BREAKING NEWS

” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – නොරොච්චෝලේ, ලක්ෂපාන විදුලි බලාගාර ඇතුළු රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපතිවරයා සැරසෙන්නේ” – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඇතුළු ලාභ ලබන රාජ්‍ය ආයතන, විදුලිබල මණ්ඩලය සතු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, ලක්ෂපාන වැනි ජල විදුලි බලාගාර ඇතුළු එවැනි උපායමාර්ගිකව බලසම්පන්න කළ යුතු ජාතික සම්පත් ඩොලර්වලට විකුණා දමා, විදේශ විනිමය සංචිතයට ඩොලර් බිලියන කිහිපයක් එකතු කර, ‘ණය ගෙවාගත හැකිය’ යන ලේබලය අලවා ගනිමින් යළි ‘ණයට කකා සැපට ඉඳීමේ’ තමන් අනුදත් මොඩලය ඔස්සේ ගමන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(19) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘කරව්! නැත්නම් පලයව්!!’ යන තේමාව යටතේ පැවති මහජන සමුළුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අපේ මේ මහජන සමුළුවේ ප්‍රධාන පාඨය තමයි ‘කරව්! නැත්නම් පලයව්!!’ යන්න. අපේ රටේ වත්මන් පාලනයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉගෙනගෙන ඇත්තේ එක පන්තියේ, එක පාසලේ. මේ දෙදෙනාගේ පාසල රාජකීය විද්‍යාලයයි. එහි ආදර්ශ පාඨය තමයි ‘උගනිව්! නැත පිටවව්!’ යන්න. එවැනි ආදර්ශ පාඨයක් සහිත පාසලක ‘ආදී රාජකීයයන්’ දෙදෙනකු මුල් පුටු හොබවන ආණ්ඩුවකට ගැලපෙන ආකාරයට තමයි අපි අපේ සමුළුවේ ප්‍රධාන පාඨය තේරුවේ. එදා ‘උගනිව්! නැත පිටවව්!’ අද ‘කරව්! නැතිනම් පලයව්!!’.

’77න් පසුව ආ සාපය’

මෙවැනි මහජන සමුළුවක් කැඳවලා ‘කරව්! නැත්නම් පලයව්!!’ පාඨය අපි බලගන්වන්නේ ඇයි? සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයක නොවෙයි අපේ මාතෘභූමිය තිබෙන්නේ. සමහර ‘හිච්චි ඈයෝ” කියනවා අවුරුදු 74ක සාපය කියලා. එයාලා කියන විදිහට සුද්දා ඉන්නකම් රට හොඳට තිබිලා තියෙනවා. එතැන සිට තමයි සාපය ඇවිල්ලා තිබෙන්නේ. එයාලට අනුව ප්‍රවාහන සේවාව ජනසතු කිරීම වැරදියි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව දීපු එක වැරදියි. දේශීය කර්මාන්ත බලගැන්වීම වැරදියි. කැල්ටෙක්ස් සමාගම යවලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදපු එක වැරදියි. මතක තබාගන්න, මේ රටේ අතීතයේ විවිධ ප්‍රගතිශීලී ආණ්ඩු රටේ අනාගතය ගැන හිතලා ගත්තු බොහෝ සාධනීය පියවර තිබෙනවා. ඒ පියවරයන් ආපසු හැරවීමේ පියවර තමයි 1977න් පසු ගෙවී ගිය දශක කීපය පුරාම ගනුලැබ ඇත්තේ. විශේෂයෙන් සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දැරූ සමගි පෙරමුණ ආණ්ඩුව වැනි ආණ්ඩු බොහෝ ප්‍රගතිශීලී, ජනහිතකාමී පියවර ගත්තු නිසා තමයි ඒ යුගවල මෙවැනි අර්බුදවලට මේ රට මුහුණ නුදුන්නේ.

