BREAKING NEWS

එක්සත් ජනපදය දැල එළන්නේ ශ්‍රී ලංකාව තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට පත්කර ගැනීමටයි- සියලු සැලසුම් හෙළි කරමින් විමල් පෙන්වා දෙයි

එක්සත් ජනපදය දැල එළන්නේ ශ්‍රී ලංකාව තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට පත්කර ගැනීමටයි
– සියලු සැලසුම් හෙළි කරමින් විමල් පෙන්වා දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින්නේ තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට බවත් ඒ සඳහා ඇමෙරිකානු නීතිය යටතේ ක්‍රියාත්මක වන, කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරය යා කරන කිලෝ මීටර් 200ක් දිග, දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන, අක්කර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අයත් වන ආර්ථික පටියක්, ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකානු – ඉන්දීය – ජපන් ආයෝජන කලාපයේ ඉදිවන, ඉන්දීය සාගරයේ නාවික යාත්‍රා සහ සබ්මැරීන සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක්, එහිම සවි කරන අධිබල සම්ප්‍රේෂණ කුළුණක් මෙන්ම ත්‍රිකුණාමල වරාය අසල නවතා තිබෙන ගුවන් යානා 100ක් රඳවා තැබිය හැකි දැවැන්ත ඇමෙරිකානු යුද නැවක් හෙවත් පාවෙන කඳවුරක් යන මෙවලම් මේ වන විට සූදානම් කෙරෙමින් ඇති බවත් මේ බලගතු අධිරාජ්‍යවාදී දැල එළීමට එරෙහි සටන, මේ මොහොතේ සියලු දෑහිතකාමී පිරිස් රට හමුවේ වන කේන්ද්‍රීය සටන යැයි වටහා ගත යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි 30 වැනිදා ‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති ජාතික කතිකාවේ දී විශේෂ දේශනයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සහස්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ රහස්‍ය ලියවිලි රැසක් ද යොදා ගනිමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ මාතෘභූමිය එහි මෑත ඉතිහාසයේ තියුණු අභියෝග සමුදායකට මුහුණ දෙමින් සිටින මොහොතක, ඒ අභියෝග සහ ඒ හා බැඳුණු අන්තරාය පිළිබඳව අදහස් උදහස් බෙදාහදා ගැනීම පිණිස පැමිණි ඔබ සියලුදෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා.

මේ එළඹ ඇති 2019 වසර කියන්නේ අපේ මාතෘභූමිය බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදවා ලැබූ ජයග්‍රහණයට වසර 10ක් සපිරෙන වසරයි. ඒ මහා ජයග්‍රහණය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ලබා දීමට අපේ වීරෝදාර රණවිරුවන් දසදහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළා. මේ, ඒ දස වසර දෙස ආපසු හැරී බලා, ‘රට පැමිණ තිබෙන්නේ කොතැනකට ද? රට ගෙන යමින් තිබෙන්නේ කොතැනකට ද? රට ගෙන යා යුත්තේ කොතැනකට ද? යන ස්වරූප තුනකින් යුතු එකම ප්‍රශ්නයට අප පිළිතුරු සෙවිය යුතු මොහොතක්.

‘අපේ ජාතික රාජ්‍යයේ වැදගත්කම’

දුටුගැමුණු, කීර්ති විජයබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් මේ ජාතික රාජ්‍යය රැක ගැනීම සඳහා කළ සටන් අපේ ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී තිබෙනවා. එසේම පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණවලට එරෙහිව ද අපේ මුතුන්මිත්තන් වසර 500ක් පුරා සටන් වැදුණා. ඔවුන් සටන් වැදුණේ වෙනත් ජාතික රාජ්‍යයන් යටත් කර ගැනීමට නොවෙයි. තම ජාතික රාජ්‍යය ආක්‍රමණිකයාගෙන් නිදහස් කර ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණා. තම ජාතික රාජ්‍යය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීමට සෑම ජාතික රාජ්‍යයකම ජනතාවට සිතෙනවා ද? දිවි පුදා හෝ තම ජාතික රාජ්‍යය රැක ගත යුතුයි කියා සිතෙන්නේ ඊට ඓතිහාසික සුවිශේෂී වැදගත්කමක් ඇත්නම් පමණයි. අපේ ජාතික රාජ්‍යයට ඒ වැදගත්කම තිබුණා.

ඉන්දියානු ඉතිහාසඥයන් පෙන්වා දෙන ආකාරයට බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ ක්‍රිස්තු පූර්ව 5 – 6 සියවස් තරම් ඈතට දිවෙන ඉතිහාසය තුළ පවා මෙරට ජනතාවට බ්‍රාහ්මී අක්ෂර නම් වූ අක්ෂර මාලාවක් තිබුණා. ඔවුන් ඒ හා බැඳුණු නිශ්චිත භාෂාවකින් තමන්ගේ අදහස් හුවමාරු කර ගත්තා. ලෝකයේ කවර ජාතික රාජ්‍යයකින්වත් අප රටේ තරම් සෙල් ලිපි හමු වී නැහැ. නීතිය, බදු ක්‍රම, ප්‍රදානයන් ආදී සියල්ල පිළිබඳ ලියැවුණු සෙල් ලිපි තිබීමෙන් පෙනී යන්නේ ඒ යුගයේ අපේ මුතුන්මිත්තන්ට බලවත් සාක්ෂරතාවක් පැවති බවයි.

‘ඉහළ සෞඛ්‍ය සේවාවක්’

මැදිරිගිරිය අභිලේඛනයෙන් හෙළි වන්නේ දහවන සියවස වන විට මෙරට විධිමත් සෞඛ්‍ය සේවා ක්‍රමයක් පැවැති බවයි. ඊට පෙර වූ වකවානුවට වඩා මෙම කාලයේ දී ඉහළ සෞඛ්‍ය සේවාවක් භුක්ති විඳීමට මෙරට ජනතාවට හැකි වූ බව එහි සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස – ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස අතර ලියැවී ඇති ලෙන් ලිපි කිහිපයක එම කාලය තුළ විසූ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන්ව තිබෙනවා. ගාමිණි තිස්ස මහරජුගේ වෛද්‍යවරයකු වූ බ්‍රාහ්මණ ශෝභූති සහ සාමාන්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකු වූ තිස්ස සහ මිත්‍ර යන අයගේ නම් ඒවායේ සඳහන් වෙනවා. ‘කිරිබත් වෙහෙර’ ටැම් ලිපියෙන් අනාවරණය කෙරී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 898 – 915 අතර රජකම් කළ IV කාශ්‍යප රජුගේ නියෝග අනුව, රජුගේ පවා බලපෑමෙන් තොරව ස්වාධීනව තම ආරෝග්‍යශාලා පාලනයට, අදාළ වෛද්‍ය ආයතනයට ඉඩ දී ඇති බවයි. මෙවැනි සෙල් ලිපි, ටැම් ලිපි විශාල ප්‍රමාණයක් ක්‍රිස්තු පූර්ව 3 සියවස – ක්‍රිස්තු පූර්ව 1 සියවස දක්වා පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ එදා ජනතාවගේ ඉහළ සාක්ෂරතාව, අධ්‍යාපන හැකියාව හා රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය විධිමත් සෞඛ්‍ය සේවාවක් අපේ ජාතික රාජ්‍යය සතු වූ බව නොවේ ද?

‘ඔබ හරිම වාසනාවන්තයි’

මට මේ මොහොතේ දී ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් මෑතකදී කර තිබූ ප්‍රකාශයක් සිහියට එනවා. ඔහු පවසා තිබුණේ ‘බි්‍රතාන්‍යයේ පැවති කටහඬ ප්‍රවර්ධනය පිළිබඳ වැඩමුළුවකට මා මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිණී අනෝජා වීරසිංහ මහත්මිය ද සහභාගි වුණා. එම වැඩමුළුව ආරම්භයේදීම ඒ වැඩමුළුව මෙහෙයවූ මහාචාර්යවරයා එක්තරා රටක අක්ෂර මාලාවක් සහිත පුවරුවක් එල්ලනු ලැබුවා. ඉන්පසු ඔහු පැවසුවා, කටහඬ හොඳින් ප්‍රවර්ධනය කර ගැනීමට නම් මේ අක්ෂර මාලාව හොඳින් උච්චාරණය කිරීමට පුරුදු විය යුතුයි කියා. එහිදී අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවා, සර් මේ මගේ මව් භාෂාවේ අක්ෂර මාලාව කියා. එවිට ඒ මහාචාර්යතුමන් පැවසුවා, ඔබ හරිම වාසනාවන්තයි කියා’ යනුවෙනුයි. අපේ භාෂාව අපේ ඇතමුන්ට නම් වැදගත් නැහැ. පිටරටක දී අපේ දෙදෙනකු හමු වුණාම ඔවුන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් ඉන්දියානුවන් ඇතුළු බොහෝ ජාතීන් එසේ නැහැ. ඔවුන් තම රටේ අයකු පිටරටක දී මුණගැහුණාම කතා කරන්නේ තම මව් භාෂාවෙන්. අපේ අක්ෂර මාලාව තුළ ශබ්දයේ ඉතා සුළු වෙනසකට පවා නියමිත අක්ෂරයක් තිබෙනවා ‘ඇ’ ශබ්දයට අක්ෂරයක් ඇත්තේ අපේ භාෂාවෙහි සහ බෙංගාලි භාෂාවෙහි පමණයි.

