BREAKING NEWS

සම්මත මෙහෙයුම් පටිපාටියෙන්(SOP) බැහැරව කිසිදු වාහන එකලස් කිරීමකට ඉඩ දෙන්නේ නැහැ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

තම මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය හා එහි අදාළ දෙපාර්තමේන්තු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, අපනයන හා ආනයන පාලක දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ද මොරටුව විශ්ව විද්‍යාලයේ අදාල විෂය ප්‍රවීණයන් ද ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන්ගේ සංගමය (SLACMA) හා ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමය (SLAAA) සම්බන්ධ කරගනිමින් සැකසූ මෙම සම්මත මෙහෙයුම් පටිපාටියට, කැබිනට් අනුමැතිය 2021.01.11 දින ලැබුණු බවත් එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.15 වැනිදා ජනගත කිරීම සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.ඒ නිසා වාහන නිෂ්පාදනයට හෝ එකලස් කිරීමට අදාළ වෙනත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනගින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.මේ වන විට සම්මත මෙහෙයුම් පටිපාටියට(SOP) අනුකූලව ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයෙහි ආයතන 11ක් නිරතව සිටින බවත් ඔවුනට දේශීය එකතු කිරීම්වලට අමතරව අවශ්‍ය අනෙකුත් උපාංග ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් 2021.04.05 දින අංක 2222/03 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් මෙම වාහන එකලස් කිරීමේ කටයුතු ඉහත කී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිසි අධීක්ෂණය යටතේ සිදුවන බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.මෙම ආයතන 11 විසින් මෝටර් සයිකල්, මෝටර් රථ මෙන්ම ලොරි රථ වැනි වාණිජ වාහන එකලස් කිරීමේ කටයුතු දැනටමත් සිදු කරන බවත් සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව ඔවුන් වාහන එකලස් කිරීමේදී එකතු කරනු ලබන දේශීය උපාංග ප්‍රමාණය අනුව 20% සිට ඉහළට බදු සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, වාහන එකලස් කිරීමේ දී දේශීය උපාංග යොදා ගැනීමේ ප්‍රතිශතය ඉහළ යන විට ලැබෙන බදු සහන ද ඉහළ යන බැවින් ඉදිරියේදී මෙම නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිය බල ගැන්වීමෙන් “මේඩ් ඉන් ශ්‍රී ලංකා” වාහන නිපදවෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.09 .09

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*