‘දේශීය නිෂ්පාදන සංස්කෘතියක්’

අපි දන්නවා 1977ට පෙර රජයේ කර්මාන්ත පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ කර්මාන්ත ද වර්ධනය වෙමින් රට කර්මාන්තකරණයට ලක් වෙමින් ඉදිරියට ඒමක් තිබුණා. අපේ රෙදිපිළි අපිම නිපදවා ගත්තා. උපාලි විජේවර්ධන යුනික් රේඩියෝව, ෆියට් කාර් එක නිපදවනු ලැබුවා. දේශීය නිෂ්පාදන, කර්මාන්ත සංස්කෘතියක් අතුරිකිලි දමා වැඩුණා. ඕනෑම රටක තමන්ගේ කර්මාන්ත පරිණත තත්ත්වයට පත් වූවාට පසුවයි නිදහස් වෙළඳපළ ආර්ථික උපායමාර්ගයට මාරු වෙන්නේ. එවිට දසතින් එන ඕනෑම වෛරසයකට මුහුණදීමට දේශීය කර්මාන්තකරුවා නිරෝගියි, ප්‍රතිශක්තිකරණය සහිතයි. ජපනා ලෝකයට තමන්ගේ ආර්ථිකය විවෘත කළේ තමන්ගේ නිෂ්පාදන සංස්කෘතිය ගෙනවිල්ලා. චීනය වුණත් අද එක්තරා ආකාරයකට ලෝකයට තමන්ගේ ආර්ථිකය විවෘත කරලයි තිබෙන්නේ. ඒකට කියනවා, :වෙළඳපොළ සමාජවාදය’ කියා. නමුත් එහෙම විවෘත කළා කියලා චීනයේ දේශීය නිෂ්පාදන පදනමට අල්ප මාත්‍රයකවත් හානියක් සිදුව නැහැ.

‘කලින්ම හා අර්බුදය’

ශ්‍රී ලංකාව තුළ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. 1977න් පසුව අපි ඩොලර් බිලියනයක වෙළඳ පරතරයක් සහිතවයි ඉදිරියට ආවේ. ඩොලර් බිලියනයක බැංකු අයිරාවක් සහිතව යනකොට කවදා හෝ හිරවීමක් එනවා. පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය ආවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ යහපාලන ආණ්ඩුව වසර හතරහමාරකට සහන කාල නොමැති, 6% – 9% අතර අධික පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ඓSඹ්) ණය, ඩොලර් බිලියන 12.5ක් ගත්තා. ඒ නිසා කවදා හෝ පැමිණීමට තිබූ බරපතළ ආර්ථික අර්බුදය කලින්ම ආවා. ඒක තමයි මම කියන්නේ, ‘සීතල වතුර නෑවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා, හෙම්බිරිස්සාව හැදුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට’ කියා. කිවිසුම දෙක යනකොට අපි කිව්වා, ‘පෙර ක්‍රියාමාර්ග ගනිමු! ජනතාව මේ අර්බුදය පිළිබඳව දැනුම්වත් කරමු! මේ අවස්ථාව ජාතියක් ලෙස නැඟීසිටීමේ අවස්ථාවක් බවට පෙරළමු!’ කියා. නමුත් ඇහුවේ නැහැ. අවසානයේදී එතුමාට තනතුර දමා පලා යෑමට සිදුවුණා.

