BREAKING NEWS

“ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ

“අසල්වැසි ලොකු අයියාගේ” සහ “ඈත සිටින බටහිර ලොකු අයියාගේ” බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් නමුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන ඉතියෝපියාව, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල් පවා චීනයේ “එක් තීරයක් සහ එක් මාවතක්” ව්‍යාපෘතිය(BRI) හා බැඳෙමින් විශාල ආර්ථිකමය සහ සමාජමය සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

චීනයේ බීජිං නගරයේ පැවති “ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” සහභාගි වීමෙන් අනතුරුව ඊයේ(24) ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
ඒ මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය.

🔴 චීනයේ සංචාරය කළේ කවර අරමුණින් ද?

අපට චීන රජයෙන් ලැබුණු විශේෂ ඇරයුමක් අනුවයි සංචාරය කළේ. ඔබ දන්නවා චීන රජය ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ඇරැඹූ “එක් තීරයක් සහ එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative – BRI)” පිළිබඳව. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ද රාජ්‍යයක් ලෙස බැඳුණු ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට වසර 10ක් පිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ”ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)” සමුළුවට සහභාගි වීමටයි අපට ඉහත ඇරයුම ලැබුණේ. දේශපාලන පක්ෂ නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු එම ඇරයුමෙන් එම සමුළුවට සහභාගී වීමට හා සමුළුවෙන් පරිබාහිරව පැවති යම් යම් අධ්‍යයන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.

🔴 මෙම සංචාරය සඳහා ඔබ ජනාධිපතිවරයා සමග එකම ගුවන් යානයක ගමන් ගත් බව කියැවෙනවා…

මම මෙම සංචාරයට යන්නේ කුමන ගුවන්යානයක ද, කියන එක තීරණය කළේ ඊට අනුග්‍රාහකත්වය දැක්වූ රටයි. එකම ගුවන් යානයක මගේ මිතුරන්, සතුරන්, දන්නා අය, නොදන්නා අය සියලුදෙනා ඉන්න පුළුවන්නේ. ඒක මට අදාළ නැහැ. ජනාධිපතිවරයාට ඇරයුම ලැබුණේ BRI ව්‍යාපෘතියට සම්බන්ධ රටක රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් මට මේ ඇරයුම ලැබුණේ වෙනම. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙසයි. මෙහිදී අපට අදාළ වැඩසටහන් සහ ජනාධිපතිවරයාට අදාළ වැඩසටහන් වෙන වෙනමයි පැවැත්වුණේ.

🔴 මෙම සමුළුව අපේ රටට වැදගත් වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි පැරණි සේද මාවත(Silk Road) නියෝජනය කරන බොහෝ රටවල් ඉහත කී BRI ව්‍යාපෘතියට සම්බන්ධයි. ඉතියෝපියාව වැනි රටවල් පමණක් නොවෙයි ඇතැම් යුරෝපා රටවල් ද මෙම ව්‍යාපෘතිය හා බැඳී සිටිනවා. මෙම ව්‍යාපෘතිය මගින් සිදු වන්නේ සේද මාවතේ පිහිටි රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒම. නිදසුනක් ලෙස ඉතියෝපියාව අද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳිනවා. මෙම සමුළුවේ ප්‍රධාන සැසිවාරයේදී ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි එහි අග්‍රාමාත්‍යවරයා කතාවක් ද සිදු කරනු ලැබුවා. නමුත් කනගාටුයි, එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එම අවස්ථාව ලැබුණේ නැහැ. එම ව්‍යාපෘතිය අරඹා වසර දහයක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ පෙනෙනවා, ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලු රටවල විශාල ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව.

🔴 මෙවර සමුළුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වුණා ද?

මම දන්නා විදිහට මේ සමුළුවෙන් විශේෂ වාසියක් අත්කරගන්න මෙරට රාජ්‍ය නායකයාට හැකියාව ලැබුණේ නැහැ. කොහොමත් මම ගියේ දේශපාලන පක්ෂ නායකයෙකු ලෙසයි.

දැන් බලන්න, චීන රජය සහ අපේ රටේ ‘ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය(NARA) ගිවිසුම්ගත වෙලා තියෙනවා, අපේ සාගර කලාපයේ පත්ල ගවේෂණය කරන්න. ඒ ගිවිසුමට අනුව චීන නාවුක ගවේෂණ යාත්‍රාවක් ඔක්තෝබර් මාසයේ මුලදී පැමිණීමට නියමිතව තිබුණා. නමුත් කිසියම් රටක බලපෑම නිසා ශ්‍රී ලංකා රජය චීන රජයට කිව්වා, ‘මේ නැව එවන එක ප්‍රමාද කරන්න’ කියා. තුන්වැනි පාර්ශ්වයක බලපෑම මත ඒ ආකාරයට ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩ කරන, දියාරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාලනයකට මම හිතන්නේ නැහැ, ‘චීනය වගේ රටකින් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි’ කියලා.

අද ඔබ වැඩිදුරටත් හොයලා බලන්න, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක කෙලින් සිටින නිසා, ඉතියෝපියාව, රුවන්ඩාව ඇතුළු අප්‍රිකාවේ බොහෝ රටවල් ආර්ථිකමය සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබමින් සිටිනවා. ‘ළඟ ඉන්න ලොකු අයියා’ ඇස් දෙක ලොකු කරගත්තාම, මේ රටේ පාලකයන්ගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. ‘ඈත ඉන්න බටහිර ලොකු අයියා’ ‘පාට් එක’ දමපුවාමත් එයාලගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. එතකොට අපේ රටට සැබෑ මිත්‍රයෝ නැති වෙනවා. මේ ‘ලොකු අයියලා’ මිත්‍රයෝ කියලා හිතුවාට එයාලා බලන්නේ අපෙන් දෙයක් කඩාවඩා ගන්න මිසක් වෙන දෙයක් නෙවෙයි.

