BREAKING NEWS

හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පා කර හැරීම’ සහ ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරිත්වයක් නිර්මාණය කිරීම හෝ සඳහාම ගත් තීරණ බවයි
-හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පා කර හැරීම’ සහ ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරිත්වයක් නිර්මාණය කිරීම හෝ සඳහාම ගත් තීරණ බවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි

අද(28) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ක්‍රමානුකූලව බලශක්ති අර්බුදයක දෙවන වටය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අපේ රට අරාජික කොට, අස්ථාවර කොට, ගිල ගැනීමේ න්‍යාය පත්‍රය දියත් කිරීමට නම් බලශක්ති අර්බුදයේ කරවටක් ගිල්වන එක අත්‍යවශ්‍ය සාධකයක්, එවැනි බලවේග එම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ඉහත සාධක යොදාගනු ලබනවා.

බලශක්ති අර්බුදයේ සූත්‍රය

දැන් බලන්න කුප්‍රකට ජූලි 9 වැනිදා සිදුවීම ගත්තත් ඊට ආසන්නතම දිනවලදී තමයි අපේ රටේ බලශක්ති අර්බුදයේ තියුණුතම දර්ශන දැක ගැනීමට ලැබුණේ. ඉන්ධන පිරවුම්හල් අසල දින ගණන් පෝලිම්, පැය 04 – 05 ඉක්මවූ විදුලි කප්පාදු. මේවා විසින් සිදු කළ මධ්‍යම පන්තියේ ජීවිත අවුල්වීම්. ඒ අවුල් වීම් පාදක කර ගත් ප්‍රචණ්ඩකාරී ජනතා ප්‍රතිචාර දැක්වීම් අපි දුටුවා. මේක තමයි සූත්‍රය. මේ සූත්‍රය බලගන්වන්න නම් බලශක්ති අර්බුදය තීව්‍ර කළ යුතුයි.

විශාල බලශක්ති අර්බුදයක්!

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ කොටසක් අක්‍රියව තිබෙනවා. ගල් අඟුරු දෙසැම්බර් දක්වා තිබෙනවා කිව්වත් ඒ පිළිබඳව ද යම් අවිනිශ්චිත තත්ත්වයක් තිබෙනවා. ගිය වසරේ ටෙන්ඩර් මඟින් ඇණවුම් කළ ගල් අඟුරු තොග තමයි තවමත් පැමිණෙමින් තිබෙන්නේ. නමුත් ඩොලර් අර්බුදය සමග ඉදිරියේදී නව ගල් අඟුරු තොග ගෙන්වාගැනීමට සිදු වෙන්නෙත් ඉන්ධන ගෙන එන ආකාරයටමයි. ඒ කියන්නේ ගල් අඟුරු නැව එනවා, නැව මුහුදේ තිබියදී ඩොලර් ගෙවා එය මිලදී ගන්නවා, ඉන්පසුව එය ගොඩබෑම අරඹනවා වැනි ක්‍රමවේදයක්. තෙල්වලට එම ක්‍රමය යම් ආකාරයකට සාර්ථක වී තිබුණත් ගල් අඟුරුවලට එය එසේම වලංගු වන්නේ නැහැ. වාරකන් කාලයේදී පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ ගල් අගුරු බාන එක අභියෝගාත්මක කාර්යයක් වීම ඊට හේතුවයි. ඒ අනුව අඛණ්ඩව බලාගාරයට ගල් අගුරු සැපයීම අඩාල වුවහොත් එමගින් විශාල බලශක්ති අර්බුදයක් පැනනගීවි.