අපේ විදේශ විනිමය වෙන රටවල ‘පාක්’ කිරීම

දැන් ඒ අධික ණය කන්දරාවත් සමග පැමිණි අර්බුදයට අපි මුහුණ දීලා ඉන්නේ. ඊළඟට තිබෙන ප්‍රශ්නය තමයි ‘මේ අර්බුදය ආවාට පසුව අපි එයට මුහුණ දෙන්නෙ නිවැරදිව ද?’ කියන එක. උදය ගම්මන්පිල මැතිතුමා පෙන්වා දුන්නා, 1991දී ඉන්දියාව මෙවැනිම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා එය හොඳින් කළමනාකරණය කරගෙන ලොව ආර්ථික බලවතකු බවට පත් වූ ආකාරය. ටාටා බස් එක ශ්‍රී ලංකාවේ වික්කොත් ඒ මුදල් ටික ඩොලර් කරලා, මාස තුනක් ඇතුළත ඉන්දියාවට රැගෙන යෑම අනිවාර්යයි. ඒ මුදල් වෙන වෙන රටවල ‘පාක්’ කරලා, සෙල්ලම් කරන්න ඉඩ නැහැ අර්බුදයට ප්‍රශස්ත ලෙස මුහුණ දීලා ඉන්දියාව අද හිටපු තැනට වඩා ඉහළට පැමිණ තිබෙනවා. අපේ රටේ අද වෙන්නේ ‘අම්මාගේ මෘතදේහය ගෙදර සාලයේ තබාගෙන බූරුවා ගහනවා’ වගේ වැඩක්. ප්‍රශස්ත උපායමාර්ගික මැදිහත්වීමක් තබා අඩුම තරමින් විදේශ විනිමය පනත සංශෝධනයටවත් අත තබලා නැහැ. මීට මාස හයකට පමණ පෙර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ ‘මිනි බජට් එකේ’ සඳහන් වෙනවා, තමන් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන අණපනත් ගැන. එහි තිබෙනවා, විදේශ විනිමය පනත. නමුත් ඒකට අදටත් අත තබලා නැහැ.

‘ඩොලර් බිලියන 35ක් රටින් පිට’

මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ. මේ රටට අයිති, මේ රටේ නිෂ්පාදන විදේශ වෙළඳපළ තුළ අලෙවි කරලා උපයපු ඒ මුදල් මේ රටට ඇවිත් නැහැ. ඒවා රට තුළට ගෙනඒමට පියවර නොගෙන මේ පාලකයන් කළු සල්ලි වෙළඳපොළට වැඩෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. අද ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරන ප්‍රධානතම ‘හබ් එක’ බවට පත් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් හොයන සල්ලි සුදු කරන ප්‍රධානතම තිප්පොළ බවට අද අපේ රට පත්ව තිබෙනවා. ඒ කළු සල්ලි මාෆියාවට වැට බඳින්නේ නැහැ. ඉතින් කොහොමද මේ අර්බුදයෙන් එළියට එන්නේ?

‘පාසල් නොයා ගෙදර හිටපල්ලා’

රවි කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස 2017දී ගෙන ආ විදේශ විනිමය පනත මගින්, එතෙක් පැවති මෙරට නිෂ්පාදකයකු අපනයනයෙන් උපයන මුදල් මාස තුනක් ඇතුළත රට තුළට ගෙන ඒම, එසේ නොකළොත් එය අපරාධ වරදක් ලෙස සැලකීම යන නීතිය අහෝසි වුණා. අපි කියන්නේ ඒ පැවැති තත්ත්වය යළි ඇති කරන්න කියලයි. පැවති නීතිය ගෙනාවොත් මහා පරිමාණ ජාවාරම්කරුවන්ටයි ප්‍රශ්නයක් වෙන්නේ. එයාලාට අත තියන්නෙ නැහැ . අර්බුදයෙන් ගොඩඑන්න බලන්නෙ පොඩි මිනිහාට බර පටවලා. කොපි පොත, පාසල් බෑගය, සපත්තු කුට්ටම අද මිල දී ගන්න බැරි මිලකට යනවා. ‘පාසල් නොයා ගෙදර හිටපල්ලා’ කියන පණිවිඩයයි මේ දෙමින් ඇත්තේ.

