BREAKING NEWS

“අපේ හදවත විමල් එක්කයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යෙන් පළමුවැනියා වෙලා එන විට පාර්ලිමේන්තුවේ දී දකින්න අපි බලා ඉන්නවා” – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කඩුවෙල දී කියයි

 

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවෙන් අනිවාර්යෙන් ප්‍රථම ස්ථානයට පැමිණෙන විමල් වීරවංශ මහතා එවැනි විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව පාර්ලිමේන්තුවට එන විට දැක ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල සතිපොළ භූමියේ පැවැති ජන රැලියේ දී අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය.

එහි දී අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“විමල්ගේ රැස්වීමට මම ඉතා සන්තෝෂයෙන් පැමිණියේ. මොකද අපේ යුතුකමක් තිබෙනවා විමල් වෙනුවෙන් කතා කරන්න. විමල් හැමදාම අපි වෙනුවෙන් කතා කරනවා. විමල් ආණ්ඩු හදන්න උදව් කළා. ඒ වගේම විමල් පෙන්වලා තියෙනවා ‘වැඩ කරන්න පුළුවන් දක්ෂ ඇමතිවරයෙක්’ කියලා. එතුමාගේ ජයග්‍රහණය අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ කතාවක් තිබෙනවා ‘අද විමල් නැතිව පාර්ලිමේන්තුව පරිප්පු නැති හොද්ද වගේ’ කියලා.

මොකද පාර්ලිමේන්තුව තුළ ඕනෑම විෂයක් පිළිබඳව, ඕනෑම අවස්ථාවක නැඟී සිට කතා කරන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න විමල්ට හැකියාවක් තිබෙනවා. ඉතින් එවැනි දක්ෂයෙක්, ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් හැම අවස්ථාවකම පෙනී සිටියා. රටේ තිබෙන පෞරාණික වස්තූන් ආරක්ෂා කරන්න කටයුතු කළා. එතුමා හැමවිටම රට දිහා බලා ඉන්නවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ගැන.

එදා කුරුණෑගල සිදුවීමක් වුණු වෙලාවේ මට මුලින්ම කතා කළේ විමල්. ඒ අවස්ථාවේ තමයි අපි ඇත්ත වශයෙන්ම ඒ ගැන දැනගත්තේ. විමල් රට, ජාතිය ගැන ඉතාමත් ලැදියාවකින් බලන පුද්ගලයෙක්. එවැනි කෙනෙක් නිසා විමල් හැම අවස්ථාවකම කොළඹින් පළමුවැනියා වෙමින් පාර්ලිමේන්තුවට ගියා. ඒ නිසා මම හිතන්නේ ‘එතුමා මේ වතාවෙත් අනිවාර්යෙන් කොළඹින් පළමුවැනියා ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙනවා’ කියලයි.

මට මතකයි නුගේගොඩ රැස්වීම පවත්වලා මහින්ද සුළඟ ආරම්භ කරන්න එතුමා කළ සේවය. අපි සැමදා විමල් කළ සේවය අගය කරනවා. එසේම ඇමතිවරයෙකු වශයෙන්, එදා නිවාස ඇමති ලෙස කරපු සේවය, අද කර්මාන්ත ඇමති ලෙස කරන සේවය අපි දකිනවා. එතුමා රට වෙනුවෙන් කරන සේවය අපි දකිනවා. ඒකට ඔබ සියලුදෙනා ශක්තියක් විය යුතුයි. ඔහු පාර්ලිමේන්තුවට පත් කර යැවුවේ ඔබයි. ඔහු යළි පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුත්තේ ඔබයි.

යම් ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවක අපි විමල්ගේ අදහස් විමසන්න පසුබට වෙන්නේ නැහැ. මොකද ඔහු අනෙක් අයට වඩා ප්‍රශ්නයක් වෙනස් ස්වරූපයෙන් දකිනවා. ඔහු ජාතිකත්වය පිළිබඳ දන්නවා. ඒ ඔහුගේ දැක්ම. ඒ නිසා ‘විමල් අපට ඕනෙ’ කියන එක තමුන්නාන්සේලාට මතක් කරනවා. අවසන් වශයෙන් විමල් මේ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙලා පාර්ලිමේන්තුවේ දී දකින්න අපි බලා ඉන්නවා. මම දීර්ඝ වශයෙන් කතා නොකළත්, තමුන්නාන්සේලා දන්නවා ‘අපේ හදවත විමල් එක්කයි’ කියලා”.

