BREAKING NEWS

මේ කි‍්‍රයාත්මක වන්නේ රනිල්-ඇමරිකානු න්‍යාය පත‍්‍රයයි

2019-05-26 ඉරිදා දිවයින සංග්‍රහය (8 පිටුව බලන්න)

මේ කි‍්‍රයාත්මක වන්නේ රනිල්-ඇමරිකානු න්‍යාය පත‍්‍රයයි; මාස හතරකට කලින් රනිල් වෙනුවෙන් උසාවිගිය, පාර්ලිමේන්තුවේ අත උස්සන කට්ටිය එකපාරටම කොහොමද ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවේ? ඕකත් රනිල්ගේ කොන්ත‍්‍රාත් එකක්!!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය, ඇමරිකාව සමග ගසන ගිවිසුම් ඇතුළු කාරණා පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡුාවක සටහන මතු දැක්වේ.

ප‍්‍රශ්නය – පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන ආණ්ඩුව කියන්නේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් කියලා. මේ ගැන ඔබේ මතය කුමක්ද?

පිළිතුර – වහාබ්වාදී අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ පසුගිය වසර කිහිපය තුළ සිට සැලසුම් සහගත මෙහෙයවීමක් තිබුණා. 2010 දී යුද හමුදා බුද්ධි අංශය ඔවුන් ගැන නිරීක්‍ෂණය කළා. ඔය ඊබ‍්‍රාහිම් කියන පුද්ගලයාගේ ගෙදර පවා 2012 සිට සමීපව අධ්‍යයනය කර තිබෙනවා. ඒ ගෙදර යන්න එන්නේ කවුද පවා අධ්‍යයනය කර තිබෙනවා. ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් 11 කදී මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම දින 12 කට පෙර එවැනි ප‍්‍රහාරයක් ඇති වෙන්න පුළුවන් වෙයි කියා බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණා. එහෙම තිබියදීත් මේක වෙන්න ඉඩ හැරියේ ඇයි? මැලේසියාවේ අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් ලෑස්ති වෙලා හිටියේ බෞද්ධ පන්සල්වලට සහ කතෝලික දේවස්ථානවලට පහර දෙන්නයි. බුද්ධි අංශ තොරතුරු දැන ගත් නිසා මැලේසියාවේ එම අපරාධය වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක තමයි විය යුත්තේ. පාස්කු දා ප‍්‍රහාරයට දින කිහිපයකින් පසුව තමයි අයිඑස්අයිඑස් මෙහි වගකීම ගත්තේ. අයිඑස්අයිඑස් එක කියන්නේ ඇමරිකා එකසත් ජනපද නිර්මාණයක්. මේවා මෙහෙම වෙන්නේ ඇයි? ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඇමෙරිකාවට අවශ්‍යයි ඔවුන්ගේ 7 වැනි නාවික සේනාංකය අප රටේ කඳවුරු ගත කරන්නයි. එක ගිවිසුමක් තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති ඇමරිකානු ආයතනයක් සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම. අනික් දෙක තමයි සෝෆා ගිවිසුම සහ ඒසීඑස්ඒ ගිවිසුම. මේ ගිවිසුම්වලින් එකක් අත්සන් කර තිබෙනවා. ඒසීඑස්ඒ කියන ගිවිසුමෙන් වෙන්නේ, ශ‍්‍රී ලංකාවේ වරායන් සහ ගුවන් තොටුපළ පමණක් නොව අභ්‍යන්තර කඳවුරු පිහිටුවීමට ඇමරිකාවට බලය ලැබීමයි. දැනට ත‍්‍රිකුණාමලය වරාය පිටත සැපයුම් කේන්ද්‍රයක් ලෙස නවතා ඇති ජෝන් සී. ස්ටෙනින්ස් නම් යුද නෞකාවේ හමුදා භටයන් 6500 ක් රැඳවිය හැකියි. යුද ගුවන් යානා සියයක් රඳවන්න පුළුවන්. ඒ අනුව ලෝකයේ විශාලතම හමුදා ඛණ්ඩය වන ඇමෙරිකානු 7 වන ඉන්දු පැසිෆික් කොමාන්ඞ් නමින් හැඳින්වෙන හමුදාවේ ප‍්‍රධාන සැපයුම් කේන්ද්‍රය බවට ශ‍්‍රී ලංකාව පත් වෙනවා. ඊට පහසුකම් සැලසීම සඳහා ත‍්‍රිකුණාමලය, කොළඹ සහ කටුනායක ගුවන් තොටුපළ යා කෙරෙන ආයෝජන කලාපයක් පිහිටුවීම ආවරණය වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින්.

