BREAKING NEWS

සිදුවෙමින් පවතින බලවත් අධිරාජ්‍යවාදී දිගේලි කිරීමට එරෙහිව එක්ව සටන් වදිමු!

සිදුවෙමින් පවතින බලවත් අධිරාජ්‍යවාදී දිගේලි කිරීමට එරෙහිව එක්ව සටන් වදිමු!

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 133 වැන්න යෙදී ඇත්තේ අදට ය. ජාතික ආරක්‍ෂාව පමණක් නොව ආර්ථිකය ඇතුළු සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම බිඳ වැටුණු මොහොතක රටක වැඩ කරන ජනතාව මුහුණපාන ඛේදනීය ඉරණමට අද මෙරට වැඩ කරන ජනතාව පත්ව ඇත. ඒ හේතුවෙන් මෙරට වැඩ කරන ජනතාවට තම ශක්තිය, සමගිය විදහා පාන මැයි දින සැමරුම් ද අහිමිව තිබේ.

මීට දස වසරකට පෙර බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් මුළුමනින්ම මුදවා ගත් අපේ රට අද වහාබ්වාදී අන්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇත. ඉන් රට ගලවා ගැනීමේ අභියෝගයට ජාතියක් ලෙස අපි මුහුණ දී සිටින්නෙමු. එහෙත් වත්මන් ආණ්ඩුව ඒ අභියෝගය ජය ගැනීමට ජනතාව සූදානම් කරන බවක් පෙනෙන්නේ නැත. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ඔහුගේ සහචරයන් සැරසෙන්නේ ඔවුනට බටහිර බලවතුන් ලබා දී ඇති කොන්ත්‍රාත්තු මෙම ‘ත්‍රස්තවාදී ආපදාව’ මැද්දෙන් කෙසේ හෝ ඉටුකරලන්නට ය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සාගල රත්නායක ඇමතිවරයා ජපානයට ගොස් ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීම ගැන සාකච්ඡා කරන්නට ය. මුදල් ඇමති මංගල සමරවීර සැරසෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයට ශ්‍රී ලංකාවේ ඉඩම් අක්කර ලක්‍ෂ 12ක්, කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන, ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක වන ‘විශේෂ ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීම වෙනුවෙන් විකුණා දැමීමට ය. ත්‍රස්ත ප්‍රහාරය ‘අඳුරු වලාවක්’ නම් මේ විකුණා දැමීමෙන් ඩොලර් මිලියන 280ක් ලැබීම ඔහු හඳුන්වන්නේ ‘රිදී රේඛාවක්’ ලෙස ය.

බුද්ධි අංශ අඩපණ කොට, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළුෑ මේ අධිරාජ්‍ය ගැති ආණ්ඩුව අද ‘ගෝලීය ත්‍රස්තවාදයේ’ ග්‍රහණයෙන් මේ රට බේරා දෙන ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ තම අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියි. වහාබ් අන්තවාදයට රිසි සේ වැඩෙන්නට ඉඩ දුන් මේ ආණ්ඩුව දැන් ඇමෙරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදයට මේ රටට පැමිණිමට පාවාඩ එළා ඇත.

ඉහත තත්වය කෙරෙහි මෙරට වැඩ කරන ජනතාවගේ බලවත් අවධානය යොමු කරවීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. ‘ප්‍රති – ත්‍රස්ත පනතින්’ ත්‍රස්තවාදියාට සහන දී වැඩ කරන ජනතාවගේ සාමකාමී විරෝධය පෑමේ අයිතිය උදුරා ගැනීමට සැරසෙන, ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ මගින් පෞද්ගලික අංශයේ වැඩ කරන පැය ගණන 8 සිට 12 දක්වා වැඩි කිරීමටත් පොහොය නිවාඩුව හැර අනෙකුත් නිවාඩු අවලංගු කිරීමටත් සැරසෙන ආණ්ඩුවකට එරෙහි තියුණු සටනක් වැඩ කරන ජනතාව ලෙස ඔබ ඉදිරියේ පවතී. නමුත් වැඩ කරන ජනතාවට සටන් වැදීමට රටක් ඉතිරිව පැවතිය යුතු ය. ඉහත බලවත් අධිරාජ්‍යවාදී දිගේලි කිරීම සිදුවුවහොත් අපට අයිතීන් දිනා ගැනීමට රටක් ඉතිරි නොවනු ඇත.

එබැවින් මෙරට වැඩ කරන ජනතාව තම අයිතීන් උදෙසා සටන් වදින අතරේම මේ බලවත් අධිරාජ්‍යවාදී දිගේලි කිරීමට එරෙහි ජාතික සටනෙහි පෙරගමන්කරුවකු විය යුතු ය. ඒ සඳහා අදිටන් කර ගනිමු. එක්ව සටන් වැදීමට ධෛර්ය ශක්තිය පතන්නෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.05.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*