BREAKING NEWS

“ඊනියා “ප්‍රේමයේ විප්ලවයේ” නවතම ගොදුර ශ්‍රී ලංකාවයි” – ජානිපෙ නායක විමල් වීරවංශවීඩියෝ 

පසුගිය බ්‍රහස්පතින්දා(18) ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන උත්සවයකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියන ලද “නවය: සැඟවුණු කතාව’ විමර්ශනාත්මක ග්‍රන්ථය ලිවීමට හේතු පාදක වූ සන්දර්භය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාවක් ලැබිණි. ශ්‍රී ලංකාවේ ගරු ඉරාන තානාපති Hashem Ashjazadeh මහතාගේ මුලසුනෙන් යුතුව ඉහත දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 07:00ට වෙබිනා දේශනයක් ලෙස විමල් වීරවංශ මහතා එසේ කරුණු දක්වනු ලැබීය. වෙබිනාව මෙහෙයවීම මෙරට ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශයේ ප්‍රධානියා විසින් සිදු කරනු ලැබීය.

ඉංග්‍රීසි බසින් සිදු කළ එම දේශනයේ සිංහල පරිවර්තනය පහත පරිදි වේ.

“ශ්‍රී ලංකාවේ ගරු ඉරාන තානාපති Hashem Ashjazadeh මහතා ඇතුළු මෙම වෙබිනාවට රැස්ව සිටින සියලුම සම්භාවනීය ආරාධිත මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. 2022 වසරේ ශ්‍රී ලංකාව පුරා හමාගිය දේශපාලන සුළි කුනාටුවේ තීරණාත්මක මංසන්ධීන් වන මැයි 09 සහ ජූලි 09 අතර වූ කාලය තුළ සිදු වූ සිද්ධීන් තුළ වන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුම ශ්‍රී ලාංකික ජනයාට හෙළිදරව් කිරීමේ මූලික වුවමනාව හේතුවෙන් අප මෙම ‘නවය: සැඟවුණු කතාව’ ග්‍රන්ථය එළිදක්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවට එහි පිහිටීම නිසාම භූ දේශපාලනය තුළ අද්විතීය ස්ථානයක් හිමිව තිබෙනවා. එලෙසම ආසියාවේ දොරටුව ලෙස ලෝක ජනයා අපව හඳුන්වන්නේ ආසියාවේ දැවැන්ත උපායමාර්ගික බල අරගලයේ මුවදොර ශ්‍රී ලංකාව වන නිසාමයි. නමුත් ඊනියා අරගලය උත්සන්න වෙමින් පවතින කාලය තුළ ශ්‍රී ලංකාව වර්ෂ 1977න් පසුව අනුගමනය කළ ණය මත පදනම් වූ ආර්ථික ක්‍රියාදාමය විසින් එහි ආර්ථික දේහය බරපතල ගරා වැටීමකට ලක් වෙමින් තිබුණා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා 2022 වර්ෂයේ සැප්තැම්බර් 30 වන දින ඔවුන්ගේ පැරණි සමූහ ආණ්ඩුවට අයත් ප්‍රදේශවල ජනයා රුසියාවට එක් වීමට ජනමත විචාරණයකින් කැමැත්ත පළ කළ පසු ඓතිහාසික දේශනයක් කරනු ලැබුවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ අනෙකුත් ජාතීන්ගේ සම්පත් කොල්ලකෑමෙන් තොරව බටහිර ජාතීන්ට පැවතිය නොහැකි බවයි. ඔහු පැහැදිලි කළ සත්‍යය අපේ රට දිනපතා අත්විඳිමින් සිටිනවා.

ලෝක ඉතිහාසයේ රුසියානු විප්ලවය, චීන විප්ලවය, ඉරාන විප්ලවය, කියුබානු විප්ලවය වැනි විප්ලවයන් සමස්ත ලෝකයටම සහ එම රටවල ජනතාවට දැවැන්ත ජයග්‍රහණ අත්කර දුන්නා.

එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් හඳුන්වා දුන් ඊනියා විප්ලවයෙන් අප වැනි රටවල ජනතාව දුක්‌ඛිතභාවයට ඇද දමා තිබෙනවා. ඔවුන් විවිධ නම්වලින් සහ වර්ණවලින් ඊනියා ‘විප්ලවය’ වරගන්වනු ලැබුවා. චෙකොස්ලොවැකියාව, ජෝර්ජියාව, යුක්රේනය, ලිබියාව, ඉරාකය සහ යේමනය වැනි රටවල් එම ඊනියා “ප්‍රේමයේ විප්ලවවලට” උදාහරණ ලෙස දැක්විය හැකිය. ඊනියා “ප්‍රේමයේ විප්ලවයේ” නවතම ගොදුර බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ කුමන්ත‍්‍රණය පිටුපස සිටි විවිධ පුද්ගලයන්ගේ, විවිධ කණ්ඩායම්වල සහ ඇමරිකානු ඔත්තු සේවාවල සම්බන්ධය මම මේ කෘතියෙන් හෙළි කරනවා. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් විසින් එය ‘අරගලයක්’ ලෙස හැඳින්වුවද එය ශ්‍රී ලංකාවේ “පාලන වෙනස් කිරීම” සඳහා නිර්මාණය කරන ලද්දක් පමණයි.
ඊනියා අරගලය සිදු වූයේ පසුගිය රජයන් ස්වෛරීත්ව බැඳුම්කර ලෙස ලබාගත් අතිවිශාල විදේශ ණය ආපසු ගෙවීමට නව රජය මුහුණ දුන් කාලයේමයි. එහෙත් බලයෙන් පහකළ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයට තුඩු දුන් තීරණාත්මක ගැටලු විසඳීමට සම්පූර්ණයෙන්ම අසමත් වූවා.
එසේම, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය නව රජය මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා තවත් තීව්‍ර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළට විදේශ විනිමය ගලා ඒම බරපතළ ලෙස පහත වැටුණා. එමෙන්ම පසුගිය රජය විසින් විදේශ විනිමය පනතට ගෙන ආ සංශෝධන තත්වය තවත් උග්‍ර කිරීමට සමත් වූවා. අපනයනයෙන් උපයන විදේශ විනිමය මෙරටට ගෙන ඒම වෙනුවට වෙනත් රටවල තබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන මෙම සංශෝධනයේ තිබෙනවා. ඒ අනුව නව රජය වැඩිවැඩියෙන් විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නා.
වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය මෙම වර්ධනය වන ප්‍රවණතා ඇමරිකානු මූලෝපායික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පාලනතන්ත්‍රය වෙනස් කිරීමට මෙවලම් ලෙස භාවිතා කිරීමට සමත් වූවා.

අමෙරිකානු රාජ්‍ය පාලනය තුළ රාජ්‍ය තනතුරු ස්ථානගත කිරීමේදී හතරවන ස්ථානයේ තිබෙන තනතුර ලෙස සැලකෙන දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරිය ලෙස වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2021 අප්‍රේල් 29 දින සෙනෙට් සභාව විසින් තහවුරු කරන ලද අතර ඇය 2021 මැයි 03 දින සිට වැඩ ආරම්භ කරනු ලැබුවා. ඇය මෙතරම් කඩිමුඩියේ මෙම තනතුරට පත් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට කියායි අපගේ ගණන් බැලීම.

ගරු තානාපතිතුමනි, නව ලෝක පර්යායක් නිර්මාණය කිරීමේදී රුසියානු සහ චීන මැදිහත්වීම්වල බලපෑම මෙන්ම ඉරානය සහ සෞදි අරාබියේ මිත්‍රත්වය අලුත් කිරීම සඳහා මැදිහත් වෙමින් ආසියානු කලාපය තුළ චීනය විසින් ඉටු කරන ලද කාර්යභාරය ඇමරිකානු ආධිපත්‍ය බල භූමිකාවට තර්ජනයක් බව ඉතා පැහැදිලියි .