පසුගියදා විදේශ ඇමැතිවරයා ඇමරිකාවට ගියා. ඔහු ගියේ ප‍්‍රධාන වශයෙන්ම සෝෆා ගිවිසුම ගැන සාකච්ඡුා කරන්නයි. ඒ ගිවිසුමෙන් වෙන්නේ යම් යම් ව්‍යාපෘතිවලට ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ සිවිල් නිලධාරීන් මෙරටට ආවාම ඔවුන්ට තානාපති මුක්තිය ලැබෙනවා. ඔවුන්ව පරීක්‍ෂා කරන්න බැහැ. උදාහරණයක් විදිහට පන්දහසක් ආවොත්, අවි ආයුධ ගෙනාවොත් ඔවුන්ව පරීක්‍ෂා කරන්න බැහැ. ඒ වගේම ඕනෑම ප‍්‍රදේශයක ක‍්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඔවුන්ගේ භාණ්ඩ ආනයනය අපනයනය කිරීමේදීත් බදු අය කර ගන්නත් ශ‍්‍රී ලංකා රජයට බැහැ. ඔවුන්ගෙන් කෙනෙක් අපරාධයක් කළොත් මෙරට නීතියට යටත් වෙන්නෙත් නැහැ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කෙරෙනවා. ඉඩම් බැංකු පනත මගින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සහ රජයට අයත් සෙසු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම සඳහා ප‍්‍රතිලාභ ලැබෙනවා. ඉඩම් විශේෂ විධිවිධාන පනත මගින් ගොවීන්ට ලබාදී ඇති විවිධ බලපත‍්‍ර යටතේ පවතින ඉඩම්වලට වෙළෙඳපළේ විකිණිය හැකි අයිතිය ලබාදීම හරහා ඒවා පෞද්ගලික සමාගම්වලට විකිණීම සඳහා පෙළඹවීම් ඇති කරනවා. තෙවන පනත වන ඉඩම් අයිතිය සීමා කිරීමේ (සංශෝධන) පනත මගින් දැනට පවතින අයිතිය සීමා කිරීමේ බාධක ඉවත් කරනවා. ඒ අනුව අක්කර දහස් ගණනින් නොවන ලක්‍ෂ ගණනින් මහා සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වෙනවා. ආයෝජන කලාප 4 ක් යටතේ ඇමෙරිකානු, ඉන්දියානු සහ ජපන් සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් ලක්‍ෂ 12 ක්.

මේ එක ගිවිසුමක් කියවන විට චිත‍්‍රයේ සියල්ල පැහැදිලි වෙන්නේ නැහැ. මේවාට තමයි පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ වෙන්නේ. මේ ලෑස්ති කළේ වෙන මොකකටවත් නෙමේ, මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් ස්වර්ගයට යන්න ජනතාව මරනවා. ඊළඟට ඒ තුන් හාරසිය මැරුණාම සිංහල ජනතාව කුපිත වෙනවා. ඒ ප‍්‍රකෝප වෙලා මුස්ලිම් ජනතාවට පහර දෙන්න පටන් ගන්නවා. කල්තියා කන්ටේනර්වලින් කඩු ගෙනැල්ලා රට වටේටම බෙදලා තිබෙනවා. ඊට පස්සේ ඒ කඩුවලින් ප‍්‍රතිප‍්‍රහාර වෙනවා. හතර වෙනි දවසේ එනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක්. ඔවුන් හිතනවා නිවන්න බැරි ගින්නක් රටේ ඇතිවෙයි කියලා. ඒ එන විට රටේ මානව සමූහ මිනිස් ඝාතනයක් සිද්ධ වෙයි කියා හිතනවා. නමුත් ජනතාව වේදනාව දරාගෙන හිටියා. ඔවුන් බලාපොරොත්තු වූ ලේ වැගිරීම සිදු වුණේ නැහැ. මේකට කියන්නේ ආපදා අධිරාජ්‍යවාදයයි. ආපදාව හදලා නිවන්න හමුදා ගෙන්වන්නයි උත්සාහ කළේ. එහෙම කළා නම් මහා ගිනිජාලා මැදින් ඇමරිකානු හමුදා රටේ කඳවුරුගත වෙනවා. පසුව රනිල්ට රටේ මැතිවරණ තියන්න බැරි වාසිය ලැබෙනවා. මැතිවරණ නැති ලිබියාවේ වගේ අටවාගත් භාරකාර ජුන්ටාවක් හදාගෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රජයක් පිහිටුවනවා. මේක තමයි රනිල් – ඇමෙරිකානු න්‍යාය පත‍්‍රය. පාස්කු ප‍්‍රහාරය ගැන හොයන්න ජනාධිපති කොමිෂන් පත් කළානේ. ඒ වාර්තාව පුළුවන් නම් හොයා ගන්න. ඒ වාර්තාවේ තිබෙනවා මේකට සම්බන්ධ කවුද කියලා.