‘රජුට ඉහළින් ධර්මය’

මෙවැනි ඉතිහාසයක් අපේ පුරාණ රජවරුන් අතින් බිහි වුණේ කොහොම ද? බුද්ධ චීවරය හමුවේ නැගිටින රජකු මිස ඔටුන්න පැලඳ වූ රජු ඉදිරියේ නැගී සිටින භික්ෂූන් වහන්සේ නමක් නොවෙයි මේ පොළොවේ සිටියේ. භික්ෂූන් වහන්සේ ඉහළින් තැබීමෙන් නිරූපනය වුණේ රජුට ඉහළින් ධර්මය පැවති බවයි. ඒ ධර්මය රජුව පාලනය කළා. බුදුන් වහන්සේ සිය දේශනා මගින් මිනිසාගේ අයිතිවාසිකම්වවලට ගරු කළ යුතු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස යහපත් සමාජයක් ගොඩනැගෙන බවත් පෙන්වා දුන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තරම් ඈත අතීතයේදීයි. උන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය මගින් සේව්‍ය – සේවක දෙපාර්ශ්වය අතර මෙම අයිතිවාසිකම් හා යුතුකම් බලපැවැත්වෙන ආකාරය පෙන්වා දී ඇත්තේ මෙසේය.

“ගැහැව් පුත, කරුණු පසෙකින් ස්වාමියා විසින් යට දිශාව යැයි කියන ලද දැසි දස් කම්කරුවෝ උවටැන් කළ යුතු ය. ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්මාන්ත විධාන කිරීමෙන් ද බත් වැටුප් දීමෙන් ද ගිලන් වූ කල ඔවුනට නිසි උපස්ථාන යොදාලීමෙන් ද මිහිරි රස බොජුන් (තමා හුදෙකලාව නොවලදා) ඔවුනටත් දීමෙන් ද සුදුසු කාලයන්හි දී ඔවුන් වැඩෙන් මුදා හැරීමෙන් ද යන පසිනි. ගැහැව් පුත, මේ කරුණු පසින් ස්වාමියා විසින් යට දෙස යයි කියන ලද දැසි දස් කඹුරෝ උවටැන් කරන ලද්දහු මේ කරුණු පසෙකින් ස්වාමියාට අනුග්‍රහ කරත්. ස්වාමියාට පළමුවෙන්ම නැඟී සිටින්නහු ද වෙත්. (කිසිත් සොරා නොගත්තහු) ස්වාමියා දුන් දැයම ගන්නා සුළු වෙත්. ස්වාමියාගේ ගුණ කතාව පතුරුවන්නාහු ද වෙත්. ගැහැව් පුත, මේ පස් කරුණින් ස්වාමියා විසින් යට දෙස නැමැති දැසි දස් කඹුරෝ උවටැන් කරනු ලැබුවාහු. පසුව යට කී කරුණු පසින් ස්වාමියාට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ යට දෙස නිරුපද්‍රිත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි”

යුරෝපා ජාතිකයන් කොළ අතු ඇඳගෙන සිටින යුගයකයි බුදුන් වහන්සේ සිය ධර්මය මගින් මානව අයිතිවාසිකම් පිළිබඳව දේශනා කරනු ලැබුවේ. එවැනි උතුම් ධර්මයක් මගින් අපේ රජවරුන් පාලනය වූවා, ශික්ෂණය කරනු ලැබුවා. අපේ ජාතික රාජ්‍යය කියන්නේ එවන් ධර්මයකින් ශික්ෂණය ලබා එම ධර්මය රැකගත් ජාතික රාජ්‍යයයි. එවන් ඓතිහාසික සුවිශේෂතාවක් තිබෙන නිසයි දිවි දී හෝ මේ ජාතික රාජ්‍යය රැක ගැනීමට එහි වැසියන් පෙළඹෙන්නේ.

බෞද්ධ දර්ශනය හා එය විසින් බිහි කරන ලද සභ්‍යත්වය මිනිස් චින්තන පරිණාමයේ උසස් ස්ථානයක් ගත් බව භෞතිකවාදී චින්තකයකු වූ ෆෙඞ්රික් එංගල්ස් ‘සොබාදහමේ දයලෙක්තිය’ නම් වූ කෘතියෙන් පෙන්වා දී තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘බුදු සමය හා සමාජ දර්ශනය’ කෘතිය එංගල්ස්ගේ ඉහත කෘතියෙහි දැක්වෙන එම අදහස් උපුටා දක්වා ඇත්තේ මෙසේයි.

‘න්‍යාය භෞතික චින්තනය පහළ විය හැක්කේ සංඥා විඥාන ආදියෙහි තතු සොයන්නට වීමෙන් පසු ය. එහෙයින් ඒ චින්තන විධිය පහල වූයේ මනුෂ්‍යයා බෞද්ධයන් හා ග්‍රීකයන් සේ උසස් තැන් තෙක් දියුණු වුණු අවධියක ය.’

මේ සියලු කරුණු අනුව ඒ ධර්මය රැක්ක රට වෙනුවෙන් සටන් කරන ආවේගයක් ඉතිහාසයේ පටන් මේ පොළොවේ තිබුණා. ඉන්දියානු ඉතිහාසඥයන් කියනවා, ‘කීර්ති විජයබාහු නරපතියා නොවුණා නම් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්, කොලනියක්’ කියා. කීර්ති කුමාරයා වසර විස්සක් පුරා අනේකවිද දුෂ්කරතා මැද සේනා සංවිධානය කරලා ඉන්දුනීසියාව දක්වා විහිදී තිබුණු බලසම්පන්න චෝල අධිරාජ්‍යයට පහර දී මේ මව් පොළොව බේරාගත්තා. කීර්ති කුමාරයාගේ ඒ මහා කැපවීම නොවුණා නම් අද මේ පොළොවේ මේ ධර්මය, මේ භාෂාව, මේ අනන්‍යතාව, මේ සංහිඳියාව යන කිසිවක් ඉතිරි නොවන්නට ඉඩ තිබුණා.

‘මහා සංස්කෘතියක බලය – සාමූහිකත්වයේ බලය’

පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් මේ පොළොවේ අවුරුදු පන්සියයක් හිටියත් ඔවුන්ට තමන්ගේ ආගම හෝ භාෂාව මේ රටේ පැලපදියම් කරන්න බැරි වුණා. පෘතුගීසීන් ලතින් ඇමරිකාවේ හිටියේ අවුරුදු 20යි. ස්පාඤ්ඤ භාෂාව හා ආගම ලතින් ඇමරිකාව තුළ පැලපදියම් කළා. එහෙම වුණේ මේ යුරෝපා ජාතිකයන් මේ පොළොව ආක්‍රමණය කරන විට එකම භාෂාවක්, එකම ආගමක් හා එකම සංස්කෘතියක් මෙහි ස්ථාපිතව තිබූ නිසයි. එවිට යමක් කරන්න, ගහලා වට්ටන්න අමාරුයි. ලතින් ඇමරිකාවට පෘතුගීසීන් යනවිට එහි ආගම් ගොඩක්, භාෂා ගොඩක් තිබුණා. මේ මහ පොළොවට තිබුණේ ඒ වෙනුවෙන් දිවි දීමට පැමිණි මිනිසුන්ගේ බලය පමණක් නොවෙයි. ඒ මිනිසුන් හා බැඳුණු මහා සංස්කෘතියෙහි බලය, ඒ මහා සංස්කෘතිය මත ගොඩනැගුණු සාමූහිකත්වයේ බලය යන සියල්ල ඊට තිබුණා. ඒ නිසා ඉන්දියානු ආක්‍රමණිකයාට වගේම යුරෝපා ආක්‍රමණිකයාටත් මේ රට ගිල ගැනීමට නොහැකි වුණා.

වහල් හිමි සමාජයක් හෝ වැඩවසම් සමාජයක් හෝ මේ පොළොවේ තිබුණේ නැහැ. වහල්ලු හෝ ප්‍රවේණි දාසයන් ගැන කිසි තැනක කියැවෙන්නේ නැහැ. මේ පොළොවේ තිබුණේ ඊටම ආවේණික වූ ආසියාතික නිෂ්පාදන රටාවක්. ඒ නිසයි එහි වෙසෙන සියලු ජනතාවට එකම සංස්කෘතියකින් බැඳෙමින් සාමූහිකව එකතු වී මේ මව් පොළොව රැක ගැනීමට පුළුවන් වුණේ. එවන් මහා සංස්කෘතික අනන්‍යතාවක් දරා සිටින මේ පොළොව, ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පරදවා ජය ලැබූ මේ පොළොව, මේ මහා ජාතික රාජ්‍යය අද රැගෙන යමින් තිබෙන්නේ කොතැනට ද? අපි දැන් ඒ දෙසට හැරෙමු.