ඇමරිකාව මේ වන විට යුක්රේනයේ දියත් කරන ‘නියෝජිත යුද්ධය’ සහ තායිවානය කේන්ද්‍ර කර ගනිමින් චීනය සමඟ අනාගතයේදී පැටලීමට නියමිත යුද්ධය හේතුවෙන් ආසියාවේ දොරටුව ලෙස සැලකෙන අපේ රට ඔවුන්ගේ දඩබිමක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. වික්ටෝරියා නූලන්ඩ් යුක්‍රේනය ජන සංහාරක බිම් කඩක් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් කළ තැනත්තියක්. යුක්‍රේනයේ, ලිබියාවේ සහ විනාශ කර දැමූ වෙනත් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලදී තමා ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනසක් කිරීමට නූලන්ඩ්ගේ මැදිහත් වීම ඉහළ තැනක තිබුණා. නූලන්ඩ්ට සුවිශාල සහයෝගයක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මැතිනිය ලබා දුන්නා. ජූලී චන්ග් මැතිනිය තල කිහිපයක ඇයගේ මැදිහත් වීම කරනු ලැබුවා. මූලිකවම ඇය මෙරට හිටපු ජනාධිපතිවරයාට, කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම වැළැක්වීමට අවශ්‍ය මානසික බාධක පනවනු ලැබුවා. ඊට සමාන්තරව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ නිළධාරින් තමන්ට අවනත වන තත්වයට පත් කරනු ලැබුවා. ඊළඟට නීති ක්ෂේත්‍රයේ ඉහළ සිට පහලට තමන්ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන විශාල පිරිසක් සක්‍රිය කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊළඟට ඇය කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තික ජනයාගේ මනස තමන්ට අවනත ලෙස හැසිරවීමට සියුම් මානසික උපක්‍රම යෙදුවා. එම පිරිස තමයි මුල් වකවානුවේ ‘ගෝල්ෆේස් අරගලකරුවන්ට’, තවත් විදියකින් පැවසුවහොත් අමෙරිකානු උපක්‍රමයට අනුව නැටවෙන ඊනියා අරගලකරුවන් දෙස බලාපොරොත්තු තබා සිටියේ. නමුත් ජුලි චන්ග් මැතිනිය වඩාත්ම ළඟින් මෙහෙය වූ කොටස වූයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, යූ ටියුබර්ස්ලා සහ බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නවුන්වයි. එම පිරිසෙහි සමහරුන් සෘජුවම මුදල් ගෙවා පාලනය කළා. තවත් පිරිසක් මුදල් ගෙවූ පිරිසෙහි ක්‍රියාවන්ගේ උත්තේජනය මත ක්‍රියාත්මක වූවා.

කෙසේ වුවත් යම් පමණකට සාමකාමීව ගෙවුණු ගෝල්ෆේස් අරගලය ප්‍රචණ්ඩ මාවතකට හැරවීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා සමාජය තුළ සිටින ප්‍රචණ්ඩකාරීන් යොදවා ගැනීමට ජුලී චන්ග් මැතිනිය සමත් වුණා. ඒ සඳහා සමහර වාමාංශික පක්ෂවල ක්‍රියාධරයින් සක්‍රිය දායකත්වයක් සැපයූවා.

අප මේ කෘතිය ඉතා ඉක්මනින් ඉංග්‍රීසි, චීන, රුසියානු සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් අපගේ ජාත්‍යන්තර වගකීම ඉටු කිරීමට අප කටයුතු කරනවා.

අවසාන වශයෙන් මට මේ අවස්ඨාව ලබා දුන් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ගරු තානපතිතුමා ඇතුළු මෙම වෙබිනා සමුළුව සංවිධානය කළ සියලුදෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව සමාප්ත කරනවා.

ස්තුතියි.”

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*