න තැන හොයාගන්න බොත්තමක් ඔබන්න පුරුදු වුණා නම් ඒ වැඬේවත් සිදු වේවි. මේ කොලොප්පම්කාරයන්ගෙන් මේ මව් පොළොව රැක ගනිමු. එකම අරමුණකට රොද බඳිමු. නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමු.“

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019 /10/18

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*