BREAKING NEWS

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට පත් කරනවා – ඇමති විමල් කියයි.

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානීන් හා ඒවායේ ඉංජිනේරු බලකා නිලධාරීන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කළ යුතු බවත්, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(10) කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදි ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“ගෙවී ගිය කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ රජය මේ රටේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් වැදගත් වන තීරණ ගණනාවක්ම ගනු ලැබුවා. ණය ගෙවාගත නොහැකිව සිටි මේ රටේ ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට ලබා දුන් සහන රැසක් ද ඒ අතර වෙනවා.

“ඔඞ්ඩුසුඩාන් යළි පිබිදෙයි !”

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විවිධ වකවානුවල වසා දමන ලද, අතහැර දමන ලද කර්මාන්ත ශාලා රැසක්, යළි ආරම්භ කිරීම සඳහා අපි මේ දිනවල අපේ පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපට ගෙවී ගිය සතියේ හැකි වුණා, වසා දමා තිබූ ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඞ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට. රජරට සැම්සන් ටයිල් සමාගම සමඟ මෙහිදී හවුල් ව්‍යාපාරික සැලසුමකට යනු ලබනවා. ලංකා පිඟන් සංස්ථාව සතු කිසිවක් පෞද්ගලිීකරණය නොකොට පාර්ශව දෙක එකට එකතුවී එම කර්මාන්ත ශාලාව සංවර්ධනය කිරීමයි මෙහිදී සිදුවන්නේ. එහිදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි. යුද්ධයේ බලපෑම තීව්‍රව තිබූ ප්‍රදේශයක් වන ඔඞ්ඩුසුඩාන්වල පිහිටි උළු කර්මාන්ත ශාලාව අපි පසුගිය දිනවල සමීපව නිරීක්‍ෂණය කරනු ලැබුවා. යුද සමයට පෙර එහි සේවයේ යෙදී සිටි පිරිස් ඉල්ලා සිටි ආකාරයටම ඔවුන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලැබේවි. එම ප්‍රදේශයම පිබිදීමකට ලක්වේවි.

“රුපියල් මිලියන 4000ක ඉතිරියක් !”

ලංකා පිඟන් සංස්ථාව සතු උළු කර්මාන්ත ශාලා 09ක් රට පුරා පවතිනවා. නමුත් 01ක් පමණයි විවෘතව ඇත්තේ. ඔඞ්ඩුසුඩාන් හා මහියංගනය පිහිටි කර්මාන්තශාලා 02 මාර්තුවේදී යළි විවෘත කෙරෙනවා. එසේම ඉතිරි කර්මාන්ත ශාලා 06 මේ වසර අවසන් වීමට පෙර අප විවෘත කරනවා. අපේ රටෙන් උළු සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල රුපියල් මිලියන 4000ක්. ඒ මුදල රට තුළ ඉතිරි කර ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප පියවර ගන්නවා.

‘”මාර්තුවේ වාලච්චේන කම්හල වැඩ අරඹයි! ”

ඒ වගේම විවිධ හේතු මත අතහැර දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ වැඩ කටයුතු ද අප මාර්තුවේ දී යළි ඇරඹීමට සූදානම්. අක්කර 500 ක පරිශ්‍රයක පිහිටා ඇති එම කම්හල සතු යන්ත්‍රසූත්‍ර හා ගොඩනැගිලි යළි පිළිසකර කිරීමේ කටයුතු පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කොට තිබෙනවා. එම කටයුතු සඳහා කැපවී සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදා හා නාවික හමුදා ඉංජිනේරු බලකා නිලධාරීන්. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමන්ට, ආරක්‍ෂක ලේකම්තුමන් ඇතුළු අදාළ හමුදා ප්‍රධානීන්ට අපගේ ස්තූතිය පළකර සිටිනවා. අප ලංකා කඩදාසි සංස්ථාව සඳහා පත් කළ සභාපතිතුමන් සිය පෞද්ගලික මුදලින් කඩදාසි කර්මාන්තය පිළිබඳ විශේෂඥයන් පිරිසක් වාලච්චේන පරිශ්‍රයට කැඳවා ගෙනවිත් යළි නිෂ්පාදන කටයුතු ඇරඹීම පිළිබඳව දැනටමත් අධ්‍යනයක නිරත වී සිටිනවා. අපි බොහොම අඩම්බරයෙන් කියනවා, වාලච්චේන කඩදාසි කම්හලේ නිපදවූ ෆයිල් කවරයක් මාර්තුවේදී ඔබ අතට පත් කිරීමට අපි සූදානම් කියා