‘නව ලිබරල්වාදයේ ගොදුරක් බවට’

අපට නොපෙනෙන ගිවිසුම්, එකඟතා, අප්‍රකට ලේඛන මගින් අනාවරණය වී තිබෙනවා මේ මහා ජාතික රාජ්‍යය ඇදගෙන යමින් තිබෙන ස්ථානය පිළිබඳව. දිවංගත ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා එක්තරා මොහොතක පහත සඳහන් ප්‍රකාශය සිදු කළා.

‘මේ මොහොතේදී සමාජවාදය ගොඩනැගීම සඳහා අවශ්‍ය විෂයමූල සහ මනෝමූල සාධක යහපත් තත්ත්වයේ පවතින බවට කිසිවකුට සහතික දිය නොහැකි ය. මෙම දෙන මොහොතේ දී ඊට වඩා ප්‍රමුඛතාවක් තිබෙන බව මගේ විශ්වාසයයි. මගේ තක්සේරුවේ හැටියට ලතින් ඇමෙරිකාවේ පැන නැගී ඇති අත්‍යවශ්‍ය සහ වැදගත්ම සටන වන්නේ නව ලිබරල්වාදය පරාජය කිරීමයි. ඊට හේතුව අප එසේ නොකළහොත් අපගේ ස්වාධීන රාජ්‍යයන් අතුරුදහන් වී ඒවා තුන්වැනි ලෝකයේ රටවල් ලෙස පැවති තත්වයටත් වඩා යටත් විජිත රාජ්‍යයන් බවට පත්වීමයි.’

මෙමගින් ෆිදෙල් කස්ත්‍රෝ නමැති ඒ අසහාය විප්ලවවාදී නායකයා අවධාරණය කරන්නේ මේ මොහොතේ අපේ සටන කුමක් ද, කියායි. දැන් අපි බලන්න ඕනෙ, ‘නව ලිබරල්වාදය’ නැමති යක්ෂයා අපේ ‘දොරකඩටත්’ ඇවිල්ලා ද කියා. ‘දොරකඩට’ පමණක් නොවෙයි ‘නිදන කාමරයටත්’ ඇවිත් බවයි පෙනෙන්නේ. නව ලිබරල්වාදය, මේ බෙලහීන පරගැති පාලනය යටතේ අපේ ජාතික රාජ්‍යය තමන්ගේ ගොදුරක් බවට ක්‍රමානුකූලව පත්කර ගනිමින් සිටිනවා.

‘චතුර්විධ සටන්’

ඕනෑම තත්ත්වයක් තුළ ලෝකයේ සමාජ ව්‍යාපාරයකට හෝ ජාතික ව්‍යාපාරයකට ප්‍රධාන සටන් හතරක් සිදු කරන්න පුළුවන්. වෙනත් ආකාරයකින් කිවහොත් චතුර්විධ සටනකට මුහුණ දීමට සිදු වෙනවා. පළමුවැන්න පන්ති සටනයි. සමාජවාදය ස්ථාපිත කළ රටවල පවා පන්ති සටන අවසන් නැහැ. කාල් මාක්ස් පැවසූ පරිදි පන්ති රහිත කොමියුනිස්ට් සමාජය බිහි වන තෙක්ම පන්ති සටන පවතිනවා. දෙවැන්න පාරිසරික විනාශයට එරෙහි සටනයි. එයත් සර්වකාලීන සටනක්. තෙවැන්න සදාචාර හා සංස්කෘතික පරිහානියට එරෙහි සටනයි. එයත් සර්වකාලීනව පවතිනවා. හතරවැන්න ජාතික සටනයි.

‘ජාතික සටන’

මෙතැන දී ඉතා වැදගත් වන්නේ ජාතික සටනයි. ජාතික සටන කියන්නේ කුමක් ද? ජාතිවාදය, අන්තවාදය පිටු දැකලා ජාතික සමගියෙන් අත්වැල් බැඳගෙන තමන්ගේ ජාතික රාජ්‍යයේ ආරක්ෂාව, පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් කරන සටනයි. පන්ති සටන, පාරිසරික විනාශයට එරෙහි සටන හා සදාචාර හා සංස්කෘතික පරිහානියට එරෙහි සටන යන ඒවා සැමදා කළ හැකියි. නමුත් ජාතික සටනේ දී අදාළ මොහොතේ නිවැරදි තීරණය අරගෙන, අදාළ ප්‍රහාරය එල්ල නොකළහොත් පරාජය නියතයි. ඒ නිසයි මා ඉහත උපුටා දැක්වූ අයුරින් ඉන්දියානු ඉතිහාසඥයන් පවසා ඇත්තේ ‘කීර්ති විජයබාහු නොසිටියේනම් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියකි’ කියා. ජාතික සටනේ දී අප ඉදිරියට එන අභියෝගය පරද්දන්න ඕනෙ. ජාතික රාජ්‍යය වෙනුවෙන් ඒ තීරණය ගන්න ඕනෙ.

‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන’

මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටනක් ද දැකගත හැකියි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය දිනවල එවැනි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටනක් දැකගත හැකි වුණා. ඒ අනුව දැන් රට බේරාගත් නාවික හමුදාවේ විරුවන්ට තඩිබාන ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ නැගෙනහිරට ලැබී තිබෙනවා. ඡන්ද නොතියන නිසා මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වන බව කියන විට, ‘අපි ඡන්ද තියන්නේ අපට ඕන වෙලාවට. කැමති නම් ඉල්ලා අස්වෙන්න’ කියා කියන්න ආණ්ඩුවට පුළුවන් විදිහෙ ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ ඡන්දදායකයාට ලැබී තිබෙනවා. ඒ විදිහට රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ තැබීමේ ‘ප්‍රජාතන්ත්‍රවාදී සටනේ’ ප්‍රතිඵල දැන් හොඳින් ලැබෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන සර්වකාලීන සටනක්. ප්‍රජාතන්ත්‍රවාදය යන්න පවතින තත්වයට සාපේක්ෂව සලකා බැලිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ මෑතකාලීන සටන්වල ප්‍රතිඵල ලෙස ලිබියානු ජනතාවට, සිරියානු ජනතාවට, ඉරාක ජනතාවට ලැබුණේ කුමක් ද? ඔවුනට අද තම රටවල අනාථයන් බවට පත්වීමට සිදු වෙලා. සරණාගතයන් ලෙස විදෙස්ගත වීමට සිදු වෙලා. පන්ති සටන, පාරිසරික විනාශයට එරෙහි සටන, සදාචාර හා සංස්කෘතික පරිහානියට එරෙහි සටන යන සර්වකාලීන සටන් කිරීමට ද ඔවුන්ට අද නොහැකි වී තිබෙනවා. ඒ ඔවුන්ට තම ජාතික රාජ්‍යයන් අහිමි වී තිබෙන නිසයි. ඔවුන්ගේ ජාතික රාජ්‍යයන් අද බටහිර බලවතුන්ගේ දඩබිම් බවට පත්ව තිබෙනවා.

‘සප්ත මහා උපද්‍රව’

අපි යළිත් අපේ මව් පොළොව දෙසට හැරෙමු. අද මේ රට ඇදගෙන යමින් තිබෙන්නේ මීට වසර 10කට පෙර ලැබූ විජයග්‍රහණය සනාථ කරන මාවතේ ද? ඒ විජග්‍රහණය අනාථ කරන මාවතේ ද? අනාථ කරන මාවතේ. මේ මොහොතේ මේ මව් පොළොව ගිල ගනිමින් සිටින මහා උපද්‍රව හතක් තිබෙනවා. අපට ඒවාට කියන්න පුළුවන් ‘සප්ත මහා උපද්‍රව’ කියා.

‘ආර්ථිකමය උපද්‍රවය‘

පළමුවැන්න ආර්ථිකමය උපද්‍රවයයි. අද මේ රට අතිවිශාල ණය උගුලක පටලවා අවසන්. පරණ ආණ්ඩුවල ණය බර ගැන කියමින් මේ ආණ්ඩුව පසුගිය වසර හතරක් තුළ සමස්ත ණය බර 50%කින් වැඩිකර තිබෙනවා. ණය රැගෙන තිබෙන්නේ සංවර්ධන කටයුතු සඳහා නොවෙයි, එදා වේල පිරිමහගන්න. දේශීය ව්‍යවසායකයන්ට එරෙහි බදු ප්‍රතිපත්තිය නිසා මුළුමහත් ආර්ථිකයම ගල්ගැහිලා. ජීවත් වීමට බැරි ජීවන බරකට ජනතාව ඇදලා දමලා. රුපියල ඉතිහාසයේ බරපතලම කඩා වැටීමට ලක් වෙලා. ආහාර සුරක්ෂිතතාව බිඳ වට්ටලා. ස්වයංපෝෂිත වූ ආහාර ද්‍රව්‍යයත් දැන් පිටරටින් ආනයනය කරනවා. දූෂණයත් රජ වෙලා. බැඳුම්කර වංචාව නිසා සිදු වූ පාඩුව ගැන කියන්න බැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ‘මාටියා පාර’ විතරක් රුපියල් බිලියන දෙසීයකට වඩා වැඩි බව නවතම කෝප් වාර්තාවෙන් කියැවෙනවා. 2018 වසර තමයි මේ රටෙන් පිටරටවලට වැඩිම පිරිසක් සංක්‍රමණය වූ වසර. යමක් කමක් ඇති අය ගෙවල් දොරවල් විකුණා පිටරට යද්දි නැති අය පිච්චි පිච්චි මේ පොළොවේ ජීවත් වන තරමට ආර්ථිකය කඩාවැටිලා.

