BREAKING NEWS

“ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි

පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් අතුරුදහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ද අතුරුදන් කිරීමේ ඉඩකඩක් ඇති බවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

බලගතු රටවල සියලුම උවමනාවන් ඉටු කර දීමේ පොරොන්දුව පිට ඔවුන්ගේ සහාය ඇතිව ව්‍යවස්ථාවට පටහැනිව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටිය ඔස්සේ හෝ ජනාධිපතිවරණය ද අතුරුදහන් කොට දිගින් දිගටම රාජ්‍ය නායක පුටුවේ සිටීමේ සැලැස්මක් වත්මන් ජනාධිපතිවරයාට ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සියල්ල සිදු කරන්නේ බලගතු රටවල උවමනාවට නිසා අප නොසිතන අන්දමේ අඳුරු ඉරණමක් කරා මේ රට රැගෙන යෑමේ අවදානමක් ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ පසුගිය සිකුරාදා කොළඹ 07, ලයිට් හවූස් ශ්‍රවණාගාරයේ දී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ) පැවති, ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව ඔහු රචනා කළ “නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන එළිදැක්වීමේ උළෙලෙහි ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහිදී රුසියානු පරිවර්තන කෘතිය, රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබූ වෘත්තීයවේදීනියක මෙන්ම සඟරා සංස්කාරකවරියක වන චින්තා සෙනෙවිරත්න මහත්මිය විසින් පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන කෘතිය ඇය විසින් මුල් කෘතියේ කතුවරයා වන විමල් වීරවංශ මහතාට පළමුව පිළිගන්වනු ලැබීය. දෙවනුව එම පරිවර්තන කෘතිය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පරිවර්තන කෘතියෙහි(NINE; THE HIDDEN STORY) පරිවර්තකවරිය, ප්‍රවීණ දේශපාලන විශ්ලේෂිකාවක සහ මාධ්‍යවේදිනියක වන ෂෙනාලි වඩුගේ මහත්මිය, මුල් කෘතියේ කතුවරයා විමල් වීරවංශ මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබුවාය. පසුව විමල් වීරවංශ මහතා විසින් “Galle Face Protest : Systems Change or Anarchy” ගවේෂණාත්මක කෘතියේ කතුවර, ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙණිය මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබීය.
මෙම පරිවර්තන කෘති එළිදැක්වීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිළිගනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසිනි.
මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres Marcelo Gonzalez Garrido, ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් නියෝජනය කරමින් එම තානාපති කාර්යාලයේ Chen Xiang Yuan සහ Jin Enze යන රාජතාන්ත්‍රික නිලධාරීහු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, වත්මන් ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ප්‍රධාන කරුණු රැසක් සනාථයි!”

“මම ‘නවය; සැඟවුණු කතාව’ එළි දැක්වූ දිනයේදීත් පැවසුවා, ‘කතානායකතුමන් මෙහි සඳහන් ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙනවා’ කියා. නමුත් එහෙම වෙලා නැත්තේ ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැති නිසයි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයට ගිය අවස්ථාවක එහි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ, ‘ඔව්! තනතුරෙන් ඉවත් වෙන්න කියා බලපෑම් තිබුණා’ යනුවෙනුයි. ඒ අනුව මේ පොතෙහි සඳහන් වන එම කරුණත් එමගින් සනාථ වී තිබෙනවා. ඒ වගේම මේ ළඟදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම පැවසුවා, සමන්තා පවල් මහත්මිය තමයි මා ආරක්ෂා කර ගත්තේ’ කියා. ‘සමන්තා පවල්’ කියන්නේ කවුද, කියා, අපි කවුරුත් දන්නවා. රනිල් වික්‍රමසිංහ මගින් ‘ප්ලෑන් බී’ ක්‍රියාත්මක වෙනවා, කියන එකට ඒක හොඳ නිදසුනක්. ඒ වගේම පොළොන්නරුව මන්ත්‍රීවරයා නිට්ටඹුවේදී පහර දී මරා දමන විට පොලිස් නිලධාරීන් ඒ අවට සිටි හමුදා නිලධාරීන්ගේ සහාය ඉල්ලා තිබෙනවා. එවිට හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඉහළින් නියෝගයක් නොමැතිව ක්‍රියාත්මක විය නොහැකි බවයි. නමුත් කෙනෙකු මරන්න යනවා නම් ආරක්ෂක හමුදාවන්ට එය වැළැක්විය හැකියි. නමුත් ඔවුන්ට ඉහළින් නියෝගයක් ලැබී තිබෙනවා, ‘අපේ නියෝගයක් නොමැතිව කටයුතු කරන්න එපා!’ කියලා. එය සාමාන්‍ය තත්ත්වය නොවෙයි. ඒ අනුව අපි ‘නවය; සැඟවුණු කතාව’ කෘතියෙන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු ගණනාවක් ඊට අදාළ පාර්ශ්ව, තැනැත්තන් විසින් මේ වනවිට සනාථ කර හමාරයි.

