“ගෙවී ගිය වසරේ දී නිවැරදි ප්රතිපත්තිමය තීන්දු මගින් ශ්රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්විය හැකි බව පෙන්වා දීමට හැකි වුණා” – කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ
වසංගත තත්ත්වයක් තුළ මතුව ඇති කෙටිකාලීන ඍණාත්මක බලපෑම් හමුවේ වුව ද ගෙවී ගිය වසරේ ගනු ලැබූ නිවැරදි ප්රතිපත්තිමය තීන්දු මගින් ශ්රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්වීමට හැකි වූ බවත් ‘අබලි ලෝහ අපනයනය නතර කිරීම’ මගින් දේශීය වාත්තු කර්මාන්තයේ අමුද්රව්ය හිඟයට පිළියම් ලැබී එම කර්මාන්තයේ සිදු වූ වර්ධනයත් ‘වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළව සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) හඳුන්වාදීම’ මගින් එම කර්මාන්තයේ නියැලී සිටි සමාගම් සංඛ්යාව 03 සිට 10 දක්වා ඉහළ යාම වැනි ඒවා ඊට නිදසුන් බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
එසේම ඉදිරි වසරේ දී රටට හඳුන්වා දෙන ජාතික කර්මාන්ත ප්රතිපත්තියට අනුරූපීව දැනට බලාත්මක කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කරමින් ‘උපායමාර්ගිකව ආරක්ෂා කරගත යුතු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම’ වැනි ඉහත අන්දමේ ප්රතිපත්තිමය තීන්දු රැසක් නීතිමය වශයෙන් ගැනීමට ද සූදානම් බවත් පවසන කර්මාන්ත අමාත්යවරයා, ධනය තිබෙන, දක්ෂ කර්මාන්තකරුවන් රැසක් මේ රටේ සිටින බවත් ඔවුන්ට විශ්වාසයෙන් යුතුව සිය ධනය ආයෝජනය කළ හැකි පරිසරයක්, එම නෛතික බලයක් සහිත ප්රතිපත්තිමය තීන්දු ගැනීම තුළින් ලබා දිය හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉකුත් 08 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති කර්මාන්ත අමාත්යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයේ දී පිළිතුරු කතාව සිදු කරමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.
“ගෝලීය වසංගතයට මුහුණ දී සිටින මොහොතක වුවත් එම තත්ත්වය යටතේත් ගෙවී ගිය වසර 02 තුළ මේ රටේ කර්මාන්තකරණයේ ඉදිරි ගමන වෙනුවෙන් බලවත් පියවර කිහිපයක් අපට තබන්න පුළුවන් වූ බව ආරම්භක වශයෙන් පවසන්න කැමතියි.
‘ජාතික කර්මාන්ත ප්රතිපත්තිය සූදානම්’
දැනටමත් අපි ජාතික කර්මාන්ත ප්රතිපත්තිය සකස් කරමින් තිබෙනවා. ලබන වසරේ මැද භාගය වන විට එයට කැබිනට් අනුමැතිය අරන් මේ සභාවට ඉදිරිපත් කරලා, එය නීතියක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඕනෑම අමාත්යාංශයකට ජාතික ප්රතිපත්තියක් සකස් කිරීමට පුළුවන්. නමුත් ඒ ජාතික ප්රතිපත්තියට අනුරූප වන ආකාරයට විෂයට අදාළ අණපනත් සංශෝධනය කර ගැනීම අත්යවශ්යයි.ඒ නිසා එම ජාතික ප්රතිපත්තිය ක්රියාවට නැගීමට උචිත වන ආකාරයට 1990 අංක 46 දරන කර්මාන්ත සංවර්ධන පනතට අවශ්ය සංශෝධන රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. දෑනටමත් ඒ වෙනුවෙන් අපි මූලික කටයුතු ආරම්භ කොට තිබෙනවා.