රුසියාව සමඟ වෙළඳ ගිවිසුම්

ඉන්ධන ගෙන්වීම පිළිබඳ වුවත් සතුටුදායක තත්ත්වයක් නැහැ. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ යනවා. නමුත් ඊට සාපේක්ෂව අපේ රටේ ඉන්ධන මිල පහළ යාමක් දැකගන්න බැහැ. ඉන්ධන පරිභෝජනයේ සැලකිය යුතු අඩුවක් දැකගත හැකි වුවත් යළි ඉන්ධන අර්බුදයක් ඇති නොවේවි, කියා අපිට සිතීමට බැහැ. අපි මීට ඉහත දී පෙන්වා දුන්නා රුසියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළැඹ ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය පමණක් නොවෙයි මැදපෙරදිග රටවල් පවා අඩු මිලට ඔවුනට අවශ්‍ය බලශක්ති ප්‍රභවයන් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා, කියා. අපි දන්නවා ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සාමාන්‍ය වෙළඳපොළේ ඩොලර් 322ක් පමණ වුවත් රුසියානු වෙළඳපළින් එය ඩොලර්160කට පමණ මිලදී ගත හැකියි. මේ වාසිය ගන්න ලෝකයේ බොහෝ රටවල් රුසියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට යනවා. ඊට රුසියාවට ඇමරිකාව හෝ යුරෝපය පනවා ඇති සම්බාධක බාධාවක් නොවෙයි. නමුත් අපි රටක් ලෙස එදෙසට යන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හා ජනාධිපති ලෙස කටයුතු කිරීම අරඹා මාස 04 -05ක් වෙනවා. මේ කාලය තුළ මේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් ගත් අලුත් පියවරයන් කිසිවක් නැහැ.

මහ බැංකුව ගත්තු බරපතළ තීරණ දෙක

ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ ජීවන යුද්ධයකට ජනතාව මුහුණ දී සිටිනවා. ඒ නිසාම ඔවුන්ට එතැනින් එහාට සිදු වන බොහෝ දේවල් පිළිබඳව නොදැනෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ තත්ත්වය පාවිච්චි කරලා පාලකයන් තමන්ගේ සුපුරුදු ගමන යමින් සිටිනවා. දැන් බලන්න මෑත ඉතිහාසය තුළ අපේ රට ගත්තු ඉතාම බරපතළ තීරණ දෙකක් තිබෙනවා. ඒ දෙකටම සම්බන්ධ වුණේ මහ බැංකුව. එකක් තමයි රුපියල අත්තනෝමතික ලෙස පා කර හැරීම. ඒක වුණේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අවසන් කාලයේ. ඇතැම් පාර්ශ්ව විසින් ඔහුට ඉතා විශාල පීඩනයක් ගෙන ආවා, ‘රුපියල පා කර හරින්න’ කියමින්. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන මහින්ද මහතා ඒ කාලයේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කරමින් සිටියා. එතුමා ඇතුළු සියලුම මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් එදා ඉල්ලා සිටියා, රුපියල පාලනයකින් තොරව පා කර හරින්න, කියා. එමගින් මේ රටේ ණය බර රුපියල්වලින් සියයට 60-70කින් වැඩි වුණා. ඒ වගේම උද්ධමනය වැඩි වුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු කළා. කැරලිකාරී තත්වයකට උවමනා කරන සමාජ වටපිටාව නිර්මාණය වුණා. ඒ තමයි එක අත්තනෝමතික තීන්දුවක්.

‘ණය ගෙවන්න බැරි රටක්’ බවට…

අපි ප්‍රකාශිත වසරේ ගෙවිය යුතු ණය මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා තිබුණා. ගෙවිය යුතු කොටසෙන් චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවන්න අලුතින් ණය මුදලක් ලබාදීමට චීනය එකඟ වී තිබුණා. ඒ වගේම ඉතිරි ණය වාරික ගෙවීම සඳහා යම් යම් පියවර ගනිමින් තිබුණා. එසේ තිබියදී වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයට පැමිණ දින දෙක-තුනකින් ‘අපි ණය ගෙවන්න බැරි රටක්’ කියා ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් යම් රටක් ණය ගෙවීමට බැරි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම බැරෑරුම්ම තීරණයක්. ඒක එක වරක් නොවෙයි සිය වරක් කල්පනා කරලා ගත යුතු තීරණයක්. කැබිනට් මණ්ඩලය සමග පමණක් නොවෙයි, අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරලා ගතයුතු තීරණයක්. ඉන්පසුව පැමිණීමට නියමිතව ඇත්තේ ඉතාමත් බරපතළ අර්බුදකාරී සමයක් නිසයි එසේ කළ යුතුව ඇත්තේ. නමුත් කිසිදු ගැඹුරු සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව, කැබිනට් මණ්ඩලය තුළ පූර්ව සාකච්ඡාවකින් තොරව(පසුව සාකච්ඡා කළා) කැබිනට් තීන්දුවක් නොමැතිව, (මම දන්නේ නැහැ, එවකට සිටි මුදල් ඇමති ඒ පිළිබඳව දැන සිටියාද, කියා) මේ අලුත් මහ බැංකු අධිපතිතුමා එකපාරටම ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක්’ කියා ප්‍රකාශයට පත් කළා. මේ තීරණවලින් පීඩාවට පත් වන්නේ, බැට කන්නේ මුළුමහත් සමාජයයි.