ප‍්‍රශ්නය – සිද්ධියෙන් දින කිහිපයකට පසුව නැවතත් ප‍්‍රදේශ කිහිපයක යම් සිද්ධීන් කිහිපයක් ඇති වුණා.

පිළිතුර – දින කිහිපයකින් නෙමෙයි. සති දෙකකින් පසුවයි ඒ සිද්ධිය ඇති වුණේ. ඒක ස්වභාවික මිනිස් ආවේගයක් නෙමෙයි. ඔවුන් ස්වභාවික ආවේගයකින් මරාගෙන මැරෙයි කියා විශ්වාස කළා. ඇති වුණේ නැහැ. පොලිසිය රනිල් යටතට ගන්න. ජනාධිපතිවරයා පොලිසිය වෙන කෙනෙක්ට දෙන්න හැදුවා. රනිල් ඒකටත් කැමති වුණේ නැහැ. රනිල් කැමති වුණේ සාගලට දෙයි කියලා. මේ රටේ වාසනාවකට දෙවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙලා හිටි සයින්දමරදු කණ්ඩායම ගැන ඔත්තුව ලැබුණා. හමුදාව ආවාම ඔවුන් එතැනම විනාශ වුණා. දෙවැනි ප‍්‍රහාරය එල්ල වුණා නම් ඇමෙරිකාවට අවශ්‍ය වෙලා තිබූ ආපදා තත්ත්වය ඇති වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ චිත‍්‍රපටයේ මහා ආපදාව කියන පින්තූරය ආවේ නැහැ. දින කිහිපයක් ආපදා තත්ත්වයක් ඇති වෙයි කියලා බලන් හිටියා. ජනාධිපති චීනයට ගියා. රුවන් විජයවර්ධනට පොලිසියේ බලය ලැබුණා. පොලිසිය ඔහේ බලන් ඉන්න විට පිටින් ගෙනා මැර කණ්ඩායම් සිංහල ද, මුස්ලිම් ද, දෙමළ ද කියා හොයා ගන්න බැරිව සියලූම වෙළෙඳ සල් විනාශ කළා. ආණ්ඩුවේ ආශිර්වාදයෙන් පිටින් ආ කණ්ඩායම් තමයි ඒ විනාශය කළේ. අහිංසක ගමේ තරුණයන් උස්සන් යනවා. අල්ජසීරා ඒවා තමයි පස්සෙ පෙන්වන්න පටන් ගත්තේ. අපේ‍්‍රල් 21 වැනිදා ප‍්‍රහාරය යට ගියා. ඒවා පෙන්වන්න ගත්තා. ඔය කල්ලි දම්මලා කළ ප‍්‍රහාරය උඩට ආවා. ඒකෙන් වුවත් ප‍්‍රහාරයන් රැල්ලට ගියේ නැහැ. මුස්ලිම් සමාජයටත් මේ සිද්ධීන් ගැන අවබෝධයක් තිබුණා. ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසයි ප‍්‍රචණ්ඩත්වයට ගියේ නැත්තේ. මුස්ලිම් අයට ගහද්දි මුස්ලිම් අය සිංහල ගෙවල්වල හිටියා. ඇතැම් සිංහල අය මුස්ලිම් ගෙවල් ඔය සිංහල ගෙයක් කියා ගිනිතැබීම නතර කර ගත්තා. එනිසා අපේ සමාජයේ තිබෙන මේ ගුණය නිසා ඔවුන් හිතපු ගෝත‍්‍රික මරාගැනිල්ලට ගියේ නැහැ. ඔය මරා ගැනිල්ලට වුණේ නැති නිසයි සති දෙකකට පසුව ගින්නක් ඇති කළේ. එහෙම නොවුණත් අවදානම නැත්තේ නැහැ. ඇමෙරිකා හමුදාවට ආපදාවකින් ඇතුළු වීමට නොහැකි වීම මත ඔවුන්ගේ අරමුණ අත්හරින්නේ නැහැ. ඇතැම් විට ඊළඟ සැලැස්ම හමුදා පාලනයක් ඇති කරන්න වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම එපා කියා මතවාද මේ රටේ හදන්න පුළුවන්. එහෙම තත්ත්වයකින් හෝ තම අරමුණු ඉටුකරගන්න උත්සාහ කරන්න පුළුවන්. දැන් ඉන්න ඇමරිකානු තානාපතිනිය මීට කලින් කොහෙද හිටියේ?