‘කර්මාන්ත උපදේශක සභා 20ක්’
කර්මාන්ත සංවර්ධනයේ දී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන සියලුම කර්මාන්ත ක්ෂේත්රයන් ආවරණය වන පරිදි අපි කර්මාන්ත උපදේශක සභා විස්සක් පත් කොට තිබෙනවා. මේ පිළිබඳව අපේ අණපනත්වල සඳහන්ව තිබුණත් මීට පෙර සිටි කිසිදු කර්මාන්ත අමාත්යවරයෙකු යටතේ මේ උපදේශක සභාවන් පත් කිරීම සිදුවෙලා තිබුණේ නැහැ. නිදසුනක් ලෙස සම්භාණ්ඩ කර්මාන්තය පිළිබඳ උපදේශක සභාව ගත්තොත් එයට එම කර්මාන්තයේ නියැලෙන විවිධ අංශවල නියෝජිතයන් සහභාගී වෙනවා. ඒ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් එහි ගැටළු පිළිබඳ සාකච්ඡා වෙනවා. ඒ ගැටළු සම්බන්ධයෙන් අපේ මට්ටමින් ගත යුතු තීරණ අපි ගන්නවා. ඊට එහාට ගිහින් ගත යුතු තීන්දු තිබෙනවානම් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය සහිතව ඒවා අරගන්නවා. මෙවැනි ක්රියාදාමයකටයි අපි පණ දුන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවත් අපට මේ උපදේශක සභා දෙවතාවක් පමණ කැඳවීමට හැකි වුණා. ඉදිරියේදී ඉතා කාර්යක්ෂමව උපදේශක සභා යොදාගනිමින් මෙම සියලු කර්මාන්ත ක්ෂේත්රවල ප්රවර්ධනයට කටයුතු කරනවා. මෙමගින් අප බලාපොරොත්තු වෙන්නේ අපේ අදහස් මත නොව කර්මාන්තකරුවන්ගේ අදහස් හා යෝජනා, ඕනෑ එපාකම් අනුව එම කර්මාන්ත ක්ෂේත්රවල ඉදිරි ගමන, ප්රවර්ධනය සිදු කරන්නයි.
‘වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක්’
ඒ විතරක් නොවෙයි, අපි මේ රටේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ ප්රවර්ධනයට අදාළව ඉදිරි පියවරක් තබා තිබෙනවා. එම කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ජනගත කිරීමට අපට මේ වසරේදී හැකි වුණා. මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් අපි ඉදිරිපත් කර තිබෙන්නේ යම් වාහනයක් එකලස් කිරීමේ දී දේශීය අගය එකතු කිරීමේ ප්රතිශතය වැඩි වන විට, ඊට අනුලෝමව ලැබෙන බදු සහනහ වැඩි වන ක්රමවේදයක්. වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වාදීමට පෙර ශ්රී ලංකාව තුළ මෙම කර්මාන්තයේ නියැලී සිටියේ සමාගම් 03 යි. මේ වන විට වාහන එකලස් කිරීමේ කර්මාන්තය සමග ලියාපදිංචි වී අප සමග කටයුතු කරන සමාගම් ගණන 10ක්. ඒ විතරක් නොවෙයි ජාත්යන්තර වශයෙන් ප්රබල සන්නාම හිමි සමාගම් පවා මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය අධ්යයනය කරලා දේශීය වශයෙන් වහන එකලස් කිරීමේ කර්මාන්ත ඇරඹීම සඳහා ඉදිරිපත් වන ප්රවණතාවක් ඇතිව තිබෙනවා. කාර්, මෝටර් සයිකල්, ජීප්, ට්රක් රථ හා ලොරි යන වාහන තමයි මේ යටතේ එකලස් වන්නේ. මේ දේශීය අගය එකතු කිරීම 20% සිට 40% දක්වා ප්රමාණවලින් මේ වන විට සිදු වෙනවා. මෙම අගය තවත් ඉහළට ගෙන එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මෙසේ මේ රට තුළ වාහන එකලස් කිරීම මගින් අපට ඩොලර් මිලියන 300ක පමණ විදේශ විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා.එසේම මෙම කර්මාන්තයේ වර්ධනයත් සමඟ නව තාක්ෂණික දැනුම රට තුළට ගලා ගෙන ඒම සිදුවෙනවා. එසේම අලුත් රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඒ විතරක් නොවෙයි රබර්, ප්ලාස්ටික්, ඉලෙක්ට්රොනික මෘදුකාංග නිෂ්පාදන කර්මාන්තවල මෙමඟින් පිබිදීමක් ඇති වෙනවා. වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ දේශීය අගය එකතු කිරීමේ ප්රතිශතය වැඩි වන තරමට ඉහත නිෂ්පාදන කර්මාන්තවලට ලැබෙන ප්රතිලාභත් වැඩි වෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දී ගතවුණු මාස 06 තුළ පමණක් දේශීය වශයෙන් විවිධ වර්ගයේ වාහන 3096 එකලස් කර තිබෙනවා.
