BREAKING NEWS

රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල – දෙමළ – මුස්ලිම් සියලු ජනතාවටයි – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ

රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ලැබෙන බවත් එසේම රට අයහපත් අතට යනවා නම් එහි අවාසිය, ජාති, ආගම් භේද නොමැතිව සියලු ජනතාවට පොදුවේ භුක්ති විඳීමට සිදුවන බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පසුගිය වසර හතරහමාර අපට ඉගැන්වූ ‘ලොකුම පාඩම’ එය බවත් සඳහන් කළේය.
පසුගියදා ජයික් හිල්ටන් හෝටලයේ පැවති පිටකොටුව රෙදිපිළි වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ එකමුතුව සංවිධානය කළ සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“මේ උදාවෙලා තියෙන්නෙ අපි මොනවා හෝ දමාගෙන තිබුණු කණ්ණාඩි ඉවත් කරලා සාමාන්‍ය ඇස් දෙකෙන් එකිනෙකාව බලන යුගය. එමඟින් එකිනෙකාව අවබෝධ කරගන්න, වටහාගන්න ඒ අනුව ඉදිරියට යන්න ලැබිලා තියෙන අවස්ථාවක් තමයි මේ ඉතිහාසය උදා කරලා තියෙන්නේ.
ඔබ කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය හෝ පුවත්පත් මාධ්‍ය තුළින් නිර්මාණය කළේ ඉතා භයානක ප්‍රතිරූපයක් කියලා. දෙමළ, මුස්ලිම් අය පරිශීලනය කරන මාධ්‍ය හරහා වැරදි ආකල්ප ජනගත කළා. නමුත් ගෙවුණු මාස 08ක කෙටි කාලයේ තම පාලනය තුළින් එතුමා මැනවින් ඔප්පු කරලා තියෙනවා. ‘ඒක අසත්‍යයක්’ කියලා.

මේ රටේ කප්පම් ගන්න සංස්කෘතිය නැති වෙනවා නම්, පාතාල කල්ලි නැති වෙනවා නම්, මත්ද්‍රව්‍ය ජාවාරම් නැති වෙනවා නම්, බැංකුවල පොලී අනුපාතය තනි ඉලක්කමකට පත්වෙනවා නම්, ඒකෙ වාසිය සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියලා නැහැ. රට යහපත් අතට යනවා නම්, ඒකෙ වාසිය සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් පොදුයි. රට අයහපත් අතකට යනවා නම් එහි අවාසිය, ආගම් භේද නැතිව අපි කාටත් පොදුවේ ලැබෙනවා. පසුගිය කාලයේ අපිට උගන්වපු ‘ලොකුම පාඩම’ තමයි ඒක.

2015 හංසයාට ඡන්දය දුන් අය මෙතැන ඇති. ඔවුන් අත්දැකීමෙන් ඉගෙන ගන්න ඇති රටක් වැරදි පැත්තට යන විට එහි ප්‍රතිවිපාකවලට සියලු ජනකොටස්වල ජනතාවට තරාතිරම නොබලා මුහුණ දෙන්න වෙන බව. දැනදැනම වළක්වාගන්න, බැරි වුණු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අද කොමිෂන් සභාවල නිලධාරීන් ලබා දෙන සාක්ෂි දිහා බැලුවාම පුදුම හිතෙනවා. එක අවස්ථාවක සහරාන් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලද්දි එයට අවසර නැති වුණාලු. ඒ ආකාරයේ පාලනයකින් රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ නැහැ. මරණ බියෙන් තොරව ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක්වත් නැහැ. රටේ නීතිය නිසි පරිදි කාටත් එක සේ ක්‍රියාත්මක වෙනවා නම්, අපි සියලු දෙනාටම අපේ ආර්ථික, ව්‍යාපාර කටයුතු නිදහසේ කර ගැනීමේ හැකියාව එමඟින් උදා වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් එතුමා බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වය මේ රටේ ඇති කරන්න.

කොරෝනා වසංගතය පැමිණීමෙන් පසු එතුමා ඉතාම දක්ෂ ලෙස සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි අංශය කළමනාකරණය කළා. ඒ නිසා මේ වසංගතයේ බලපෑම හැකිතාක් අවම කරගන්න පුළුවන් රටක් බවට ලංකාව පත් කරගන්න එතුමාට හැකියාව ලැබිලා තියෙනවා. එමඟිනුත් ඔබ සියලු දෙනාටම පෙනෙන්නට ඇති ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම මැදිහත්වීම් කරපු ආකාරය. වසංගතය හමුවේ වෙනත් රටවල් අසරණ වෙද්දී අපේ රට සැලකිය යුතු වශයෙන් ඒ අවදානමෙන් බේරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ ඒ නිසයි.

මේ හැමදෙයකින්ම පෙනෙන්නේ බෙදී වෙන්වී නොසිට එකමුතුව ගමනක් ගියොත් ලංකාව දකුණු ආසියාවේ තියෙන ආර්ථික සහ අනෙකුත් හැකියාවන්ගෙන් අනූන ස්ථානයක් බවට පත්වෙයි කියලයි. එහෙම වුණොත් එහි ප්‍රතිලාභ සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් බෙදී යනවා. එහෙම නොවී අපි එකිනෙකාට ගැලපෙන විදියේ වෙන වෙනම තීරණ ගන්න ගියොත් කිසිවෙකුටත් ජයග්‍රහණය කරා ළඟා විය නොහැකියි. අවසානයේ පිට පාර්ශ්වයකට මේ රට ගොදුරු වෙලා, මේ රට නතර වෙයි.

සමහර දෙමළ මාධ්‍ය මගින් පළ කරලා තිබෙනවා ‘දෙමළ, මුස්ලිම් ඡන්ද අපිට එපා. අපිට පුළුවන් සිංහල ඡන්දවලින් දිනන්න’ කියලා විමල් වීරවංශ කිව්වා කියලා. මා එහෙම ප්‍රකාශයක් කිසිම අවස්ථාවකවත් කිසිම වේදිකාවකවත් සිදු කරලා නැහැ. නමුත් අපේ තිබූ දුර්වලකම තමා දෙමළ මාධ්‍යයන්හි පළ වන පුවත් ගැන සමීපව සොයා නොබලපු එක. ඒ නිසා ඒවායේ සාවද්‍ය තොරතුරු පළ වෙලා ඒවා තහවුරු වෙනවා. මෑතක සිට අප එවැනි සාවද්‍ය තොරතුරු පිටකිරීමක් සිදු වන විට සොයා බලා ඒ සඳහා පියවර ගන්නවා.
කිසිම වෙලාවක කිසිම දේශපාලනඥයෙක් කිසිවෙකුගේවත් ඡන්ද එපා, කියලා කියන්නේ නැහැ. එහෙම කියනවා නම් එයා දේශපාලනඥයෙක් වෙන්න විදියක් නැහැ. නමුත් ඡන්ද ගැනීම වෙනුවෙන් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් එය වැරදියි. සිංහල, දෙමළ හෝ මුස්ලිම් ඡන්ද ගන්න බොරු පොරොන්දු දෙනවා නම් ඒක දේශපාලනික වශයෙන් කරන තක්කඩිකමක්. අපේ දේශපාලනයේ එහෙම ‘තක්කඩිකම්’ නැහැ.”

මෙම අවස්ථාවට පිටකොටුව රෙදිපිළි වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවෙහි නිලධාරීහු සහ දර්ශන් ධර්මරාජ් ඇතුළු දමිල කලාකරුවෝ පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2020.07.26

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*