“එක එක නිලධාරීන් පරණ සංකල්පවල ඉඳගෙන ඔය කියන උප්පැන්න සහතික, මේ නායකත්වය යටතේ, මේ රටේ හැදෙන්නෙ නැහැ”

එහි දී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා…

නැත්ත වෙනුවට ඇත්ත

“පළමුකොටම අතිගරු අග්‍රාමාත්‍යතුමාට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා, මේ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අපිව දිරිගැන්වීම සඳහා මේ අවස්ථාවට එක්වීම පිළිබඳව. ඔබතුමන් දන්නවා, මේ රටේ මගේ දේශපාලන ජීවිතයේ මම ගත්ත අමාරුම තීරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බහින තීරණය. ඒ තීරණය ගන්න සිද්ධ වුණේ එදා ඔබතුමා යුද්ධය ඉස්සරහට අරගෙන යන වෙලාවේදි, එයට කකුල් මාට්ටු දාන්න සූදානම් වෙනකොට ඒක වළක්වගන්න පක්ෂය තුළ කරපු අභ්‍යන්තර අරගලය. මම ඒක ඔබතුමාට කවරදාවකවත් සඳහන් කරලා නැහැ. ඒ අරගලය තමයි හේතු වුණේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ මා පිළිබඳ දේශපාලන අවිශ්වාසයක් ඇති කරගන්න. ඔවුන්ට උවමනා වුණා මගේ දේශපාලන භූමිකාව මහින්ද රාජපක්ෂ සඳහා වූ භූමිකාවක් හැටියට, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළෙ අභ්‍යන්තර මතයක් හදන්න. නමුත් යුද්ධය යන වෙලාවේ ඒකට සහාය දිය යුතුයි කියන මතයෙ හිටියෙ ඔබතුමා එක්ක කතාබහ කරලාවත් නොවෙයි. ඔබතුමාව අරලියගහ මන්දිරයේ දී මැතිවරණ කාලේ මුණගැහුණා ඇරෙන්න වෙනම විශේෂ වශයෙන් ඇවිත් කතාබහ කරලාවත් තිබුණේ නැහැ. එහෙම තියෙද්දි වැරදි මතයක් හැදුවා, ඒ නැත්ත වෙනුවට ඇත්ත කියන්න, මම ඇතුළු මන්ත්‍රීවරු එකොළහක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් හැටියට එළියට බැහැලා ජාතික නිදහස් පෙරමුණ නමින් වෙනම දේශපාලන පක්ෂයක් හදාගත්තා.

අපේ දේශපාලන ජීවිතයේ ලබපු ලොකුම ගෞරවය

පළමුකොට ඔබතුමාගේ නායකත්වයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මේ රට ගලවා ගැනීමේ ඒ මහා පිංකමට දායක වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක තමයි අපේ දේශපාලන ජීවිතයේ ලබපු ලොකුම ගෞරවය. ඒ වගේම එතැන් සිට ඔබතුමා සමඟ අපි එකට හිටියා. ආණ්ඩුව ආරක්ෂා කරගන්න අපි වෙර යොදා කටයුතු කෙරුවා. ඒ වගේම ඇතැම් විවේචනාත්මක කරුණු අපි ඉදිරිපත් කළා. මට සමාවෙන්න, 2015 ජනවාරි 08ට කලින් සමහර අපි ඉදිරිපත් කරපු දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, ජනවාරි 08 පරාජය පිළිබඳ කතා කරන්න අද සිද්ධ වෙන්නෙ නැහැ.