ඇෆ්ගනිස්තානයේ, ටියුනීසියාවේ, සිරියාවේ. මේ වගේ විශාල වශයෙන් විනාශයට ලක් වූ රටවල්වල තමයි විශාල වශයෙන් හිටියේ. එතුමිය වෙසක් පෝයට මල් වට්ටියක් අරන් රටේ වටේ පන්සල්වලට යනවා. රටේ බෞද්ධයන්ට පන්සල්වලට යන්න බැරි තත්ත්වයක් ඔවුන් ඇති කරලා ඔවුන් යනවා. මෙතැන තිබෙන්නේ උපායමාර්ගික වැදගත් වශයෙන් ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු තිප්පොළක් ඇති කර ගැනීමයි. අර්බුදවලින් ගහන සමාජයක් බවට පත් කර ගැනීමේ සැලැස්මේ කොටසක් තමයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ.

ප‍්‍රශ්නය – දැන් මේ වන විට විශ්වාසභංග දෙකක් ඇවිත් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය රිෂාඞ් ඇමැතිවරයාට ගෙනැත් තිබෙනවා. ජවිපෙත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැත් තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවාම ආණ්ඩුව ඇතුළේ තිබෙන සියලූම අර්බුද දෙවැනි තැනට දාලා ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව බේරා ගන්නවා. එවිට ආණ්ඩුව යළිත් ශක්තිමත් වුණා කියලා මතයක් ඇති වෙනවා. හැබැයි රිෂාඞ් කියන්නේ අන්තවාදයේ එක් සංකේතයක්. තව ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට, මන්ත‍්‍රීවරයකුට එම චෝදනාව තිබෙනවා. ඒ කාටවත් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග ගේන්න බැහැ. අපිට පුළුවන් ඇමැතිවරුන්ට අදාළව පමණයි විශ්වාසභංග ගෙන හැක්කේ. හකීම්, ෆවුසි, කබීර් හෂීම් යන මහත්වරුන්ට මේ චෝදනාව අපි කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරුන්ගෙන් අදාළ වෙන්නේ රිෂාඞ් වහාබ්වාදයට කිරි පෙවූ ඇමැතිවරයෙක් නිසයි. මේ ගැන අපිට ඔප්පු කරන්න පුළුවන්. දැනටමත් රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවේම මන්ත‍්‍රීවරයෙක් සහාය දෙනවා කියා ප‍්‍රසිද්ධියේම කිව්වා. හැබැයි ආණ්ඩුවට ගේන විශ්වාසභංගයේදී එහෙම වෙන්නේ නැහැ. අපි බැලූවේ රිෂාඞ් කියන අන්තවාදී ඇමැතිවරයාව ඇමැති ධුරයෙන් එළවීමයි. එහෙම නැතිව පරීක්ෂණ කෙරෙන්නේ නැහැ. මූලිකම දේ තමයි ඇමැතිකමෙන් ඉවත් කිරීම. ජනාධිපතිවරයා එහෙම කරන්නේ නැතිනම් අපි