‘අසමාන ප්‍රතිපත්තිය මත යන පාලනය’

අපි දන්නවා, මේ රටේ රබර් ගොවියාගේ රබර් කිරි ටිකට ලැබෙන මිල හොඳටම පහළ වැටිලා, කියලා. ඒකට හේතුව තමයි පසුගිය කාලයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු ‘ආටිෆිෂල් ඉන්ටලිජන්ස්’ ගැන කතා කරන මන්ත්‍රීවරයෙක්, ව්‍යාපාරිකයෙක් අවුරුද්දකට සරිලන රබර් කිරි මැලේසියාවෙන් ආනයනය කිරීම. අවුරුද්දකට රබර් කිරි ගෙනැල්ලා ගොඩගහන්න කොහෙන්ද ඩොලර්? ඒකට තියෙන ඩොලර් ඉස්පිරිතාලෙ බෙහෙත් ටික ගෙන එන්න නැත්තේ ඇයි? මෙන්න මේ අසමාන ප්‍රතිපත්තිය තමයි මේ පාලනය ඉදිරියට ගෙනයමින් තියෙන්නේ. ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත් සුපුරුදු තක්කඩිකමින් වෙනසකින් තොරව පාලකයන් ඉදිරියට යනවා නම් එය තවදුරටත් ඉවසිය යුතු නැහැ.

‘මුට්ටිය දමපු හැටි’

අපේ ඉතිහාස කතාවම අභියෝගවලින් සපිරි එකක්. ථේරවාදී බුදු දහම, සිංහල භාෂාව හා බැදුණු සංස්කෘතිය, ඒ මුදුන් මුල ගලවා දමන්න මෙරටට පැමිණි කවර ආක්‍රමණිකයකුට හෝ නොහැකි වුණා. අද මේ අර්බුදය පාවිච්චි කරලා ඒ මුදුන් මුලටත් ගහනවා. ඒ එසේම සාමාන්‍ය කාලයකදී කිරීමට බැරි වුණු වැඩ ටික කරගන්නත් මේ අර්බුදය යොදාගන්නවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වාසුදේව නානායක්කාර මැතිතුමා උසාවි ගිහිල්ලා යළි දිනාගත්තු සම්පතක්. එය අදටත් ලාභ ලබන රාජ්‍ය ආයතනයක්. වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා, ‘මට ඔය ගොඩනැගිලි, ආයතන වැදගත් නැහැ.මම බලන්නේ කුස්සිය ගැන. ඒවා විකුණලා ඩොලර් බිලියන 03ක් විතර විදේශ විනිමය සංචිතයට දමා ගත්තාම මට ඒ ඇති’ කියලා. දැන් කල්පනා කරලා බලන්න, මුලින් කිව්වේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලා ද? ‘මුට්ටිය දාලා බැලුවේ’ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කියමින්. එහෙම කීවාම ජනතාවත් අහගෙන ඉන්නවා. දැන් කතාව ලාභ ලබන ඒවා ගැන. නමුත් පාඩු ලබන රාජ්‍ය ආයතන හෝ විකුණා දැමිය යුතු නැහැ.

‘අබලි යකඩවලටත්’ පණ දුන්නා’

අබලි යකඩවලට විකුණන්න අමාත්‍ය මණ්ඩල තීන්දුවක් පවා අරගෙන තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ එදා එක යන්ත්‍රයක් පණ ගන්වලා, අද ලොතරැයියට අවශ්‍ය කඩදාසි මුද්‍රණය කරන තැනට, මිලියන ගණනින් ආදායම් උපයන තැනට,150කට අධික සිංහල, දෙමළ, මුස්ලිම් සේවකයින් පිරිසක් නඩත්තු කරන තැනට ගෙන ඒමට පුළුවන් වුණා. විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ කඩදාසි, ඇණවුම ලැබී ඇත්තේ ද එම කම්හලටයි. එමගින් අපි පෙන්නලා නැද්ද මහත්වරුනි, ‘අබලි යකඩවලට විකිණීමට තීරණය කර තිබූ වාලච්චේන කම්හලට පණ දුන්නා නම් පාඩු ලබන රාජ්‍ය ආයතනවලට පණ දීම මහා කෙළියක් නොවෙයි’ කියා. දැන් කතාව පාඩු ලබන ඒවා ගැන නොවෙයි. ලාභ ලබන රාජ්‍ය ආයතන පිළිබඳව. ඒවා ඩොලර්වලට විකුණන්නයි යන්නේ. ඒක තමයි විදේශීකරණය.

