BREAKING NEWS

”සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු පාසල් හැර යන ශිෂ්‍යයන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් ලබාදීමට පියවර ගන්න” ඇගළුම් ආශ්‍රිත පුහුණු ආයතනවලට කර්මාන්ත ඇමති විමල්ගෙන් උපදෙස්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවති සාකච්ජාවකදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය, පේෂකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සළුසල යන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවකදී ඇමතිවරයා මෙසේ සදහන් කළේය.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය මේ වනවිට පාඨමාලා වර්ග 90ක් ක්‍රියාත්මක කරන අතර වසරකට ශිෂ්‍යයෝ 6,000කට අධික ප්‍රමාණයක් එයින් වෘත්තීය පුහුණුව ලබා ගනිමින් සිටිති. විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයන් මෙවැනි පාඨමාලා සදහා වැඩියෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පැහැදිලි කරන ලදී. ඒ සදහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඉදිරියේදී බංග්ලාදේශය, නේපාලය සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන් ද ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සුදානමින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සියලු ආයතන එක්ව විධිමත් සැලසුමකට සහ ප්‍රතිපත්තියකට අනුව ඉදිරියේදී කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදි.

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව අත් යන්ත්‍ර පුහුණු පාසල් ඇතිකිරීමට සහ පේෂකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා පේෂකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිමුතු කුලතිලක, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වුහ.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යාංශය
2020-09-15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*