“කුරුන්ඩතිවු අලිමංකඩ උතුරු ලුණු ලේවාය”

ඒ වාගේම අක්කර 1500ක් පුරා පැතිර පවතින, අතහැර දමා ඇති කුරුන්ඩතිවු අලිමංකඩ උතුර ලුණු ලේවායේ කටයුතු ද අපි නුදුරේදීම අරඹනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද දැනටමත් සූදානම් කර තිබෙනවා. මෙරට ජනතාවගේ ලුණු පරිභෝජනය වෙනුවෙන් පිටරටට ඇදී එන මුදල් ද එමඟින් රට තුළ ඉතිරිකර ගැනීමට හැකි වේවි.

“මිනිරන්වලට අගය එකතු කිරීමක්!”

ඔබ දන්නවා ලෝකයේ හොඳම මිනිරන් ලෙස නමක් දිනා ගෙන ඇත්තේ කහටගහ පතලේ මිනිරන් බව. එම රාජ්‍ය ව්‍යවසායෙන් ලබා ගන්නා මිනිරන් අපනයන කරනු ලබන්නේ කිසිඳු අගය එකතු කිරීමකින් තොරවයි. ඊට පිළියමක් ලෙස අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී විවෘත අයදුම්පත් කැඳවනවා කහටගහ පතලෙන් ලබා ගන්නා මිනිරන්වලට අගය එකතු කළ හැකි සමාගමක් තෝරා ගැනීම සඳහා. එම තෝරා ගනු ලබන සමාගම හා කහටගහ ග්‍රැපයිටි සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් අරඹා මෙරටින් අගය එකතු කළ මිනිරන් අපනයනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. එයත් අපේ නව සුබදායී බලාපොරොත්තුවක්.

“පදවිය කර්මාන්තපුරයත් වැඩ අරඹයි!”

ඒ වාගේම පදවිය කර්මාන්තපුරය වැඩ කටයුතු ඇරඹීම සඳහා සූදානම් කර තිබෙනවා. කර්මාන්තරුවන් සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව එහි ගොඩනැගිලි තුනක් ඉදිකර තිබෙනවා. ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ විරැකියාවට පිළියමක් ද මෙමඟින් ලැබෙනවා. එහි කර්මාන්ත ඇරඹීම සඳහා කර්මාන්තකරුවන්ට ඇරයුම් කරමින් විවෘත පුවත්පත් දඅන්වීක් ද පළ කොට අවසන්.

“පළතුරුවලට ඉහළ වටිනාකමක්!”

අපි කොන්දේසි දෙකක් යටතේ අපේ කර්මාන්ත පුරයක ඔරානා නමැති ඩෙන්මාර්ක් සමාගමකට පළතුරු පල්ප් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා පහසුකම් සපයා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැවෙන පළතුරු මිළදී ගැනීම හා මාස 06ක් ඇතුළත වැඩ ඇරඹීම කියන කොන්දේසි දෙක යටතේයි, මෙම පළතුරු පල්ප් නිපදවන ඩෙන්මාර්ක් ඔරානා සමාගම වැඩ අරඹන්නේ. ඒ සමඟම පළතුරු බීම නිෂ්පාදනය සඳහා පළතුරු පල්ප් පිටරටින් ගෙන්වීම සීමා වෙනවා වගේම අපේ රටේ පළතුරුවලට ඉහළ මිලක් ලැබෙනවා.

මේ සියලු සුබදායී කටයුතු සමඟ කර්මාන්තකරුවන්ට ඇරයුම් කරනවා, නව කර්මාන්ත ඇරඹීමට, ඔබගේ කර්මාන්ත ප්‍රවර්ධනයට අමාත්‍යාංශය සමඟ එක්වී කටයුතු කරන ලෙසට. ඔබ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට අපි සූදානම්.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*