‘එදත් කළේ බොරුව’

විදුලිබල මණ්ඩලයට ඒ අස්සෙ කරන්න යන්නේ කුමක්ද? නොරොච්චෝලේ වෙනම විකුණනවා. ලක්ෂපාන බලාගාරය වෙනම විකුණනවා. ජල විදුලි බලාගාර කියන්නේ පාඩු ලබන ඒවා ද? මේක පුදුම ආර්ථික විද්‍යාවක්නෙ. මේ සියල්ල විකුණලා විදේශ විනිමය සංචිතය පුරවාගන්නයි හදන්නේ. මෙහෙම කරලා ඩොලර් බිලියන 03 – 04ක් සංචිතයට ගෙනැල්ලා, ‘ණය ගෙවාගත හැකිය’ යන ලේබලය ගහගෙන යළිත් ‘ණය අරගෙන – සැපට කකා ඉන්නයි’ හදන්නේ. මෙතැනදී සිහිපත් වෙන කරුණක් තිබෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බන්තොට වරාය විකුණන කොට කියපු කතාව. ‘හම්බන්තොට වරාය හදන්න ගත්තු ණය, විකුණපු මුදලින් පියවනවා. එතකොට ඒ ණය බර නැති වෙනවා’ කිව්වා. ඒ ණය පියෙව්වා ද ? නැහැ. අදත් වරාය අධිකාරිය හම්බන්තොට වරාය හදන්න ගත්තු ණය මුදල ගෙවමින් සිටිනවා. හම්බන්තොට වරාය අවුරුදු 99කට විකුණලා ලැබුණු ‘පිච්චිය’ ඒ ණය ගෙවන්න පාවිච්චි කරලා නැහැ. එදත් කළේ බොරුව. සාමාන්‍ය තත්වයක් යටතේ මහජනයා, වෘත්තීය සමිති විරුද්ධ වෙන දේවල් කරන්න කාලය ඇවිල්ලා, කියලයි මේ උන්නැහේ හිතන්නේ. මේ තමයි රනිල් වික්‍රමසිංහ මහතා අනුදත් ආර්ථික මොඩලය. ඒ මොඩලයට මේ විපතින් ගොඩඒමට බැහැ.ආපු පාරෙමයි තවදුරටත් යන්න හදන්නේ. ආපු පාරේ වැරැද්ද නිසයි මේ තත්ත්වයට වැටුණේ.

එක රටක් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති වුණොත්…

දැන් බලන්න ආජන්ටිනාවේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වුණේ 1988දී. තවමත් ඔවුන්ට ඉන් ගොඩඒමට බැරිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ඔය ‘ණය ප්‍රතිව්‍යුහගත කිරීම’ කියන එක කරලා ගොඩගියපු රටවල් ඇත්තේ ඉතාම ටිකයි. විශේෂයෙන් අපේ සමස්ත ණය ප්‍රමාණයෙන්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය 40%ක් පමණ වෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ ඉතාම දුෂ්කර කටයුත්තක්. දැන් මේ විදිහට ගිහින් එක රටක් හෝ ආයතනයක් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති වුණොත් අපට IMF එකෙන් වාර හතරකට ලැබෙනවා කියන ඩොලර් බිලියන 2.9වත් ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගිහිල්ලා එහෙම වුණොත් මේ අයට උත්තර තිබෙනවාද? නැහැ.