‘බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන උපද්‍රවය’

දෙවැන්න, බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන උපද්‍රවය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කළාට එය දේශපාලනමය, මතවාදීමය වශයෙන් සම්පූර්ණයෙන් පරාජයට පත් කිරීමට නොහැකි වුණා. ඒ නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවී ගිය වසර 4 තුළ බෙදුම්වාදී මතවාදය බරපතල ලෙස හිස ඔසවා තිබෙනවා. මුලතිව් නයාරු ගුරුනගර්හි පුරාණ විහාරස්ථානය අද හමුදා ආරක්ෂාව නොමැතිව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ‘පන්සල් එපා!’ කියා අද ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට පටන් අරන් තිබෙනවා. දකුණට ‘කෝවිල් එපා!’ කියා කියන හඬක් ඇහෙන්නෙත් නැහැ. එහෙම කියන්නත් එපා. සහජීවනය පිළිබඳ සියලුම බණ දකුණේ කියන අතරේ උතුරේ අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩ හදලා දීලා තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන්ට අතපය කැඩෙන තුරු පහර දෙනවා. ඒවා මාධ්‍යවල පළ වීම වළක්වනවා. මේ කරුණු අනාවරණය කළාම අපට ‘ජාතිවාදීන්’ යැයි කියනවා. එදා ජවිපෙ සිටින විට අපි චන්ද්‍රිකාගේ බෙදුම්වාදී පැකේජයට විරුද්ධව සටන් කළා. එදා එන්ජීඕවල කට්ටිය අපට ‘ජාතිවාදීන්’ යැයි කිව්වා. දැන් පැකේජයට එහා ගිය ෆෙඩරල් ව්‍යවස්ථාවක් රනිල් ගෙන එනවා. ඒකට විරුද්ධ වුණාම අද ජවිපෙ වත්මන් නායකයෝ අර එන්ජීඕකාරයෝ සමග එකතු වෙලා අපට ‘ජාතිවාදීන්’ යැයි කියනවා. ජවිපෙ අද එකපාරටම ‘ජාත්‍යන්තරවාදීන්’ වෙලා. අපි නම් වෙනස් වෙලා නැහැ, එදා හිටපු මතයේමයි අදත් ඉන්නේ. එදත් ‘බෙදුම්වාදී’ ව්‍යවස්ථාව. අදත් ‘බෙදුම්වාදී’ ව්‍යස්ථාව. නමුත් එදා බෙදුම්වාදී ව්‍යවස්ථාව කියපු අනුර දිසානායක අද කියනවා ‘ෆෙඩරල් බිල්ලෙක් මවනවා’ කියා. සුමන්තිරන් හා සම්බන්ධන් කියනවා, ’මේ ව්‍යවස්ථා කෙටුම්පතේ ෆෙඩරල් ලක්ෂණ තිබෙනවා’ කියා. එතකොට අද ඉතා පැහැදිලියි, ෆෙඩරල් ව්‍යස්ථාවට හොඳටම මුට්ටිය අල්ලන්නේ කවුද, කියා. මේකෙන් වුණේ වික්‍රමබාහු කරුණාරත්නගේ ජොබ් එකට තට්ටු වුණු එකයි. දෙමළ බෙදුම්වාදයට පක්ෂපාතී මතයක් පවසලා ඒක ඉංග්‍රීසි පුවත්පතක පළ කරවා ගෙන බටහිරින් කීයක් හරි ඉල්ලා ගත්තු එකයි වික්‍රමබාහු කළේ. අද ඒකත් කරන්නේ මේ ජවිපෙ කල්ලියයි.

‘දහනවයෙන් කළ බරපතල වැඩක්’

ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහිමි කිරීම සිදු කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනමත විචාරණයකින් තොරව එය කොල්ලකා තිබෙනවා. 2003 දී එවකට අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලකින් ලබා දුන් නඩු තීන්දුව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලතලවල වෙනසක් සිදු කරන්නේ නම් එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. නමුත් පුදුම වැඬේ කියන්නේ, දැන් ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරනවා, ‘වසර හතරහමාරක් යන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකියි’ කියා. මේ කියන්නේ ‘නීතියෙන් ගහපු පික්පොකට් පාර’ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කළා කියන එක නොවෙයි ද?

‘නව ව්‍යවස්ථාව සහ ඡන්ද අහෝසිය’

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර හොර පාරෙන් අගමැති වික්‍රමසිංහට විධායක බලතල ලබා දෙන්නයි. මේක සම්මත කර ගැනීමට 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළාම දැන් එය තාවකාලිකව පැත්තකින් තබා තිබෙනවා. ඉන්පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව ආවා. රනිල් වික්‍රමසිංහ කියනවා ‘තවම සැකිල්ලක්වත් නැහැ’ කියා. අනුර දිසානායකත් ඒකම කියනවා. නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ එය නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියක් බවයි. 113 හදා දෙන්න මුල් වුණු දෙමළ ජාතික සන්ධානයට දොළ පිදේනිය විදියට මේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර දෙන්න කියා ඔවුන් මේ පරගැති ආණ්ඩුවට බල කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට 2/3 හදන උත්සාහය තවමත් අත්හැර නැහැ. ඒ සඳහා දිනපතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පණිවිඩ යවනවා. ‘කැඩුණු විවාහය’ යළි හදාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්නයි මේ දත කන්නේ. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුවහොත් මහ මැතිවරණයක් පමණක් නොවෙයි ජනාධිපතිවරණයත් නැති වෙයි. මහ මැතිවරණය නැති වෙන්නේ මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට කොට්ඨාස නීර්ණය කරන කොමිසමක් දමන නිසයි. පළාත් සභා කොට්ඨාස නිර්ණය කරන විදිය දැක්කානේ. කොට්ඨාස නිර්ණය කර ආපුවාම ‘ඒ විදිහට හරි නැහැ’ කියා යළිත් කොට්ඨාස නිර්ණය කිරීමට කමිටුවක් දැම්මා. දැන් ඡන්දය කල් දමමින් යනවා. මහ මැතිවරණයට වන්නෙත් ඒකයි. පාර්ලිමේන්තුව විසුරුවන කාලය වන තෙක් කොට්ඨාස නිර්ණය කරමින් ඊට පසු මේ අයට දිගටම රැඳී ඉන්න වැඩක් හදාවි. නව ව්‍යවස්ථාව සම්මත වුවහොත් කොහොමත් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරන නිසා ජනාධිපතිවරණයත් අහෝසි වෙනවා.

‘යළි වෙනස් කළ නොහැකි නීතියක්’

මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් එය අනාගතයේ දී වත් වෙනස් කරන්න බැහැ. අනාගතයේ දී පත්වන පාර්ලිමේන්තුවකින් එය වෙනස් කිරීමට සූදානම් වුවහොත් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක් හා සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත ලැබිය යුතුයි. එය ඉතාමත් දුෂ්කර වෑයමක්. ඔය තැන් තුනේම අනුමැතිය ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෙන එන්නේ යළි වෙනස් කළ නොහැකි නීතියක්. ‘රාජ්‍යයේ මුදුන දුර්වල කරලා පරිධිය බලවත් කිරීමේ උපද්‍රවය’ ලෙසත් මෙය තේරුම්ගත යුතුයි.

‘ව්‍යවස්ථාදායක සභාවේ හරවා යැවීම්’

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දැනටමත් මුදුන දුර්වල කරලා. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සඳහා නිර්දේශ යවනවා ව්‍යවස්ථාදායක සභාවට. නමුත් අගමැති – කතානායක යන අයගේ ගෝලබාල නොවන අයගේ නම් ආපහු හරවා යවනවා. දැන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමියගේ නම ජනාධිපතිතුමන් නිර්දේශ කොට යවා තිබෙනවා. ඒ නම ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවතාවක් හරවා එවා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව ඉතාමත් සූක්ෂම ලෙස එක්තරා ආගමික නිකායක උවමනාව පරිදි ක්‍රියාත්මක වෙනවා. මම මේ බව පාර්ලිමේන්තු දී අනාවරණය කළාම එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අයථා ලෙස පරිහරණය කිරීමක් ලෙස නීතිඥ සංගමය පවසා තිබෙනවා. අදත් මේ දෙය මම අනාවරණය කරනවා. මේක මහජන සභාවක්. මෙතැන පාර්ලිමේන්තු වරප්‍රසාදත් නැහැ. මම ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරිත්වය ගැන දින දෙකක විවාදයක් ඉල්ලුවා. ලැබුණොත් මේ පිළිබඳ අලගිය – මුලගිය – වැලගිය සියලු දේ අනාවරණය කරනවා.