‘දේශීය වාත්තු කර්මාන්තයේ පිබිදීම’
දේශීය වාස්තු කර්මාන්තය හෙවත් ලෝහ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය පණගැන්වීමට, අබලි ලෝහ රටින් පිටට රැගෙන යාම නැවැත්වීමේ ප්රතිපත්තිමය තීන්දුවක් සඳහා අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. එම ප්රතිපත්තිමය තීන්දුවේ ප්රතිඵලයක් ලෙස දේශීය වාස්තු කර්මාන්තයේ, ලෝහ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ විශාල පිබිදීමක් අද ඇතිව තිබෙනවා. එම කර්මාන්ත ක්ෂේත්රයේ ආනයනික නිෂ්පාදන අප වෙළඳපොළේ නියෝජනය කරන පංගුවට වඩා වැඩි පංගුවක්, අද දේශීය වාස්තු කර්මාන්තයේ නිෂ්පාදන නියෝජනය කරනවා. අපි ගත්තු ඒ ප්රතිපත්තිමය තීන්දුවේ ප්රතිඵලයක් විදියට එවැනි වර්ධනයක් අත්පත් කර ගැනීම ගැන අපි සතුටු වෙනවා. අබලි ලෝහ ටික රට යවලා, අපේ දේශීය වාස්තු කර්මාන්තකරුවාට අමුද්රව්ය ටික අහිමි කරලා, ජාවාරම්කරුවන්ට ආදායම් මාර්ග හදා දුන් අවධිය අවසන් කිරීමේ ප්රතිපත්තිමය තීන්දුවයි අපි ගන්නේ.
‘දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය ප්රවර්ධනයට පියවර’
මමත් ගරු කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාත් දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයේ ප්රවර්ධනයට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එමගින් කිරි ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නව ආයෝජන අවස්ථා, දේශීය ආයෝජකයන්ට උදාකර දීමට හැකි වාතාවරණය ලබන වසර තුළ නිර්මාණය වේවි.
“දේශීය සිනමාවට කර්මාන්තයක් ලෙස ඓතිහාසික පිළිගැනීමක් ලබා දුන්නා”
බයිස්කෝප් යුගයෙන් ඩිජිටල් පරිවර්තනීය යුගයකටත් ඇවිල්ලා, 04 වැනි කාර්මික විප්ලවයටත් ලෝකය ගමන් කරලා තිබෙද්දී අපේ සිනමාව බයිස්කෝප් කියන යුගයට සීමා වී තිබුණා. බොහෝ දියුණු රටවල් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගෙන සෙසු කර්මාන්තවලට තිබෙන සියලු අවස්ථාවන් සිනමාවට ලබා දෙනවා. අපේ සිනමාව ප්රමාණාත්මකව කුඩා වුණත් ගුණාත්මකව ඉතා ඉහළ මට්ටමක තිබෙන සිනමාවක්. පිළිගත් ජාත්යන්තර සිනමා උළෙලවල දී අනුපාතයක් ලෙස වැඩිම සම්මාන ලබන තත්ත්වයක් අපට තිබෙන්නේ නමුත් එවැනි සිනමාවක් Netflix වැනි flatfoamවල නැහැ. ඒකට හේතුව අපේ සිනමාපට සිංහල භාෂාවෙන් කරන එක විතරක් නොවෙයි, සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගෙන, කර්මාන්තයක් ලෙස ප්රවර්ධනය කරන මෙහෙයුමක් නැතිකම. සිනමා ක්ෂේත්රයේ සහෘදයන් ඒ අඩුපාඩුව අපට පෙන්වා දුන්නාම කර්මාන්ත අමාත්යවරයා ලෙස අපි අදාළ කැබිනට් පත්රිකාව සකස් කරලා සස්කෘතික අමාත්යතුමන් ලෙස ගරු අග්රාමාත්යතුමන්ගේත් එකඟතාව අරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා මේ රටේ සිනමාවට කර්මාන්තක් ලෙස ඓතිහාසික පිළිගැනීමක් රැගෙන දුන්නා. කර්මාන්තයක් ලෙස සිනමාව පිළිගන්නවා කියන්නේ මේ රටේ සෙසු කර්මාන්තවලට ලැබෙන සෑම සහනයක්ම ඉදිරියේදී සිනමාව සඳහාත් ලැබෙනවා කියන එකයි. එතැනින් නොනැවතී සිනමා කර්මාන්තය ප්රවර්ධනය සඳහා අපේ පැත්තෙන් විය යුතු සෑම දායකත්වයක්ම ඉදිරි වසර තුළ ලබාදීමට කටයුතු කරන බවත් අවධාරණය කිරීමට කැමතියි. එසේම යම් රටක සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගනු ලැබුවාම UNESCO සංවිධානයේ දායකත්වය එම සිනමා කර්මාන්තයට ලැබෙනවා. එම තත්ත්වය ද ඉදිරියේදී සැලකිල්ලට ගෙන අපට සිනමා කර්මාන්තය ඉදිරියට ගෙන යාමට පුළුවන්.