යුරෝපය දිහා බලාගෙන ආපු ගමන

යුරෝපයේ ජීවන රටාව දිහා බලාගෙනයි මෙතෙක් කලක් ලෝකය ගමන් කළේ. නමුත් ඒ යුරෝපය තමන් අනුගමනය කරනු ලැබූ සංවර්ධන මොඩලය විසින්ම අර්බුද ගණනාවකට ඇද දමා ඇති මොහොතක් තමයි උදා වී ඇත්තේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා ‘දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මිනිස් වර්ගයා මුහුණ දෙන අසීරුතම දශකයට තමයි අපි මුහුණ දෙන්නෙ’ කියලා. ලබන අවුරුද්දේ ජනවාරි වන විට මුළුමහත් ලෝකයම තිරිඟු පිටි හිඟයකින් සලිත වීමට පටන් ගනීවි. වැඩිම තිරිඟු පිටි නිපදවන්නා යුක්රේනය හා රුසියාව. යුක්රේනයේ තිරිඟු පිටි ටික එළියට යන්නේ නැහැ. රුසියාව තිරිඟු පිටි ටික එළියට දෙන්නේ නැහැ, තමන්ගේ පරිභෝජනයට ගබඩා කරගන්නවා. ඉන්දියාවත් රුසියාව පරිදිමයි. මේ ශීත කාලයෙන් පසු යුරෝපයේ ජනතාව විශාල අර්බුදයකට පත් වේවි. අවුරුදු 100ක් පමණ යුරෝපය දිහා බලාගෙන මුළුමහත් ලෝකයට ආපු ගමන ප්‍රශ්න කෙරේවි.

12 වැදෑරුම් යෝජනාවලියක්!

අපේ රට හදන්න ඕනේ, යුරෝපයේ ජීවන රටාව අනුකරණය කිරීමට නොවෙයි. අපට අනන්‍ය ජීවන රටාවක් ගොඩනගාගන්න අපට පුළුවන්. දේශීය නිෂ්පාදන මත රඳා පවතින පරිභෝජන රටාවකට අපට යන්න පුළුවන්. අපේ පක්ෂ විඥානය, ජාතිකත්ව විඥානය අභිබවා ජාතික විඥානයට මේ රටේ මුළුමහත් ජනී ජනයා ගන්න පුළුවන්; මේ අර්බුදයට කෙටිකාලීන ‘චූන් පාන්’ විසඳුම් ඉල්ලුවාට කාටවත් ඒවා ලැබෙන්නේ නැහැ. අපට මුහුණ දීමට සිදු වෙලා තිබෙන්නේ නිර්දය ඇත්තකට. එක පැත්තකින් කෙටිකාලීනව මේ අර්බුදය විසඳාගැනීම සඳහා වන 12 වැදෑරුම් යෝජනාවලියක් අපි අද ජනගත කළා. අපි අද ජනගත කළ මේ 12 වැදෑරුම් යෝජනාවලිය හෝ ක්‍රියාවට නැඟූවොත් වික්‍රමසිංහ මහතාට තවදුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. මේ ටිකවත් ඉටු නොකළහොත් ‘යන්න’ කියන්න සදාචාරාත්මක අයිතිය තමයි ජනතාවට ලැබෙන්නේ.

‘ප්‍රමාද ගාස්තු’ ජාවාරම

මේ විපත එකඑකාගේ සාක්කු පුරවාගන්න යොදාගන්නා නිදසුන් මේ දැනුත් අසන්න ලැබෙනවා. ‘නැව් ප්‍රමාද ගාස්තු’ ගැන කතා ගොඩක් ඇහෙනවා. සමහර නැව්වලට ඩොලර් ගෙවීම ප්‍රමාද කරන්නේ ඇත්තටම ඩොලර් නැති නිසා ද? ප්‍රමාද ගාස්තුව 40% – 60% අනුපාතයට බෙදාගන්නා නිසා ද? 40% නැවට, 60% මෙහෙට. මම ඒකයි කිව්වේ ‘මෙයාලා අම්මාගෙ මිනිය සාලෙ තියාගෙන බූරුවා ගහනවා’ කියලා. එවැනි අශ්ලීල නායකත්වයකට මෙවැනි තීරණාත්මක අවධියක් පසු කිරීමට බැහැ. අද මහජනයා සමඟ බද්ධ වූ මහජන ක්‍රියාන්විතයක් තුළයි මේ අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ.

මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ අනාගත අභිලාෂයන් ඉටු කිරීමට පුළුවන් නව සංවර්ධන මොඩලයක් ඔස්සේ මේ රට ඉදිරියට රැගෙන යාමටයි උත්තර ලංකා සභාගය අපි බිහි කරන්නේ. ඒ සංවාදය, සාකච්ඡාව අපි බලගන්වමු! මේ වැරදි, ආර්ථික මොඩලයෙන් අපි එළියට එමු! විකුණන් කෑම වෙනුවට මේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන බලසම්පන්න කරන දිශාවට මේ රට රැගෙන යමු! ඒ සඳහා අත්වැල් බැඳ ගැනීමට ඔබ සැමට ධෛර්යය ලැබේවා! ශක්තිය ලැබේවා!”

මෙම දැවැන්ත මහජන සමුළුවේ අරමුණු පැහැදිලි කිරීම උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ මහතා විසින් සිදු කරන ලද අතර දමිල බසින් සමුළුව ඇමතීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තීය සමිති නායක අම්මාන් නල්ලුසාමි මහතා සිදු කළේය.

මේ මොහොතේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු මූලික වගකීම් ලෙස උත්තර ලංකා සභාගය විසින් හඳුනාගත් “විදේශ විනිමය කළු වෙළඳපළ පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම; අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය පවත්වාගෙන යාම සහ මිල ස්ථායිතාව සහතික කිරීම; දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සහ ආරක්ෂා කිරීම; අත්‍යවශ්‍ය ආනයන වියදම් සඳහා විදේශ විනිමය ලැබීම් සහතික කිරීම; කුඩා නිෂ්පාදකයා සහ රැකියා වියුක්ත සහ අර්ධ රැකියා නියුක්ත තරුණ පරපුර ඇතුළු බහුතර ජනතාවට ආර්ථික ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීම මගින් ආර්ථික වර්ධනය අත්පත්කර ගැනීම සඳහා ආර්ථික මොඩලය තුළ පරිවර්තනයක් සිදුකිරීම; රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම; රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම; බදු බර අසාධාරණ ලෙස සහ අවිචාරවත් ලෙස ජනතාව මත පැටවීම වෙනුවට බදු අයකිරීමේ යාන්ත්‍රණවල ප්‍රතිඵලදායකත්වය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම; රාජ්‍ය පාලනයට අදාළව මහජන විශ්වාසය තහවුරු කිරීම මගින් අර්බුදයෙන් ගොඩඒම සඳහා මහජන සහාය ලබා ගැනීම සහ රාජ්‍යයේ ස්වෛරීත්වයට එරෙහිව දියත් වන බාහිර කුමන්ත්‍රණ පරාජය කිරීම; IMF වන්දනාව වෙනුවට වාණිජ ණය තොගය විකිණීම සඳහා මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීම; අර්බුදය මුවාවෙන් ජාතික සම්පත් කොල්ලයකට ඉඩ ලබා නොදීම;” යන කරුණු මුල් කොට ගත් දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම එම සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සිදු කළේය.

එසේම පුළුල් ජාතික පෙරමුණකට ඇරයුම් කෙරෙන යෝජනාවක් මෙම මහජන සමුළුවේදී ජනගත කෙරුණු අතර එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ උත්තර ලංකා සභාගයේ ජාතික විධායක කමිටු සාමාජික ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසිනි.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි ද අදහස් දක්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022.11.20

 

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author

Leave a Reply

*