ඒක කරන්න ඕන. දෙමළ ජාතික සන්ධානයේ බහුතරයක් ඒකට එකඟයි. එහෙම තියෙද්දී ඔහුගේ ඇමැතිකමෙන් ඉවත් කරලා පරීක්ෂණයට යටත් කළ යුතුයි. එහෙම කළොත් රටේ සමස්ත ජනතාවම සතුටු වෙයි. ජාති බේදයකින් තොරව අන්තවාදයෙන් ගැළවීමට අවශ්‍යයි. රනිල් බැලූවා රිෂාඞ්ට ගේන විශ්වාසභංගයට ඡුන්දය දුන්නොත්, ආණ්ඩුවට ගේන විශ්වාසභංගයේදී රිෂාඞ් සහාය දෙන්නේ නැහැ. එහෙම නොවුණොත් ආණ්ඩුවට දිනන්න බැහැ. ඒක නිසා රනිල් බැලූවා රිෂාඞ්ට ගේන විශ්වාසභංගයට අපි සහාය දිය යුතුයි කියලා. අන්න ඒ තර්කය එජාප මැති ඇමැතිවරුන්ට ඔලූවට දැම්මා. එහෙම නැතිව ඒ බිය ඇති කරන්න බැහැ. ඒ බිය ඇති කිරීමටයි ජවිපෙ මේ විශ්වාසභංගය ගෙනාවේ. මීට මාස හතරකට කලින් රනිල් වෙනුවෙන් උසාවි ගිය කට්ටිය, පාර්ලිමේන්තුවේ අත උස්සන කට්ටිය එක පාරටම කොහොමද ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවේ ඇයි? ඕකත් රනිල්ගේ කොන්ත‍්‍රාත් එකක්.

ප‍්‍රශ්නය – ඔබ කිව්වා මේ අනතුර තවම පහ වෙලා නැහැ කියලා. ඉදිරියේදී මේ තත්ත්වයෙන් රට මුදාගන්න කුමන වැඩපිළිවෙළක් ද යෝජනා කරන්නේ?

පිළිතුර -මේ අන්තවාදී වහාබ්වාදය නමැති ගර්භාෂය ඉවත් කළ යුතුයි. මරාගෙන මැරෙන පිස්සෙක් හදන මිථ්‍යාව නැති කළ යුතුයි. සල්ලිකාරයන්ගේ පුත්තුනේ මේ මරාගෙන මැරෙන්නේ. මතයක් හදනවා අන්‍යාගමිකයෝ මරාගෙන මැරුණාම කන්‍යාවි 72 ක් ලැබෙනවා, ජොලියෙන් ඉන්න පුළුවන් කියනවා. එහෙමනේ සහරාන්ගේ නෝනාට කියලා තියෙන්නේ. මේක පිස්සුවක්නේ. මේ පිස්සුව උගන්වන්නේ අරාබි, මද්‍රසා පාසල්වල. පිටරට ඉන්න අන්තවාදී පූජකයන් ඇවිත් අපේ දරුවන්ගේ ඔලූවට උමතුව දානවා. මුස්ලිම් හෝ වෙනත් තරුණ පරපුරට මේ උමතුව ඇතුළු කිරීම නතර කළ යුතුයි. ඒකට ගත යුතු නීතිමය පියවර ගත යුතුයි. එක ජනකොටසකට, තව ජනකොටසකට නීති දෙකක් තිබෙන්න බැහැ. අඩුම ගාණේ 21 වැනිදා මියගිය දරුවන්ට සාධාරණය ඉටු කළ යුතුයි. නැවත මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් හදන වාතාවරණය නැති කළොත් තමයි රට ආරක්ෂා කරගත හැකි වෙන්නේ.

ප‍්‍රශ්නය – පසුගිය කාලය තුළ බුද්ධි අංශ අඩපණ කළා කියනවා. මෙවැනි තත්ත්වයක් තුළ බුද්ධි අංශ තවත් ශක්තිමත් කළ යුතුයි නේද?