🔴 “නවය; සැඟවුණු කතාව”, ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව ලියවුණු විමර්ශනාත්මක කෘතිය චීන බසට පරිවර්තනය කිරීමේ අදහසක් නැද්ද?

දැනට මේ කෘතිය ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා. ඉදිරියේදී තව භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

🔴 ඔබ මේ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මේ ආණ්ඩුව තෙවන වතාවටත් ලයිට් බිල වැඩි කරලා..

මතකයිනේ, ‘ලක් අම්මගෙ දරුවො ටික’ ‘ගාලුමුවදොර අන්තිම සටන’ කරලා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවා. ‘උඹලා මාව බලයට ගෙනවානේ. දැන් මම දෙන්නම් පරිප්පුව’ කියලා එයා දැන් වැඩ පෙන්වනවා. විදුලිබල මණ්ඩලයේ නාස්තිය වළක්වා ගන්න පියවර ගන්නේ නැහැ. මේ විදියට විදුලි බිල දිගින් දිගටම වැඩි කරලා මේ කරන්නේ, විදුලිබල මණ්ඩලය කෑලි හත-අටකට කඩලා විකුණාගන්න, විදුලි පාරිභෝගිකයා එකඟ කරවා ගැනීම. ඒ ‘විකිණීම’ සඳහා ඕන කරන ‘පීඩනයයි’ මේ දෙන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම පිටුපස තිබෙන කථාව මෙයයි.

🔴 “සෞඛ්‍ය ඇමති ඔළු මාරුවෙන්” සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳේවි ද?

මේ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංගය පිළිබඳ විවාදයේදිත් මම කිව්වා, ‘අපට කෙහෙළිය රඹුක්වැල්ල 01 යවලා, කෙහෙළිය රඹුක්වැල්ල 02 ගෙනඑන්න පුළුවන්. එයාවත් යවලා කෙහෙළිය රඹුක්වැල්ල 03 ගෙන එන්නත් පුළුවන්. එහෙම කළා කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳෙන්නේ නැහැ’ කියා. දැන් ‘රාජිත සේනාරත්න 01’ යවලා ‘රාජිත සේනාරත්න 02’ ගෙනාවානේ. රාජිත සේනාරත්න 02 කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ලටනෙ. ඔය කියන ඔළු මාරුවලින් පමණක් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැඹුරු පරිවර්තනයක් කරන්න පුළුවන් වෙයි, කියා මම විශ්වාස කරන්නේ නැහැ.

🔴 ඊශ්‍රායල – පලස්තීන ගැටුම අපේ රටට කරන බලපෑම කෙබඳු ද?

ලෝකයේ සෑම තැනකම සිදු වන තීරණාත්මක දේවල් අපටත් බලපානවා. ලෝක තෙල් මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම, විදේශ රැකියා අහිමි වන පිරිසගේ ප්‍රේෂණ අහිමි වීමෙන් සිදු වන බලපෑම ආදිය නිසා අපට විශාල කුණාටුසහගත අනාගතයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වේවි.

🔴 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊශ්‍රායල – පලස්තීන ගැටුම

සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය ගැන ඔබ දකින්නේ කෙසේද?
මට නම් පෙනෙන්නේ ජනාධිපතිවරයා ‘මම ඊශ්‍රායලයටත් නැහැ – පලස්තීනයටත් නැහැ’ වගේ ස්ථාවරයක ඉන්න බවයි. නමුත් යුද ගැටුමක් පවතින විට ‘මම දෙපැත්තටම නැහැ’ වගේ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැහැ.

දැන් බලන්න, මුල් රාජ්‍යය පලස්තීනයයි. නමුත් ඊශ්‍රායලය කියන්නේ පසුව එතැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෘත්‍රිමව හදපු රාජ්‍යය. මෙතැන ‘දෙමළ ඊළම’ හැදුවා නම් අපිත් පලස්තීනයේ ඉරණමටම ලක් වෙනවා. කෙසේ වුවත් මෙහිදී ඓතිහාසික අසාධාරණය සිදු වී ඇත්තේ පලස්තීනයටයි. ඒ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෝකයක් නොවෙයි අද බලවත්ව ඉන්නේ. පලස්තීනය සම්පූර්ණයෙන් ලෝක සිතියමෙන් අතුගාලා දමලා ‘යුදෙව් ඊශ්‍රායලය’ බලසම්පන්න කිරීමේ බල මෙහෙයුමක් තමයි අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ.

🔴 නමුත් හමාස් සංවිධානයට නේද යුද ගැටුමේදී වැඩි චෝදනා එල්ල වෙන්නේ…

මෙවර යුද ගැටුම ආරම්භ කළේ හමාස් සංවිධානයනෙ. නමුත් හමාස් සංවිධානය කියන්නේ මුලින් ඊශ්‍රායල ඔත්තු සේවාව වන ‘මොසාඩ්’ විසින් මුදල් වියදම් කරලා හදපු එකක්. ‘මොසාඩ්’ හදපු ‘හමාස්’ දැන් එයාලාටම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එදා යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති හමුදාවට එරෙහිව මොසාඩ් එක තමයි හමාස් හැදුවේ. දැන් තමන් ‘කිරි පොවලා හදපු’ හමාස් එක තමන්ටම ගහනකොට ඒක අපිට කියලා වැඩක් නැහැ. හදපු අය ඒක බලාගන්න ඕනේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-25

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*