සමාජ කැරලිකාරිත්වයක් ඇති කිරීම සඳහාම…

මේ සමහර තීරණ දිහා බලපුවාම අපට පෙනෙන්නේ අර්බුදය උත්සන්න කිරීම, සමාජ කැරලිකාරිත්වයක් ඇති කිරීම සඳහාම එවැනි ප්‍රතිකර්ම ගෙන ආ බව. ඇමරිකානු ආධාර නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළා, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියට යාමේදී ශ්‍රී ලංකාවේ ජනතාවට බොහෝ පීඩාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත’ කියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත් බිව්වාම ලෙඩේ සුව වේවි, කියලයි සමහරු හිතන්නේ. ඒ බෙහෙත් දෙන්නේ ලෙඩේ සනීප කිරීමට නොවෙයි, ලෙඩේ පවත්වාගෙන යමින් වෙනත් පරමාර්ථ මුදුන්පත් කරවාගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට අයත් දෙයක්. එවැනි ආයතනයක් ගැන පමණක් විශ්වාසය තබමින් ආර්ථික ආපදාවෙන් ගොඩඒමට හැකි යැයි සිතීම බරපතල මිත්‍යාවක්. මූල්‍ය අරමුදල දෙන බෙහෙත්වලින් වෙන්නේ සමාජ පීඩනය, විරැකියාව, ජීවත් වීමේ අරගලය තවතවත් උත්සන්න වන එකයි. ඒ වගේම රජයේ සේවකයාට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වේවි. එමගින් වෘත්තිය සමිති සටන් සහ පොදු ජනතාවගේ සටන්වලින් සමාජය පරිපූර්ණ වේවි. ඒ තත්ත්වය විසින් විෂම බලවේගවලට රිසි දෙයක් කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය වේවි.

වෛරී සමාජ පිපුරුමකට අවශ්‍ය ක්‍රියාන්විතයකට පාර කැපීම…

අපි ඉන්නේ ඉතාමත් භයානක කඩඉමක. මේ යමින් තිබෙන්නේ ආර්ථිකය ස්ථාවර කරලා, සමාජ සුරක්ෂිතතාව නිර්මාණය වන දිශාවට නොවෙයි. ආර්ථිකය තවත් අර්බුදයට යවමින්, වෛරී සමාජ පිපුරුමකට අවශ්‍ය ක්‍රියාන්විතයකට කර තමයි වත්මන් පාලකයන් සහ ඔවුන්ගේ නිලධාරි තන්ත්‍රය දැන හෝ නොදැන පාර කපමින් ඉන්නේ ඒ නිසා තමයි අද අනුර දිසානායකලා කියන්නේ දෙවැනි අරගලය එන්නේ එයාලගේ නායකත්වයෙන් කියලා. කාගේ නායකත්වයෙන් ආවත් අන්තිමේදී වෙලා තියෙන්නේ කොහෙද හිටපු වැඩකට නැති මිනිහෙකුගේ ඔලුවට ඔටුන්න දාපු එක. පළමුවැනි අරගලයෙන් වුණෙත් ඔළුව කසමින් සිටි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවට ඔටුන්න පලදවපු එක. තව අරගල කරත් වෙන්නෙ නොහිතපු කෙනෙක්ගෙ ඔළුවට ඔටුන්න වැටීම මිසක් ගැඹුරු සමාජ ආර්ථික පරිවර්තනයක් නොවෙයි. පොලිසිය ලවා බැටන් පොලු ප්‍රහාර එල්ල කරලා, ඇතැම් තැන් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරලා මතුවන සමාජ පීඩනයෙන් ගැලවීමට මේ පාලකයන්ට බැහැ. ඒවා ඉතා ළදරු ක්‍රියාමාර්ග. ජනතාවගේ ආතතිය දුරලීමට පියවර ගන්නවා වෙනුවට ආතතිය වැඩි කරමින් බැටන් පොලුවලට ඔරොත්තු දෙන සමාජ ක්‍රියාකාරීත්වයක් නිර්මාණය වන දිශාවටයි මේ පාලකයන් තීරණ ගනිමින් සිටින්නේ. අපි අනතුරු අඟවනවා, ‘මේ තත්ත්වය විසින් අපේ රට බරපතළ අවාසනාවන්ත ඉරණමකට ඇද දමාවි’ කියා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-09-28

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*