“One Stop Shop : ආයෝජකයන්ට පහසුකම් සැපයීමේ මධ්යස්ථානයක්”
හම්බන්තොට වරාය ආශ්රිතව විශාල කර්මාන්ත කලාපයක් ඉදි වෙලා තිබෙනවා. දැනටමත් විවිධ ආයෝජකයන් එම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ආරම්භ කොට තිබෙනවා. ඉදිරියේදී තවත් ආයෝජකයන් විශාල පිරිසක් එම කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීමට බලාගෙන ඉන්නවා. මේ පිරිසට කර්මාන්ත ඇරැඹීමට රාජ්ය අංශයේ සියලු අනුමැතීන් හා වෙනත් සේවාවන් ‘එක වහලක් යට සිට’ ලබාගත හැකි ක්රමවේදයක් සහිත One Stop Shop එකක අවශ්යතාව අප දැක්කා. ඒ අනුව යමින් කැබිනට් අනුමැතිය ද සහිතව මේ වන විට හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහ (HIPG) පරිශ්රයේ ඉහත කී One Stop Shop විවෘත කොට තිබෙනවා. මෙම පහසුකම් සැපයීමේ මධ්යස්ථානය මගින් හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්ත කලාපයේ ආයෝජනයට එන කර්මාන්තකරුවන්ට පමණක් නොවෙයි, දකුණු හා ඌව පළාත්වල ආයෝජනයට සූදානම් වන කර්මාන්තකරුවන්ට ද අවශ්ය රාජ්ය අංශයේ අනුමැතීන්, ඇතුළු සේවා පහසුකම් සියල්ල ඉතාමත් කාර්යක්ෂමව සැපයීමට කර්මාන්ත අමාත්යාංශය සූදානම්. අපේ රටට කර්මාන්තයක් කරන්න ආයෝජකයකු ආවාම හතර වටේ රැගෙන ගිහිල්ලා, අනුමැතීන්වලට විශාල කාලයක් නාස්ති කරලා එපා කරවලා මේ රට දාලා යන තත්වයක් ඇති කරලා තිබෙනවා. මෙමගින් ඒ අවාසනාවන්ත ඉරණම මේ රටේ කර්මාන්ත සඳහා ආයෝජනය කරන කිසිම ආයෝජකයකුට සිදු නොවන ලෙස කටයුතු කිරීමට අපි ඉදිරියේදී කැප වෙනවා.
නව කර්මාන්ත කලාප අරඹන්න රුපියල් මිලියන 5000ක්!
වසංගත තත්වයක් මැද්දේ වුවත් මේ රටේ දේශීය කර්මාන්තකරුවන් 200කට අධික පිරිසක් නව කර්මාන්ත ශාලා ආරම්භ කරන්න කර්මාන්ත අමාත්යාංශයට අයත් කර්මාන්ත කලාපවලින් ඉඩම් ඉල්ලා තිබෙනවා. මේ අවශ්යතාව දැකලා 2022 මෙවර අය වැයෙන් මුදල් අමාත්යවරයා විසින් නව කර්මාන්ත කලාප ආරම්භ කිරීම සඳහා කර්මාන්ත අමාත්යාංශයට රුපියල් මිලියන 5000ක් වෙන කොට තිබෙනවා. එමගින් අපි බලාපොරොත්තු වෙනවා දැනටමත් නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ඉඩම් ඉල්ලා සිටින 200කට අධික දේශීය කර්මාන්තකරුවන්ගේ පමණක් නොවෙයි, ඊට වඩා වැඩි පිරිසකගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්ය කර්මාන්ත කලාප හදලා ඒ සියලුදෙනාට ඒවායේ පහසුකම් සපයා දෙන්න.