‘ජාතික රාජ්‍යය බෙලහීන කිරීමේ උපද්‍රවය’

තුන්වන උපද්‍රවය තමයි ජාතික රාජ්‍යය බෙලහීන කිරීමේ උපද්‍රවය. ඒ සඳහා රාජ්‍යයේ බල කේන්ද්‍ර වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙක ගැටීමට සලස්වනවා. එය අපට දැන් හොඳින් දැක ගත හැකියි. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළනවා. හමුදාවේ පිරිස් බලය 25% කින් අඩු කිරීම, සාලාව අවි ගබඩාව පුපුරවා හැරීම, බරඅවි මහ මුහුදේ ගිල්වීම, ‘දැන් වැඩක් නැහැ’ කියමින් හමුදාවේ අමතර අවි විදේශීය රටවලට විකිණීම, උතුරු හා නැගෙනහිර හමුදා කඳවුරු සියයකට වඩා ගලවා දැමීම, බුද්ධි අංශ දඩයම් කිරීම ඒ වෙනුවෙන් සිදු කරනවා.

‘අධිකරණයේ සුවිශේෂී ස්ථානවලට බලපෑම්’

අද මේ රටේ අධිකරණ පද්ධතියේ සුවිශේෂී ස්ථානවලට, බටහිර තානාපති කාර්යාලවල නිලධාරීන්ට බලපෑම් කිරීමට හැකි වී තිබෙනවා. පසුගිය තීරණාත්මක නඩු විභාගය කාලයේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කරනවා, ‘ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන්ට ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි මනරම් නඩු තීන්දුවක් ලැබේවි, කියා මම විශ්වාස කරනවා’ යනුවෙන්. නඩු තීන්දුවට දවස් කීපයකට කලින් මෙහෙම හිතෙන්නේ කොහොම ද? මේ පිළිබඳව අද සැක සංකා ඇතිව තිබෙනවා. මේ රාජ්‍යය බෙලහීන කිරීමේ උපද්‍රවයෙන් ද අප මේ මේ රට ගලවාගත යුතුයි.

‘අප මුහුණ දී සිටින අනෙක් උපද්‍රවය’

අතීතයේ පටන් මේ රටේ සකල ජනතාවට සහජීවනයෙන් ජීවත්විය හැකි ධාර්මික පරිසරයක් තිබුණා. ඒ සඳහා මුල් වූයේ සම්බුද්ධ ශාසනය ඇතුළු මහා සංඝරත්නයයි. එදත් සම්බුද්ධ ශාසනයට පිටතින් පහර දුන්නා. අදත් එයට පිටතින් සහ ඇතුළතින් පහරදීම් සිදු වෙනවා. අද ඇතුළතින් බුද්ධ චීවරය දරාගෙන පහර දීම සිදු කරනවා. පිටතින් වෙනස් ස්වරූපයකින් ඒ පහර දීම සිදු වෙනවා. මේ පොළොව අපෙන් උදුරා ගන්න නම් බුද්ධ චීවරයේ, බුද්ධ ධර්මයේ බලය මුලිනුපුටා දැමිය යුතු බව සතුරු බලවේග දන්නවා. ඔවුන්ට ඒ ධර්මය පිළිපදින මිනිසුන් මේ පොළොවේ නැති කිරීම අත්‍යවශ්‍යයි. ඒ ධර්මය තමයි අනෙකා දිහා සානුකම්පිතව බලන්න, ගෞරවයෙන් බලන්න අපට ඉගැන්නුවේ. ඒ ධර්මය අද ඇතුළතින් හා පිටතින් සංවිධානාත්මක ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

අනාගමික ‘පොෂ්’ අය

දැන් අනාගමික ‘පොෂ්’ පිරිස් ඉන්නවා. සුනිල් පෙරේරලා ඇතුළු එන්ජීඕ පිරිස් රූපවාහිනී නාලිකාවලට ඇවිත් අනාගමික බණ කියන බව පෙනෙනවා. ඒ අයට තිබෙන ජාතික ප්‍රශ්නය වන්නේ ‘කතරගම දේවාලයකට පලතුරු වට්ටියක් රැගෙන යාම’ ආදී දේවලුයි. මානසික ශක්තිය සියලුදෙනාට එක ආකාරයටම නැහැනේ. මානසික ශක්තිය පිටතින් ගැනීිමට අවශ්‍ය පිරිසක් ද සිටිනවා. ඔවුන් බුදුන් වහන්සේට පහනක් පත්තු කරලා, කතරගම දෙවියන්ට පලතුරු වට්ටියක් පූජා කරලා පිහිට පතනවා. ඒක බලා ඉන්න බැරි නම් අනාගමික බක්කන්ට ඇස් පියාගෙන ඉන්නයි තියෙන්නේ.

සමහරු දේවාලවලට යනවා, ‘හතුරන් හැඳිගෑවිලා යන්න’ කියා මිරිස් අඹරන්න. ඒවා ‘ආවේගය’ පිට කරන මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම ලෙසයි අප සමාජයේ පැවතුණේ. වස් කවියෙන් ද සිදු වුණේ එවැන්නක්. මේ සියලු අනාගමික බණකින්ම සිදු කරන්නේ මේ ධර්මය දරාගෙන සිටින පදනමට පහර ගැසීමක්. එය තමයි අප මුහුණ දී සිටින අනෙක් උපද්‍රවය. ඊට ද අප අවබෝධයෙන් යුතුව මුහුණ දිය යුතුයි.

‘ජාතිවාදී ගැටුම් අවුලුවාලීමේ උපද්‍රවය’

ඊළඟ උපද්‍රවය තමයි සංවිධානාත්මකව මේ පොළොවේ ජාතිවාදී ගැටුම් අවුලුවාලීමේ උපද්‍රවය. දැන් මහනුවර දිගන ප්‍රදේශයේ සිදු වූයේ කුමක්දැයි අනාවරණය වෙලා ඉවරයි. ආයෙත් බුදු පිළිම කඩා ගෙන ආවා. ඒ සිදුවීම පිළිබඳ විමර්ශන සිදු වන විට වනාතවිල්ලුවේ පොල්වත්තකින් විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් හා අවි ආයුධ හමු වුණා. එසේම බුදු පිළිම කැඩීමේ සිදු වීමට සම්බන්ධ තරුණයන් දෙදෙනකුගේ දෙමාපියන් විසූ නිවසකින් අවි ආයුධ සොයා ගත්තා. මේ අවි ආයුධ සිංහල නිවසකින් හමු වුණානම් රාජපක්ෂවරුන් ඊට ඈඳලා, අපවත් ගාවලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක දවසට දෙවතාවක් මාධ්‍ය හමු පවත්වනවා. අද බුද්ධි අංශ දුබල කරලා. ඔවුන්ට තිබෙන්නේ අද ඒකාබද්ධ විපක්ෂය ගැන සෙවීමටයි. සිරියාවේ අයි.එස්.අයි.එස් සංවිධානයට ශ්‍රී ලාංකික තරුණයන් 26ක් සම්බන්ධ වූ බවට විදෙස් මාධ්‍ය මගින් තොරතුරු අනාවරණයය වුණා. මේ තත්ත්වය යටතේ බරපතලම අර්බුදයට පත් වන්නේ මේ රටේ චිරාත් කාලයක් සමගියෙන් ජීවත් වූ මුස්ලිම් ජනතාවයි.

‘සියලු අන්තවාදයන්ට එරෙහි වෙමු’

සිංහල සමාජය තුළින් ද මෙවැනි අන්තවාදී ප්‍රවණතා දුටු විට ඒවාට එරෙහිව නැගී සිටින සිංහල ජන නායකයන් ඉන්නවා. මම ද එක්තරා ‘සේනාවක’ අන්තවාදී ක්‍රියා පිළිබඳ මගේ විවේචනය ඉදිරිපත් කළා. මට ප්‍රහාර එල්ල වුවත් ‘රෙජීම් චේන්ජ්’ ව්‍යාපෘතිය සමග එම ‘සේනාවේ’ ක්‍රියාකාරකම් බැඳී තිබෙන ආකාරය කල්තියා දුටු නිසයි එසේ කටයුතු කළේ. පසුව අපේ අදහස නිවැරදි බව රට හමුවේ තහවුරු වූවා. නමුත් අද වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය, නිවෙස්වලින් අවි ආයුධ හමුවෙද්දි මුස්ලිම් ජන නායකයන් නිහඬයි. උතුරේ එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කෙරෙන කටයුතු සිදු වෙනවා. මේ සියලු ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකාරකම් හා බැඳුණු උපද්‍රවය වැළැක්වීමට ද අපි අවධානය යොමු කළ යුතුයි.

