BREAKING NEWS

විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක ප්‍රධානීන් සහ කර්මාන්ත ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂකවරු සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) , 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන් හා නව සැපයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබීය. විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇති නව නිෂ්පාදන වාණිජකරණයට ලක් කර ඒවාට දෙස්-විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමන් අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඒ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මුල් වී කටයුතු කිරීම අගය කළ යුතු බවත් එම පිරිස පැවසූහ.

මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයක් ලෙස සතොස, කාගීල්ස්, කීල්ස් හා ලාෆ්ස් වෙළෙඳසැල් ජාල නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ වෙනත් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ය.

එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික නිමැයුම් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරු වන මහාචාර්ය ඩී.ඒ.අයි. දයාරත්න, මහාචාර්ය මැණික් හෙට්ටිහේවා, මහාචාර්ය රොහාන් වීරසිංහ, ආචාර්ය ඇන්තනී ඇන්ඩෲ, ආචාර්ය එම්.පී.දීගමුල්ල, ආචාර්ය ප්‍රියශානි පෙරේරා, ආචාර්ය ඒ.පී.අයි. සම්පත් ධර්මදාස, ආචාර්ය එස්.වසන්ත රුබා යන පිරිස ද එක්ව සිටියහ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය.
2020.02.04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*