කටුනායක අක්කර 100ක කාර්මික වෙළඳ කලාපයක්!
කටාන ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනී, ගරු රාජ්ය ඇමතිනී සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මැතිනිය, ගරු අමාත්ය ප්රසන්න රණතුංග මැතිතුමා, ගරු රාජ්ය අමාත්ය නිමල් ලන්සා මැතිතුමා ඇතුළු මේ සියලුදෙනාගේම සහයෝගය ඇතිව අපට හැකිව තිබෙනවා කටුනායක ප්රදේශයේ අක්කර 100ක කාර්මික වෙළඳ කලාපයක් ආරම්භ කිරීම සඳහා අවශ්ය කටයුතු කරන්න. එම කාර්මික වෙළඳ කලාපය තුළ නව කර්මාන්ත ඉදිකිරීම පමණක් නොවෙයි, ඒවා මගින් නිපදවනු ලබන නිෂ්පාදන තොග මිලට ලබා ගත හැකි ස්ථානයක් බවට එම කලාපය පත් කරන්න අපි කටයුතු කරනවා. එසේම කටුනායක ගුවන් තොටුපළට එන සංචාරකයන්ට, එම ගුවන් තොටුපළේ වෙනත් ගුවන් යානයකට මාරුවීම සඳහා පැය 10 – 12 රැඳී සිටින ගුවන් මගීන්ට මේ නිෂ්පාදන මිලදී ගත හැකි වාතාවරණයක් එම පරිශ්රය තුළ සෑදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පාලින්දනුවර අක්කර 200ක කර්මාන්ත කලාපයකට කටයුතු ආරම්භ කර තිබෙනවා. ත්රිකුණාමලේ අක්කර 50ක කර්මාන්ත කලාපයකට සහ මාතර වැලිගම අක්කර 200ක කර්මාන්ත කලාපයකට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මේ සියල්ලම කාර්යක්ෂමව ආරම්භ කරලා මේ රටේ කර්මාන්ත පුනරුදයකට අවශ්ය පරිසරය හදලා දෙන එක තමයි අපේ මූලික වගකීම.
පසුගිය මාස 10 ඇතුළත පමණක් කර්මාන්ත අමාත්යාංශයට අයත් කර්මාන්ත කලාප තුළ නව කර්මාන්ත 91ක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. ඒ නව කර්මාන්ත සඳහා අවශ්ය බිම් කොටස් අපි ලබා දුන්නා. ඒ කර්මාන්ත 91හි සමස්ත ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 4000ක් පමණ වෙනවා. එමගින් ඍජු රැකියා අවස්ථා 8042ක් නිර්මාණය වෙනවා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත කලාපවලත් පසුගිය මාස 10 ඇතුළත නව කර්මාන්ත 05ක් ආරම්භ කිරීමට අපි කටයුතු කළා. රුපියල් මිලියන 142ක ආයෝජනයක් ඒ වෙනුවෙන් සිදු කොට තිබෙනවා. මෙමගින් සෘජු රැකියා 91ක් නිර්මාණය වන බවයි අපේ තක්සේරුව. ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පසුගිය මාස 10 තුළ ක්ෂුද්ර කර්මාන්ත 188ක් අපි ආරම්භ කර තිබෙනවා. ඒවාට සහයෝගය ලබා දී තිබෙනවා. ඒවා මගින් ද රැකියා අවස්ථා 450ක් පමණ නිර්මාණය වේවි, කියා අපි තක්සේරු කරනවා.
ණය යෝජනා ක්රම මඟින් කර්මාන්ත 147කට රුපියල් මිලියන 1200ක්!
කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ණය යෝජනා ක්රමයක් වන ‘Smile III’ සහ පරිසර හිතකාමී චක්රීය අරමුදල් ණය යෝජනා ක්රමය මගින් මේ වසර තුළ කර්මාන්ත 147ක් සඳහා රුපියල් මිලියන 1200ක ප්රදානයන් සිදු කොට තිබෙනවා. එමගින් දේශීය වශයෙන් කර්මාන්ත ඇරැඹීමට උනන්දුවෙන් සිටි තරුණතරුණියන්ට අවශ්ය මූල්ය සහයෝගය ලබා දීමට අපට හැකියාව ලැබුණා. මෙම ණය යෝජනා ක්රමයන් චක්රීය අරමුදලක් නිසා වාණිජ බැංකු සම්බන්ධ කරගෙන තමයි සිදු කරන්නේ. වාණිජ බැංකු තමන්ගේ නිර්ණායක 100%ක් බලන තැන්වල දී යම් ගැටළු මතු වෙනවා. ඒවා හැකිතාක් දුරට නිරාකරණය කර දීමට අපි බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ, හරිත ලකුණ බවට පත්කිරීමට UNIDO සමග ගිවිසුම් ගත වුණා
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග කර්මාන්ත අමාත්යාංශය ඉදිරි වසර 05 සඳහා ගිවිසුමකට එළඹුණා. එමගින් කෘෂි ආහාර අංශයේ සංවර්ධනය සඳහා ද දේශගුණික විපර්යාස අවම කිරීම තුළින් පරිසර හිතකාමී බලශක්ති සංරක්ෂණ ක්රමවේදයන් කර්මාන්ත ක්ෂේත්රයට හඳුන්වා දීමට ද ශ්රී ලංකාවට ඩොලර් මිලියන 18ක ප්රදානයක් සිදු කිරීමට නියමිත අතර කර්මාන්ත අමාත්යාංශය පමණක් නොවෙයි සෞඛ්ය, පරිසර, වෙළඳ, බලශක්ති අමාත්යාංශ හා එක්ව ඉහත ප්රදානය යටතේ ශ්රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ, ‘හරිත ලකුණ’ බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
IDB සහ BCC ආයතන ලාභ ලබන තත්ත්වයට…
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේ දී ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණා. පසුගිය වසර අගදී එහි සේවකයන්ට ප්රසාද දීමනා ලබාදීමට ද හැකිව තිබුණා. මේ වසරේදීත් ඔවුන් ඒ තත්ත්වය උදා කරගෙන තිබුණත් මේ මාසය අවසානයේ තමයි අදාළ සංඛ්යාලේඛන, දත්ත ලැබීමට නියමිතව තිබෙන්නේ.
එසේම BCC ආයතනය 2021 පළමු මාස 06 තුළ පමණක් රුපියල් මිලියන 47ක ලාභයක් ලබා තිබෙනවා. කලින් වසර සමග සසඳා බැලුවාම එය 169%ක වර්ධනයක්. මා මෙහිදී BCC ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමා ඉතාම කැපවීමෙන්, ඉතාම කාර්යක්ෂමව ඒ ආයතනයට නායකත්වය දෙනවා. මේ වන විට වැඩිව ඇති වෙළඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබා දීමට නොහැකි තත්ත්වයකුයි අද BCC ආයතනයට උදාවී ඇත්තේ.
madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් අරඹනවා
ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් අපි ආරම්භ කළා ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ ජාතික ව්යාපෘතිය. අපේ රටේ ගුණාත්මකභාවයෙන් ඉතා උසස් දේශීය නිෂ්පාදන සඳහා ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය ලබා දීමත් එම සන්නාමය ලබාගත් නිෂ්පාදනවල අලෙවිය ප්රවර්ධනය කිරීමට මැදිහත් වීමත් එමගින් සිදුකරමින් තිබෙනවා. ඒ වගේම තව දින කිහිපයකින් නිල වශයෙන් madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය ජනගත කිරීමට නියමිතව තිබෙනවා. එය ව්යාපාරිකයා සහ පාරිභෝගිකයා (B to C) සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳ ද්වාරයක් පමණක් නොවෙයි, ව්යාපාරිකයා සහ ව්යාපාරිකයා (B to සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳ ද්වාරයක්. එමගින් මේ රටේ වෙළෙඳපොළ සහ විදේශීය වෙළෙඳපොළ ජයගත නොහැකිව, ඉතාම හොඳ දේශීය නිෂ්පාදනයක් අතේ තියාගෙන හූල්ලන දේශීය නිෂ්පාදකයන්ට, ඉතාම සහනදායී ක්රමවේදයක් යටතේ දෙස් විදෙස් වෙළෙඳපොළ අතික්රමණය කිරීමට අවස්ථාව උදා කිරීමට අපට හැකි වේවි. සුප්රකට alibaba.com වැනි අන්තර්ජාල වෙළඳ ද්වාර තුළ තිබෙන සියලුම පහසුකම් මෙම madeinsrilanka.org තුළ ද ඇතුළත් කොට තිබෙන බව ද කියන්න කැමතියි.