‘අධිරාජ්‍යවාදී උවමනාව හා විදේශීයකරණය’

රාජ්‍ය දේපළ, ආර්ථික මර්මස්ථාන ඇතුළු මුළුමහත් රාජ්‍යය විදේශීයකරණය කිරීමේ උපද්‍රවයටත් අප මුහුණ දී සිටිනවා. මේක බලගතු අධිරාජ්‍යවාදී රටවල යුද උපායමාර්ගික උවමනාව හා බැඳුණු සම්පත් විජාතිකකරණයක්. ඔවුන්ගේ යුද උපායමාර්ගික උවමනාව ඉටු කර ගැනීමට නම් මෙරට හැකි පමණ අස්ථාවර කරන්න ඕනෙ. ඒ සඳහා මේ පොළොවේ අයි.එස්.අයි.එස්, එල්ටීටීඊ වගේම වෙනත් අන්තවාදී කල්ලි සිටිය යුතුයි. මේ අන්තවාදී කල්ලි එකිනෙකා මරා ගන්න සලස්වන්න ඕනෙ. එවිට මේ අධිරාජ්‍යවාදී බලවතුන්ට පුළුවන් අප්‍රිකාවේ ගෝත්‍රික කල්ලි එකිනෙකා මරාගන්න සලස්වලා මිනිරන් නිධි කොල්ල කෑවා වගේ මේ පොළොවේ සාරය උරා බොමින් එහි පැලපදියම් වීමට. ඔවුන්ගේ වුවමනාව ඉටු කර ගැනීමට නම් අපේ ජාතික රාජ්‍යය අසමත් රාජ්‍යයක් බවට පත්විය යුතුයි. දැන් සිදු වෙමින් පවතින්නේ එයයි.

‘අමුතුවෙන් කඳවුරක් ඕනෙ ද?’

මා අතේ තිබෙන්නේ කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සතු ලේඛනයක්. මේ ලේඛනය පිළිබඳව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා කරුණු අනාවරණය කරනු ලැබුවේ. 1995.05.16 දිනැති මේ ලේඛනයේ මුල් කොටසින් කියැවෙන්නේ ‘විශේෂ කාර්ය බළකාය ඇතුළු මේ රටේ ආරක්ෂක හමුදාවලට පුහුණුව ලබා දීම සඳහා පැමිණෙන ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට මෙහි රැඳී සිටින කාලය තුළ තානාපති මුක්තිය ලබා දෙන්න’ යනුවෙන්. මෙමගින් තානාපති මුක්තිය ලැබුණේ ඉතාමත් සුළු කොටසකට. 2018 අගෝස්තු 26 වැනිදා මෙම මුල් ලේඛනයට තවත් කොටසක් ඇතුළු කර තිබෙනවා. ඒ අලුත් කොටසින් කියනවා ‘අප මේ එවන ලිපියට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණොත් අප පිළිගන්නවා එය දෙරට අතර ඇති වුණු ගිවිසුමක් ලෙස’ කියා. මේ යටතේ එවන පිරිස වැඩි වෙනවා. තානාපති මුක්තිය නිසා ඒ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ ගුවනින් හා ගොඩබිමින් යන වාහන පරික්ෂා කිරීමට මෙරට පොලිසියට, හමුදාවලට නොහැකි වෙනවා. මේ පිරිස් ඉහත ගිවිසුම අනුව ආවොත් ඔවුන්ට දේශීය පිරිස් සමග කොන්ත්‍රාත්වලට යා හැකියි. ඒ කොන්ත්‍රාත්වලට ටෙන්ඩර් පටිපාටි නැහැ. ඒ ගනුදෙනු සිදු වන්නේ ඇමරිකා එක්සත් ජනපද නීතිය අනුවයි. මේ අනුව ඇමරිකා ආරක්ෂක හමුදාවන්ට අයත් ඕනෑම වාහනයකට ලංකාව තුළ පරික්ෂා කිරීමකින් තොරව ඕනෑම තැනකට යන්න එන්න හැකි වෙනවා. දැන් ඇමරිකාවට ලංකාව තුළ අමුතුවෙන් කඳවුරු උවමනා නැහැ.

‘අක්කර 33000ක ආයෝජන කලාපය කාට ද?’

ඒ විතරක් ද? ත්‍රිකුණාමලයේ අක්කර 33000ක ආයෝජන කලාපයක් ඇරැඹීම සඳහා වන ව්‍යාපෘති සැලැස්ම හදපු ‘සුබානා රොන්ග්’ නැමති සිංගප්පූරු සමාගම පසුගිය පෙබරවාරියේ දී එය අගමැති රනිල් වික්‍රමසිංහට භාර දී තිබෙනවා. එම ආයෝජන කලාපය තුළ තිබෙනවා ඉන්දීය සාගරයේ නාවික හා සබ්මැරීන යාත්‍රාවලට සේවා සපයන මධ්‍යස්ථානයක්. මේ ආයෝජන කලාපයේ ආයෝජන කළ හැක්කේ ඇමෙරිකානු – ඉන්දීය – ජපන් සමාගම්වලට පමණයි. මේ අක්කර 33000 තුළ ඉදිවන දැවැන්ත මහල් නිවාස සංකීර්ණ මේ බලවතුන්ගේ මිලිටරිමය උවමනාවන් සඳහා යොදා නොගනු ඇතැයි කීමට අපට ඇති සහතිකය කුමක් ද?

‘ඇමරිකාව සහස්‍ර අභියෝග ජය ගන්නා හැටි’

ඇමෙරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට වාහනවලින් මේ රට තුළ ඕනෑම ස්ථානයකට පරික්ෂා කිරීම්වලින් තොරව යාමේ ඉඩකඩ ලැබෙද්දී, ත්‍රිකුණාමලයේ අක්කර 33000ක ඇමරිකා – ඉන්දීය – ජපන් සමාගම්වලට පමණක් විවෘත ආයෝජන කලාපයක් හැදෙද්දි ඔවුන් එතැනින් නවතින්නේ නැහැ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රධානත්වය දරන ‘සහස්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Cooperation)’ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ සැලැස්ම මා සතුව තිබෙනවා. ඒ සැලසුම මගින් යෝජනා කරනවා ‘ශ්‍රී ලංකා රජය සතු සියලු ඉඩම් බැංකුවක් යටතට පවරා ගන්න’ කියා. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යාංශ සතු ඉඩම්, දුම්රිය වැනි දෙපාර්තමේන්තු සතු ඉඩම් සියල්ල මේ බැංකුවට පවරා ගන්න කියලයි එමගින් යෝජනා කරන්නේ. ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලය පනත් කෙටුම්පතක් ද සකසා තිබෙනවා. එය ‘Draft of the State Lands Bank Act’ නමින් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම තවත් ඉඩම් පනත් කෙටුම්පතක් ඔවුන් සකසා තිබෙනවා,’Draft of the Lands Special Commission Act’නමින්. මෙමගින් ශ්‍රී ලංකාවේ බලපත්‍ර ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දීමත් තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ අක්කර 50ක සීමාව ඉවත් කිරීමත් සිදු කරනවා.

‘M C C‍ කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ’

ඇමරිකානු සහස්‍ර අභියෝග ආයතනය මේ ඉඩම් පනත් දෙක යෝජනා කරන්නේ ඇමරිකානු ආයෝජකයන්ට පවතින බාධා ඉවත් කිරීමක් ලෙසයි. ‘ආයෝජකයන් පැමිණීමට නම් ලංකාවේ ඉඩම් වෙළඳපොළ සක්‍රියව පැවතිය යුතුයි, බදු සහන ආදිය ලබාදිය යුතුයි’ කියා ඔවුන් යෝජනා කරනවා. මේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සෘජුව පාලනය කරන සහස්‍ර අභියෝග ආයතනයේ ලංකාවේ කාර්යාලය තිබෙන්නේ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය තුළ නොවෙයි, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේයි.

‘විශේෂ ආර්ථික පටියක්’

මේ සහස්‍ර අභියෝග ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් බරපතළ යෝජනාවක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. (වාර්තාව සභාවට පෙන්වමින්) ඒ තමයි කොළඹ වරායේ සිට ත්‍රිකුණාමල වරාය දක්වා විශේෂ ආර්ථික පටියක් හඳුන්වා දීම. මෙය ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙන් දිස්ත්‍රික්ක 7ක් යා කරමින් ගමන් කෙරෙනවා. දිග දළ වශයෙන් කිලෝ මීටර් දෙසීයක්. අවම වශයෙන් මෙයට අක්කර ලක්ෂයකට වැඩියෙන් ඇතුළත් වේවි. මේ වාර්තාවේ සඳහන් නොවුණාට මේ පටියේ ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ නීතිය නොවෙයි, ඇමරිකානු නීතියයි.

‘රට දෙකඩ කිරීමක් නොවෙයි ද?’

ඇමරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරීක්ෂා කිරීමකින් තොරව තමන්ගේ වාහනවලින් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට යාමට ඒමට පුළුවන්කම තිබිය දී ඒ වාහනවලින් ‘හැදෙන අයි.එස්.අයි.එස්. එකට, එල්ටීටීඊ එකට’ ආයුධ ගිහින් දෙන්න පුළුවන්කම තිබිය දී තමයි දැන් මෙවැනි ආර්ථික පටියක් යෝජනා කරන්නේ. විදුලි දුම්රියක් මේ ආර්ථික පටියේ දිවෙන නිසා ඉහත දිස්ත්‍රික්ක 7 හරහා සියුම් විදුලි කම්බියක් ද යනවා. මේ ආර්ථික පටිය තුළ ඇමරිකානු නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එය හරහා ශ්‍රී ලාංකිකයන් ගමන් කරන්නේ කොහොම ද? මේක මේ රට භෞතිකව දෙකඩ කිරීමක් නොවෙයි ද? ඇමරිකාව මේ විදියට බින්න බැහැපු හැම තැනම අභ්‍යන්තර ගැටුම් හැදුවා.

‘දැනටමත් කළු සල්ලි එනවා’

මේ ඇමරිකානු සැලැස්ම එන්න කලින් මේ ආණ්ඩුව මහ බැංකුව නොදැන, මේ රටට කළු සල්ලි ගෙන ඒමට හැකි ආකාරයට විදේශ විනිමය පනත සංශෝධනය කළා. ඒ අනුව තමයි එල්ටීටීඊ මුදල්වලින් හැදුණු ලයිකා මොබයිල් සමාගම ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහ ව්‍යාපාරයේ සියලු ආයතන මිලදී ගනු ලැබුවේ. දේශීය ව්‍යාපාරිකයකු මෙම ව්‍යාපාර සමූහය මීට වැඩි මිලකට ඉල්ලා සිටියත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් එය ලයිකා මොබයිල් සමාගමට ලබා දුන්නා. අයිතිකරු මේ මුදල් එව්වේ සිංගප්පූරු සමාගමක් හරහායි. ඒ බව මනෝ තිත්තවැල්ල මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හොඳට දන්නවා.

‘බීජ සමග ආපු සේනා’

කන්න තුනක් වැස්ස නැතිව වගා කර ගන්න බැරිව සිටිය ගොවියාට තමයි සේනා දළඹු උවදුරට මුහුණ දීමට සිදු වුණේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ දළඹුවා සංක්‍රමණය වූයේ සුළඟින් බව කීවත් අප පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා මේ දළඹුවා බීජවලින් පැමිණ ඇති බව. දැන් ඒ බව ඔප්පු වී තිබෙනවා. මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා, ‘රජයෙන් ගොවි පවුල්වලට ලබා දුන් බඩඉරිඟු බීජ මලුවලින් සේනා දළඹුවාට සමාන දළඹුවෙක් සොයාගෙන’ කියා. දැන් ගොවියා අසරණයි. කන්න හතරක් පාළු වෙලා තිබියදී තමයි, නව ඉඩම් පනත යටතේ තමන්ගේ බලපත්‍රලාභී ඉඩමට සින්නක්කර ඔප්පුව ලැබෙන්නේ, එවිට විය හැක්කේ ඉඩම විකුණා ගොවියා සිය පවුල ද සමඟ නගරයට පැමිණ කම්කරුවකු ලෙස සේවය කිරීමයි. දුෂ්කර ජීවිතය මැද්දෙ ඔහු මත්ද්‍රව්‍ය උවදුරටත් අසු විය හැකියි. අවසානයේ මේ විදියට අසරණ වන ස්වදේශික ගොවි පවුල් මෙරට තුළ මිනිස් පරඬැල් බවට පත් වීම සිදු වෙනවා.

ඉඩම් සංශෝධන පනත, ඉඩම් බැංකු පනත, සේනා දළඹු උවදුර, ඇමරිකානු සහස්‍ර අභියෝග ආයතනයේ යෝජනා, ඇමරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට ලැබෙන තානාපති මුක්තිය, ත්‍රිකුණාමලයේ ඉදිවෙන අක්කර 33000ක ඇමරිකානු – ඉන්දීය – ජපන් ආයෝජන කලාපය ආදී සියල්ල එකට දමා අපි මේ මහ පින්තූරය දෙස බැලිය යුතුයි. ඉඩම් සංශෝධන පනතින් ගොවියාගේ බලපත්‍ර ඉඩමට සින්නක්කර ඔප්පුව දෙන එක දිහා විතරක් බලා සිටියාට මෙය තේරෙන්නේ නැහැ.

‘ඇමරිකානු පාවෙන කඳවුර’

ඇමරිකා එක්සත් ජනපද 7 වැනි නාවික බලඇණියට අයත් පැසිෆික් කලාපයේ ආරක්ෂාවට යොදවා තිබූ ‘ජෝන් සී ස්ටෙනින්’ කියන යුද නැව දැන් ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්‍ෂාව සඳහා යැයි කියමින් ත්‍රිකුණාමල වරාය ආසන්නයේ රඳවා තිබෙන්නෙත් මේ ශ්‍රී ලංකාව ගිල ගැනීමේ ඇමරිකානු සැලැස්මේම කොටසක් ලෙසයි. මේ නැව, ගුවන් යානා 100ක් රැඳවිය හැකි එකක්. ත්‍රිකුණාමල අක්කර 33000ක ආයෝජන කලාපය තුළ ඉන්දු – පැසිෆික් කලාපයේ නාවික යාත්‍රා හා සබ්මැරීනවලට සේවා සපයන මධ්‍යස්ථානයක් ඉදි වන්නේ කුමකට ද, කියා තේරෙනවා ද? මේ යුද නැවට සේවා සපයන්නේ එතැනින් නොවෙයි ද? ඒ වගේම හිතන්න, මේ සුවිශාල යුද නැව ඇමෙරිකානු යුද කඳවුරක් ලෙස ක්‍රියා නොකරාවි ද, කියා.

‘ඇමරිකානු අධිබල සම්ප්‍රේෂණ කුළුණ’

මේ විදේශීයකරණය යටතේ හම්බන්තොට වරාය චීනයට ලබා දී තිබියදී මත්තල ගුවන් තොටුපළෙන් 70%ක් ඉන්දියාවට ලබා දීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි දැනටමත් ඉන්දියාවට ලබා දී තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඩැහැගැනීම ඉන්දියාවේ අපේක්ෂාවයි. එසේ තිබියදී ඉහත පැවසූ ත්‍රිකුණාමල අක්කර 33000ක ආයෝජන කලාපය තුළ ඇමෙරිකාව විසින් අධිබල සම්ප්‍රේෂණ කුළුණක් සවි කිරීමට ද නියමිතයි. එමගින් ලංකාවේ තොරතුරු පමණක් නොවෙයි ඉන්දියාවේ තොරතුරුත් ග්‍රහණය කර ගැනීමට ඇමරිකාවට හැකියාව ලැබෙනවා.

‘සාම බලකාය (Peace Corps)’

ඇමෙරිකානු මිලිටරි මෙහෙයුමෙහි සහායක බලඇණියක් ලෙස ක්‍රියා කරමින් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වී සිටින ඇමෙරිකානු සාම බලකාය (Peace Corps) ලංකාවට පැමිණීම ද දැන් සිදු වෙනවා. අපේ ගම්බද දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ මුවාවෙන් තමයි මේ ඇමෙරිකානු ස්වේච්ඡා හමුදා බල ඇණිය, සිවිල් ඇඳුමින් ලංකාවට රිංගන්නේ. මේ අනුව ඉතා පැහැදිලිව පෙනෙනවා, ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින්නේ තම ඉන්දු- පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත් කරගැනීමට කියා. අප ගොදුරු වෙමින් යන්නේ ඒ උපායමාර්ගික දැලටයි. මේකට ගොදුරු වුවහොත් අපට කිසිදා ගැලවීමක් නැහැ. මේ සියල්ල සම්පූර්ණ කර ගත්තොත් ඔටුන්න යන්නේ නොරටුන්ට නොවෙයි ද? ඔටුන්න මෙරට අයකුගේ හිසේ තිබුණත් ඔහු ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ වැනි අයකු මිස ‘කීර්ති විජයබාහු – දුටුගැමුණු’ වැනි ශ්‍රේෂ්ඨ නරපතියකු වන්නේ නැහැ. ජේ. ආර්. ජයවර්ධනට කීවේ ‘යැංකි ඩිකී’ කියලයි. අද එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ ඔහු අබිබවා ගිහින්. එයාට කියන නම ඇමරිකාවවත් තාම හොයා ගෙන නැහැ. මේ දැල එළා අවසන් වුණොත් ඔබේත් මගේත් දරුවන්ට මේ රට අහිමි වෙන එක වළක්වන්න බැහැ. මේ තමයි අද රට හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය. මෙය ජය නොගතහොත් අපට චෝල, යුරෝපා ආක්‍රමණිකයන් ඇතුළු සියලු බලවේගවලට එරෙහිව සටන් වැද රැකගත් මේ ජාතික රාජ්‍යයත් එහි සංස්කෘතික උරුමයන් සියල්ලත් අහිමි වීම සිදු වේවි.