පිළිතුර – මේක බොහොම සැලසුම් සහගතව කළ ක‍්‍රියාවක් නේ. මුලින්ම විදේශ විනිමය පනත වෙනස් කළා. මහා බැංකු අධීක්ෂණයෙන් තොරව විදේශ විනිමය ගේන්න, ගෙනියන්න පුළුවන්. ඒකෙන් ගොඩක් ආගමික අන්තවාදීන් පෝෂණය කරන්න පිටරටින් සල්ලි ආවා. බුද්ධි අංශ අඩපණ කළා. යුද, නාවික බුද්ධි අංශ තමයි මේ ගැන වැඩි අවධානයක් යොමු කළේ. ඒ අඩපණ කිරීම තුළින් සහරාන්ලාට ඕන විදිහට වැඩෙන්න ඉඩකඩ සලසා දුන්නා. සහරාන් 2015 දී මෛත‍්‍රී පාලනයක් වෙනුවෙන් තමයි වෙහෙස මහන්සි වුණේ. මේ බළපෙරළියට වැඩ කළේ ඔවුන්ට නිදහසේ වැඩ කටයුතු කර ගන්නයි. සහරාන්ලාගේ අන්තවාදී වැඩ ගැන නොයෙක් දෙනා කිව්වත් ඒ ගැන සොයා බැලූවේ නැත්තේ ඒ නිසයි. අවසානයේදී සිද්ධ වුණේ ඒ සියලූ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අහිංසක මිනිසුන්ගේ ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වීමයි. සමහර හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගියේ නැහැ. ෂැංග‍්‍රිලා විතරක් දෙන්නෙක් ගියා. ෂැංග‍්‍රිලා කාටද අයිති කාටද? චීනයට. ඇමෙරිකාවට අයිති හෝටල් තිබෙනවා. බෝම්බකරුවන් වටයක් ගහලා ආවා. ඇයි ඒවායේ පිපිරුණේ නැත්තේ? මේක පිටුපස කවුද ඉන්නේ කියා පැහැදිලියි. අයිඑස් ත‍්‍රස්තවාදීන් විනාශ කරලා තිබෙන දේපළවලින් සියයට 60ක්ම විනාශ කරලා තිබෙන්නේ චීන දේපළ. ඉන්දියානු සාගර කලාපයේ බලය තිබෙන්නේ කා අතේද කියා ඇහැගහගෙන ඉන්නේ. අපේ රට අස්ථාවර වීමෙන් බලපෑම ආසියානු කලාපයටම ඇති වෙනවා. කවුරුත් මේක තේරුම් අරන් මේවා වළක්වන්න කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය – පළාත් සභා විසිරුවා හැරලා තිබෙන්නේ. ඉදිරියේදී ඡුන්ද ලබා ගන්න විපක්ෂයක් විදිහට ගන්න ක‍්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර – විරෝධතා ව්‍යාපාර කරන්න පුළුවන්. නමුත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සමාජයේ යම් තිගැස්මක් ඇති වී තිබෙනවා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා නැහැ. විරෝධතා කැඳවීම සුදුසු නැහැ. ඇමරිකානු වැටලෑමට විරුද්ධව ඇතුළු ආණ්ඩුවට විරුද්ධව විශාල හඬක් සමාජයෙන් මතුවෙමින් තිබෙනවා. සාකච්ඡුා වෙනවා. මැතිවරණ නැහැ. වෙසක් නැහැ. පල්ලියට යන්න බැහැ. දැන් මේවා සියල්ලම සාමාන්‍ය දේවල් බවට පත් වෙලා. මේ ආපදාව තව වැඩිදියුණු කළොත් ජනාධිපතිවරණයත් නැහැ. දැන් සිදු නොවූ දේවල් සැලසුම් සහගතව ඉදිරියට කරන්නත් බැරි නැහැ. එහෙම කරන්න බැරි කට්ටියක් නෙමේ මේ අය.

සාකච්ඡුා කළේ – වසන්ත ලියනගේ
ඡුායාරූපය – නිශාන් එස්.ප‍්‍රියන්ත

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*