Previous Story
කර්මාන්ත සඳහා අවශ්ය යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යන අපූරු දෙසොහොයුරෝ කර්මාන්ත ඇමති විමල් වීරවංශයන් හමුවෙති!
Posted On 19 Jan 2022
Comment: 0
කුඩා, මධ්ය හා මහා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්යතාව අනුව යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන රවීන්ද්ර දේවසිංහ සහ විරාජ් සංජීව යන මහත්වරු අද(18) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමුවී තම කර්මාන්තය ප්රවර්ධනය පිණිස සහයෝගය ඉල්ලා සිටියහ.
නව කර්මාන්ත සඳහා අවශ්ය යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීම, දැනට පවත්වාගෙන යනු ලබන කර්මාන්ත සඳහා ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වයට හානියක් නොවන ලෙස අවශ්ය යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීම මෙන්ම නිෂ්පාදන ධාරිතාව වැඩි කර දීමට සමත් ස්වයංක්රීය යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ හැකියාව තමන් විසින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්රික්ස් ප්රයිවට් ලිමිටඩ්(Andrix Pvt Limited) ආයතනයට පවතින බව එහි අධ්යක්ෂවරු වන දේවසිංහ සොහොයුරෝ අමාත්යවරයාට පෙන්වා දුන්හ.
දැනට නාවලපිටිය, රඹුක්පිටිය ප්රදේශයේ පවත්වාගෙන යනු ලබන තම කර්මාන්ත ශාලා
ව බස්නාහිර පළාතේ ස්ථාපිත කළහොත් එමගින් මෙරට කුඩා, මධ්ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්ය යන්ත්රසූත්ර කාර්යක්ෂමව නිපදවීමට තමන්ට හැකි බවත් යන්ත්රසූත්ර නිපදවීම සඳහා අවශ්ය කරන නවීන තාක්ෂණයෙන් යුත් මෙවලම් කීපයක් මිලදී ගැනීමට හැකි වුවහොත් තම නිෂ්පාදන ධාරිතාව වැඩි කළ හැකි බවත් ඒ සඳහා අවශ්ය සහයෝගය බලාපොරොත්තු වන බවත් රවීන්ද්ර දේවසිංහ මහතා අමාත්ය විමල් වීරවංශ මහතාට පැවසීය.
ඒ අනුව ඒ මොහොතේම බස්නාහිර පළාතෙහි කර්මාන්තපුරයකින් ඔවුන්ගේ කර්මාන්ත ශාලාවට සුදුසු ඉඩමක් ලබාදීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් කර්මාන්ත අමාත්යවරයා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ කර ගනිමින් උපදෙස් දුන්නේ පවත්නා ණය පහසුකම් යටතේ මිලියන 10කට වැඩි පොලිය රහිත ණය මුදලක් මෙම කර්මාන්තයේ ප්රවර්ධනය සඳහා ලබාදීමට පියවර ගන්නා ලෙසය. එසේම පෙබරවාරි 03, 04, 05, 06 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනයේ කුටියක් මෙම කුඩා, මධ්ය හා මහා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්ය යන්ත්රසූත්ර නිර්මාණය කර නිෂ්පාදනය කරන Andrix Pvt Limited’ ආයතනය සඳහා වෙන් කර දීමට කටයුතු කරන ලෙස ද අමාත්යවරයා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.
දැනට චීනයේ හා ඉන්දියාවේ නිෂ්පාදනය කර ආනයනය කරනු ලබන මෙරට කර්මාන්ත සඳහා අවශ්ය යන්ත්රසූත්රවලින් 90%ක් තමන්ට ශ්රී ලංකාව තුළ නිර්මාණය කර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බවත් එමගින් පිටරටට ඇදී යන විශාල විදේශ විනිමය ප්රමාණයක් ඉතිරි කර දීමට හැකියාව ඇති බවත් රවීන්ද්ර දේවසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්ය ලේකම්,කර්මාන්ත අමාත්යාංශය.2022. 01.18