‘මේ පිළිබඳ ජනමතය අවදි කරවන්න’

‘මේ රුදුරු අවදානම පිළිබඳව ජනමතය අවදි කරවන්න’ කියා මා සියලු ජනමාධ්‍ය වෙතින් ඉල්ලා සිටිනවා. පිස්තෝලය එල්ල වී ඇත්තේ මගේ හිසට පමණක් නොවෙයි – ඔබේ හිසට පමණක් නොවෙයි. ඒ පිස්තෝලය මේ පොළොවේ හෙට උපදින දරුවාගේ පෙකනිවැලටත් එල්ල වී තිබෙනවා. මෙවැනි අධිරාජ්‍යවාදී මෙහෙයුමක් දියත් වන විට ‘අධිරාජ්‍යවාදයට පරාජය – ජනතාවට විමුක්තිය’ කියන සටන් පාඨය යටතේ ජනතාව පුරෝගාමීව දැනුම්වත් කරපු රක්ත වර්ණ වමේ ව්‍යාපාරය, අද මේ ගැන සිහින් කෙඳිරියක්වත් නොනඟන, රනිල් වික්‍රමසිංහගේ කටු ලෙවකන බත් බැලයන් ටිකක් බවට පත් වී අවසන්.

ඒ නිසා අද අපට සිදුව තිබෙනවා අධිරාජ්‍යවාදයේ මේ බලගතු දිගේලි කිරීමට එරෙහිව ජාතිය අවදි කිරීමේ සටනේ පුරෝගාමී භූමිකාව ඉටු කරන්න. අපේ දේශපාලනයේ අනුරාගී උවමනාව එයයි. අපි ප්‍රමාණයෙන් මොන තරම් කුඩා වුවත් අපට ඒ මහා අභියෝගය භාර ගැනීමට සිදු වෙනවා. අපේ දේශපාලන කඳවුරට, ඒ අභියෝගයට එරෙහිව සටන් කිරීමේ උවමනාව කාන්දු කිරීමේ වගකීම ද අපට පැවරී තිබෙනවා. මේ මොහොතේ අප හමුවේ වන ජාතික සටන, ඉහත කී බලගතු අධිරාජ්‍යවාදී දිගේලි කිරීමට එරෙහි සටනයි. කේන්ද්‍රීය සටන එයයි. අප ජාතියක් ලෙස සිටගත යුත්තේ එම සටනට සාපේක්ෂවයි. පංති සටනට, පාරිසරික විනාශයට එරෙහි සටනට, සදාචාර හා සංස්කෘතික පරිහානියට එරෙහි සටනට සාපේක්ෂව සිටගතහොත් මේ කේන්ද්‍රීය සටන වල්මත් වීම හෝ ඒ කෙරෙහි අවධානය ගිලිහීම සිදු වෙනවා.

‘වැරදි ස්ථාවරය වෙනස් කළ යුතුයි’

‘ජනාධිපතිවරණයට තරඟ කළ යුත්තේ කුමන ලකුණෙන් ද, අපේක්ෂකයා කවුරුන් විය යුතු ද?’ වැනි සටන්වලට අපේ ශ්‍රමය අපතේ යවන තරමට සතුරාට තමන්ගේ දැල එළීමට අප විසින්ම පහසුකම් සපයා දීම සිදු වෙනවා. මේ මොහොතේ අවධානය යොමු විය යුතු කේන්ද්‍රීය අභියෝගයට අවධානය යොමුවීම වළකා වෙනත් අතුරු මාතෘකාවලට ජාතියේ අවධානය යොමු කරන්නවුන් සතුරු පිලේ සිටියත් මිතුරු පිලේ සිටියත් ඉටු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්තුවක් බව අපි තේරුම් ගන්න ඕනෙ. මේ බියකරු තත්වය යටතේ අපට කියන්න පුළුවන් ද, ‘අපි හරිම ස්මාර්ට් දේශපාලනයක් කරන්නේ. මැතිවරණයකින් තොරව අපි මේ ආණ්ඩුව පෙරළන්නේ නැහැ’ කියා. ගිය වතාවේ 113 හදා ගන්න බැරි වුණාට, 113 හදා ගන්න පුළුවන් නම් දැන් මේ ආණ්ඩුව පෙරළලා මේ බලගතු අධිරාජ්‍යවාදී දිගේලි වීම නතර කළ යුතු නැද්ද? පෙරළීමට හැකියාව තිබියදී මේ පරගැති ආණ්ඩුවට එක දවසක් හෝ බලයේ ඉන්න දුන්නොත් අපි කරන්නේ වරදක්. ‘ඡන්දයක් එන තෙක් මේ පරගැති ආණ්ඩුව පෙරළන්නේ නැහැ’ කියන්නේ වැරදි ස්ථාවරයක්. ඒක සතුරාට උවමනා කරන ස්ථාවරයයි.

‘ජනාධිපතිවරණය මැද ඉල්ලා අස්වීම’

දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකළහොත් තමන් 2019 නොවැම්බර්වලදී ඉල්ලා අස්වෙනවා, කියලා. 2019 නොවැම්බර් කියන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු සිදු වන කාලයයි. එතකොට එයා ඉල්ලා අස්වෙන්නේ ජනාධිපතිවරණ කටයුතු අතරතුරයි. ‘කොමිසමේ සභාපති අතුරුදහන්වීම නිසා ජනාධිපතිවරණයේ කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි’ කියලා ප්‍රවෘත්තියක් ඒ දවසේ ප්‍රචාරය වේවි. ඒකේ වාසිය ජනාධිපතිවරණයකින් ජය ගන්න බැරි අගමැති රනිල් වික්‍රමසිංහට නොවෙයි ද? ඔය වීර වික්‍රමාන්විත කතාවල පවතින කුමන්ත්‍රණ, අප හොඳින් වටහා ගත යුතුයි. 2019 කවර දිනයක හෝ ඉල්ලා අස්විය හැකියිනෙ. නමුත් මහින්ද දේශප්‍රිය මහත්තයා ඇයි මේ ජනාධිපතිවරණය අතරතුර ඉල්ලා අස්වෙන්න හදන්නේ ?

2002 – 2004 කාලයේ මෙවැනිම අභියෝගයක් ආවා. 2002 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි රට පාවාදෙන සැලැස්මක් සහිතව ප්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුමකට අස්සන් තැබුවා. එදා ඒ බලගතු අධිරාජ්‍යවාදී දිගේලි කිරීමට එරෙහිව ජවිපෙ සහ ජාතික හෙළ උරුමය සිටියා. ඔවුන් අද සතුරු කඳවුර ඇතුළේ. සතුරාට අද වනවිට හැකි වී තිබෙනවා, මේ පක්ෂ දෙක තමන්ගේ රූකඩ සේනාවන් බවට පත් කර ගැනීමට. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා බොරු වලවල්හි නොවැටී, මේ ඇත්ත අභියෝගය, තර්ජනය දැකලා ඉන් අපේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා කළ හැකි සියල්ල කිරීමට. මේ ජාතික සටන ජය ගැනීමට නම් ඒ සඳහා එකතු කළ යුතු සියලුදෙනා එකම කුඩයක් යටට එකතු කළ යුතුයි.

‘සතුරාට එරෙහි පුළුල්තම පෙරමුණ හැදිය යුතුයි’

ඒ ජාතික සටන සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යොදා ගැනීමට හැකිනම් යොදාගත යුතුයි. යොදා ගැනීමට වඩා පහසු, එතුමාටත් ඉන්න පුළුවන් පෙරමුණක්, කුඩයක් හදලා නම් අපි ඒක කරන්න ඕනෙ. කොටි ත්‍රස්තවාදය පරදවන්න කාලතුවක්කු හමුදාව, පාබල හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව පමණක් නොවෙයි සිවිල් ආරක්ෂක බලකායත් වුවමනා වුණා. සිවිල් ආරක්ෂක බලකාය ගම රැක්කේ නැතිනම් ගමෙන් හමුදාවට බැඳුණු තරුණයා ඉදිරි ආරක්ෂක වළල්ලට යන්නේ කොහොම ද? එකතු කරන්න පුළුවන් හැම ශක්තියක්ම එකතු කරලයි ඒ බිහිසුණු ත්‍රස්තවාදය අපි ජාතියක් ලෙස පරාජයට පත් කළේ. මේ ජාතික සටන ද දිනන්නනම් එකතු කර ගත හැකි සියලු ශක්තීන් එකට එකතු කරලා පුළුල්තම පෙරමුණ හැදිය යුතුයි.

මේ මහා ජාතික සටන ජය ගැනීම සඳහා පෙරමුණ ගන්න, ඉදිරියට එන්න කියා සියලු දෑහිතකාමී, දේශමාමක පිරිස් වෙතින් ඉල්ලා සිටිනවා.

ජාතික අරගලයට ජය වේවා!
මාතෘභූමියට ජයවේවා!!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019-02-01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*