රනිල් වික්‍රමසිංහ – ආශු මාරසිංහ

තුසිත හල්ලොලුව කියන මංගල සමරවීරගේ හිටපු ලේකම්ගෙ හඬපටයක් දැන් සමාජ ජාලා ඔස්සෙ එළියට ඇවිල්ලා තියෙනවා. ඒ හඬපටයෙ තුසිත හල්ලොලුව එක්සත් ජාතික පක්ෂෙන් තරඟවදින අපේක්ෂකයෙකුගෙන් අහනවා, ‘ඇයි ඔබ මැතිවරණ කොමිසමේ සභාපති කරපු කතාව රෙකෝඞ් කරලා එළියට දැම්මෙ, 2015 ජනාධිපතිවරණයෙදි මැතිවරණ කොමසාරිස් එක්සත් ජාතික පක්ෂයට දීපු සහයෝගය ඇයි අමතක කරන්නෙ?’ කියලා. අසාමාන්‍ය ප්‍රතිශතයක් උතුරේ, යාපනයේ ඡන්ද වැටුණේ, ඒ වගේම නිල නොවන ඡන්ද ප්‍රතිඵල මාධ්‍යවලින් ලැබෙන එක නැවැත්තුවේ පළමුවැනි වතාවට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආශු මාරසිංහව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී කරලා ගෙනාවෙ මෙන්න මේ විශේෂ හේතු කාරණා නිසා.

කොහොම නමුත් ඒ කුමන්ත්‍රණකාරී මෙහෙයුමෙන් ඔබතුමා පරාජයට පත් වුණා. මට මතකයි, 2005 මැතිවරණයෙදි ඔබතුමා එක්ක රැස්වීමකට යන වෙලාවක මම ඇහුවා, ‘ඔබතුමා දිනනවාද, පරදිනවාද,’ කියලා. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරිපිට බෝ කොළයක් ශරීරයේ ස්පර්ශ වෙලා වැටෙද්දිම එතුමා කිව්වෙ ‘අපි දිනනවා විමල්’ කියලා. ඒත් 2015දි ඒ ප්‍රශ්නෙම ඇහුවාම 2005දි දීපු උත්තරයට වඩා හාත්පසින්ම වෙනස් උත්තරයක් ලැබුණේ. සිදුවෙමින් තිබෙන දේ ඔබතුමා සතු දේශපාලන ඥානයට තේරුම් ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි, පරාජය වූ බව දැනගත් වහාම ඒක උපේක්ෂාවෙන් භාරගෙන 2015 ජනවාරි 09 වැනිදා පාන්දර සිනහමුසු මුහුණෙන් එළියට බැහැලා යන්න තරම් දේශපාලනයෙන් මුහුකුරා ගිය පරිණතභාවයක් මේ රටේ කිසිම දේශපාලන නායකයෙකු තුළින් අපි දැකලා නැහැ. අපේ හතුරු පිල හිතුවේ, ‘මහින්ද රාජපක්ෂ රෙජීමය බලය අතහරින එකක් නැහැ’ කියලා. ඔවුන් අරලිය ගහ මන්දිරය වට කරන්න සැලසුම් හදාගෙන හිටියා. ඒත් ’මහින්ද රාජපක්ෂ කියන්නෙ කවුද?’ කියලා මුළු ලෝකයටම එතුමා එදා ඉතා නිවැරදිව පෙන්වා දුන්නා. කොහොම නමුත් ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටට සාමය දිනා දුන් නායකයා වෙලා නොවෙයි නම්, ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකරපු නායකයෙක් වෙලා නොවෙයි නම්, නැවත මේ රටේ ජනතාව ඔබතුමාව අවශ්‍යයි කියලා නැගී හිටින්නෙ නැහැ. ඒ මිනිසුන්ගේ හදවත්වල බුර බුරා නැඟුණු වේදනාව අපි දැක්කා. ඔබතුමාවත් බලලා බුලත් අතක් දීලා වැදලා යන ජන ගංගාව අපි දැක්කා.

ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම

අපේ ඇතැම් අය හිටියෙ දෙගිඩියාවෙන්. ඒ දෙගිඩියාව නැති කරන ක්‍රියාදාමය අපි ආරම්භ කළා. ඔබතුමා ඒ ක්‍රියාදාමයට අපිට සහයෝගය දුන්නා. අපි ඒකාබද්ධ විපක්ෂයක් හැටියට වෙනම ගොඩනැගෙන්න පටන්ගත්තෙ ඔබතුමාගෙ ශක්තියත් එක්ක. ඔබතුමා දේශපාලන වශයෙන් විශ්‍රාම ගියා නම්, අර හතුරු පරගැති පිල තවමත් මේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන යනවා. ඔබතුමා නැවත දේශපාලන නායකත්වය දෙන්න ආරම්භ කරපු නිසා තමයි මේ රට අද මේ විදිහට හරි බේරුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගෙත් සුසංයෝගයෙන් යුක්ත වර්තමානයක් ආරක්ෂාවක් මේ රටට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි,

මම අද සමාජ ජාලයේ දැක්කා රෙජිස්ට්‍රාර් ජනරාල් වැනි නිලධාරියෙක් මාධ්‍යයට කියලා, ‘මින් පසු උප්නැන්න සහතිකවල ජාතිකත්වය ගැන සඳහන් වෙන්නේ නැහැ’ කියලා. ඒක දැකපු මමත් පුදුම වුණා. අගමැතිතුමා වහාම අමාත්‍යාංශ ලේකම්ට කතා කරලා කිව්වේ, ‘මේක වහාම නිවැරදි කරන්න’ කියලා. මම මේක ජනාධිපතිතුමාටත් දැන්නුවා, ‘මෙවැනි නිලධාරියෙකුගේ අතින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් වෙනවා’ කියලා.

ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් නායකත්වයෙන් යුක්ත අපේ ආණ්ඩුව ජාතිකවාදී ආණ්ඩුවක්, මේ රටේ පොදුජන අභිලාෂයන් සුරකින ආණ්ඩුවක්, ජාතික උරුමයන් රකින ආණ්ඩුවක්, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් රකින්න ජනාධිපති කාර්යසාධක බලකායක් හදපු ආණ්ඩුවක්, පොදු ජනතාවගෙ දුක හඳුනන ආණ්ඩුවක්, අපොස සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් තරුණ තරුණියන්ට රැකියා දෙන්න හදන ආණ්ඩුවක්. උපාධිධාරීන් 50,000කට එකවර රැකියා දෙන්න හදන ආණ්ඩුවක්, ජාතියේ අක්මුල් සිඳලන්නෙ නැති, අක්මුල් සිඳලන්න කටයුතු කරන්න කාටවත් නොදෙන අපේ ප්‍රෞඪ ඉතිහාසයට පණ දෙන ආණ්ඩුවක්. ඒ නිසා එක එක නිලධාරීන් පරණ සංකල්පවල ඉඳගෙන ඔය කියන උප්පැන්න සහතික, මේ නායකත්වය යටතේ මේ රටේ හැදෙන්නෙ නැහැ.

කොහොම වුණත් අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ ‘එදා ජනාධිපතිවරණෙදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂයට අධික ඡන්දය දුන්න ඔබ, කොරෝනා වසංගතය මර්දනය කරමින් ඒ වසංගතයෙන් මුළු ලෝකයම බැට කනකොට ඒක පාලනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලබා දුන්නු එම නායකත්වය වෙනුවෙන් බලයක් වෙන්න. ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් කඩුවෙලෙන් පොහොට්ටුව ලකුණට ලබා දෙන්න කැපවෙන්න’ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන දෙන්නත් කොළඹින් වෙන වෙනම ඉල්ලන නිසා ‘ඒ අයට වඩා වැඩි මනාප ප්‍රමාණයක් මට ලබා දෙයි’ කියන විශ්වාසය තියෙනවා. ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න ආරාධනා කරමින්, නගර සභාවේ සියලු මන්ත්‍රීතුමන්ලාට එකට සමගිව මේ ගමන යන්න ආරාධනා කරමින්, මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාටත් සහයෝගය ලබා දෙන්න කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මාතෘ භූමියට ජයවේවා. රට රකින අපේ ආණ්ඩුවට ජය වේවා.”

මෙම ජන රැලියේ දී කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික, පෝරේ රජ මහා විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමි සහ පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙණේ පරිවේනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි පැවිදි අනුශාසනා පැවැත්වූ අතර මහ මැතිවරණ අපේක්ෂක ප්‍රදීප් උඳුගොඩ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස්, යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු නාගරික මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියෝ, වෘත්තිකයෝ, කලාකරුවෝ, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*