‘ඛනිජ වැලි අමුද්රව්ය ලෙස රට පැටවීම අවසන් කරනවා’
ලංකා ඛනිජ වැලි සමාගම මෙතෙක් කලක් කළේ ඛනිජ වැලි යම් වර්ගීකරණයක් කරලා අමුද්රව්ය ලෙස රට පැටවීම පමණයි. පළමු වතාවට අන්තර්ජාලය ඔස්සේ මේ ඛනිජ වැලි අමුද්රව්ය ලෙස විකිණීමට, පසුගිය මාසයේ ටෙන්ඩරයක් කැඳෙව්වා, වෙනදා ටෙන්ඩරයට මව් සමාගම එන්නේ නැහැ, එන්නේ අතරමැදියෝ. අතරමැදියා අරන් මව් සමාගමට දීමයි මෙතෙක් කලක් සිදුවුණේ. ඒක නතර කිරීමටයි අපි අන්තර්ජාලය ඔස්සේ මෙම ටෙන්ඩර කැඳවීම් සිදු කළේ. මෙවර සමාගම් 10කට වැඩි ප්රමාණයක් ටෙන්ඩරයට ඉල්ලුම් කළා. ඒ සියලු සමාගම් මව් සමාගම්, අවසාන වශයෙන් මිලදී ගැනීම සිදු කරන සමාගම්. මෙහිදී මගේ මතකයේ හැටියට ටයිටේනියම්වලට හැරුණාම අනෙක් සියලු ඛනිජ වැලි වර්ගවලට ටෙන්ඩර් කමිටුව බලාපොරොත්තු මිලට වඩා වැඩි මිලක් ලැබෙන තත්ත්වයක් අපට උදා කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ අමුද්රව්ය ලෙස ඛනිජ වැලි විකිණීම. ඒක නොවෙයි සිදුවිය යුත්තේ.
ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය සහිතව උනන්දුව ඇති ජාත්යන්තර පාර්ශවවලින් අගය එකතු කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස කැඳවීමක් කළා. ඒ අනුව ජපානය, චීනය, ඕස්ට්රේලියාව, ඉන්දියාව ඇතුළු රටවල මෙම ක්ෂේත්රයේ ප්රබල සමාගම් 11ක් අභිලාෂ ප්රකාශ කිරීමේ ලේඛන (EOI) ඉදිරිපත් කර තිබෙනවා. දැන් අපි ව්යාපෘති යෝජනා කැඳවීමේ අවධියට පැමිණ තිබෙනවා. එම ව්යාපෘති යෝජනා අරගෙන ඒවායින් වඩා හොඳ, වඩා පරිසමාප්ත අගය එකතු කිරීම සිදු කරන, රටට වඩා වාසිදායක සමාගම කුමක්ද, කියා තෝරාගන්න අපි සූදානම්. එසේ තෝරාගත් සමාගමට ත්රිකුණාමලයෙන් ඉඩම් ලබා දීලා ඔවුන්ගේ අගය එකතු කිරීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පහසුකම් සැපයීමට අපි සූදානම්. එම කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ වූවාට පසු ලංකා ඛනිජ වැලි සමාගම එතැන් සිට කිසිම දිනක අමුද්රව්ය හැටියට ඛනිජ වැලි මේ රටින් පිට කරන්නේ නැහැ. ලංකා ඛනිජ වැලි සමාගම අගය එකතු කිරීමේ සමාගමට අවශ්ය ඛනිජ වැලි මෙට්රික් ටොන් ප්රමාණය සපයනවා. එම සමාගම අවසන් නිෂ්පාදනයක් (End Product) දේශීය වෙළඳපොළට සහ විදේශීය වෙළඳපොළට සපයනවා. මහවැලි ගඟ දිගේ මුහුදට ගලා ගොස් එකතු වන රොන් මඩ තැන්පත් වෙලා අපට ලබාදෙන ඒ සොබාදහමේ මහා දායාදය, අමුද්රව්ය හැටියට නොරටුන්ට විකුණනවා වෙනුවට අගය එකතු කිරීම දක්වා ගෙනයාමේ ඉලක්කය අවසන් වශයෙන් සාක්ෂාත් කරගන්න අපට ඉදිරි වසර 02 තුළ හැකිවෙනවා. (පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ප්රසාදය)
‘යළි පණදුන් වාලච්චේන කම්හලෙන් කඩදාසි මෙට්රික් ටොන් 1000කට ආසන්න ප්රමාණයක්’
ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නාට පසුව 2021 වසරේ මේ දක්වා කඩදාසි මෙට්රික් ටොන් 950ක් නිෂ්පාදනය කරලා දේශීය වෙළඳපොළට යවන්න හැකි වූවා. (පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ප්රසාදය) එමගින් රුපියල් මිලියන 95කට අධික මුදලක් ජාතික කඩදාසි සමාගම උපයා තිබෙනවා. මේ වාලච්චේන කඩදාසි කම්හල කියන්නේ, අබලි යකඩවලට විකුණන්න තිබුණු තැන. නැගෙනහිර ජර්මනියෙන් ලැබුණු ඉපැරණි යන්ත්රසූත්ර ටික පැත්තකට දාලා තිබුණු තැන. මුද්රණ යන්ත්රවලට විදුලිය සැපයූ වයර් කපලා ඇලුමිනියම් කම්බි ටිකත් විකුණන් කාලා තිබුණු තැන. මළ සොහොන් පිට්ටනියක් බවට පත් කරලා තිබුණු තැන. එවැනි තැනකට තමයි අපි යළි පණ දුන්නේ. අද 50කට අධික සේවක පිරිසක් එහි වැඩ කරනවා. එහි සේවය කරන ඒ අය මෙහෙන් ගියපු සිංහල දරුවන් නොවෙයි, වාලච්චේන ආශිත ප්රදේශවල මුස්ලිම් සහ දෙමළ පවුල්වල දරුවොයි.
කර්මාන්ත පනත සංශෝධනය කරමින් කර්මාන්තකරුවාට විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි පරිසරයක් සකසා දීම
නිවැරදි ප්රතිපත්තිමය තීන්දු ගැනීම මගින් පමණක් අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ ඉහළ වර්ධනයක් ඇති කළ හැකි බව අප ඉහතදී පෙන්වා දුන්නා. ජාතික කර්මාන්ත ප්රතිපත්තියට අනුරූපව, වත්මන් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කරමින් තවත් වැදගත් ප්රතිපත්තිමය තීන්දු රැසක් ඉදිරි වසරේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ධනය ඇති, දක්ෂ කර්මාන්තකරුවාට විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි පරිසරයක් හැදීම අපේ අපේක්ෂාවයි. ඒ යටතේ රටේ ආහාර සුරක්ෂිතතාවට බලපාන කර්මාන්ත, දේශීය දැනුම් පද්ධතිය සහ දේශීය අමුද්රව්ය මත පදනම් වන කර්මාන්ත, අගයක එකතු කිරීමේ කර්මාන්ත යන උපායමාර්ගිකව වැදගත් කර්මාන්ත සහ ළදරු අවධියේ පවතින කර්මාන්ත හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීමට නීතිමය ප්රතිපාදන පැනවීමට කටයුතු කරනවා. එසේම නිදහස් වෙළඳ ගිවිසුම් මගින් දේශීය කර්මාන්ත පද්ධතියට විය හැකි අහිතකර බලපෑම් වැළැක්වීමට ද දේශීය නිමි නිෂ්පාදන සඳහා අමුද්රව්ය ආනයනයේදී මහා සමාගම් සහ කුඩා, මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් අතර සම තත්ත්වයෙන් තරග කිරීම සඳහා ද නීතිමය ප්රතිපාදන පැනවෙනු ඇති. අපනයන සහ ආනයන ආදේශන දේශීය කර්මාන්ත දිරිමත් කිරීමට ද නීතිමය ප්රතිපාදන පැනවීමට අප පියවර ගනු ලබනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.12.09
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.12.09