IMF පූර්ණ ග්‍රහණයට

මේ සියල්ල අවසානයේ දී අද මේ රට තමුන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ගමනකට ඇදගෙන යන්න ඒ බලවේගවලට හැකිව තිබෙනවා. 69 ලක්ෂයක ජනවරම අනුව ගොඩනඟාගත් පාර්ලිමේන්තු බලය අද ඒ ජනවරමට පටහැනිව යොදා ගනිමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලා යන තෙක් ඉතා සක්‍රියව ට්විටර් පණිවිඩ නිකුත් කරපු ඇමරිකානු තානාපතිවරිය ඇතුළු බටහිර රටවල තානාපතිවරුන් දැන් නිහඬයි. අද ඇමෙරිකන් තානාපතිවරිය, ජනාධිපතිතුමා සහ එම මැතිනිය සමග එකට වාඩි වී දළදා පෙරහර නරඹන තත්ත්වය දැකගත හැකියි. ඒ වගේම අද වනවිට මේ රටේ ආර්ථිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ පූර්ණ ග්‍රහණයට අරගෙන තිබෙනවා. ඔවුන් කියන ආකාරයට හැර වෙනත් කිසිදු ආකාරයකට කටයුතු කරන්න බැරි වෙලා තිබෙනවා. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට කියන්නේ, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන බංකොලොත් කියා ප්‍රකාශ කරන්න’ කියලයි. නමුත් පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් බංකොලොත් බව ප්‍රකාශ නොකර චීනයෙන් සහ මැදපෙරදිග රටවල් කිහිපයකින් මූල්‍ය සහාය ලබාගෙන බංකොලොත් යැයි ප්‍රකාශ නොකර, අද සාමාන්‍ය පරිදි එරට ආර්ථිකය මෙහෙයවනවා. නමුත් බංකොලොත් කියා ප්‍රකාශ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම ගැට ගැහුවේ බටහිර කඹයකින්. අද ආර්ථිකය නමැති හරකාගේ කඹය ඇත්තේ මූල්‍ය අරමුදල අතේ; කෙවිට ඇත්තේ ද ඔවුන් අතේ.

“බදු වළල්ලට ගොදුරු වූ වෘත්තිකයෝ”

සමහරු හිතනවා, දැන් අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා, කියලා. ඒක නොවෙයි ඇත්ත. අපි හැමදාම කියනවා වගේ අපේ රටේ ආර්ථිකය පීඩාකාරී අන්තයක් කරා රැගෙන යාමයි සිදු වන්නේ. 2024 ජනවාරි මාසය වන විට සියයට 22කින් විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘නියමිත බදු ඉලක්ක සපුරා ගත්තේ නැහැ’ කියා ඔවුන්ගේ ඊළඟ ණය වාරික ලබාදීම නතර කරලා තිබෙනවා. වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් රට හැර යමින් තිබෙනවා. තවත් වෛද්‍යවරුන් ලක්ෂ පහක් පමණ විදේශ රටවල වෛද්‍ය වෘත්තියෙහි යෙදීමට අවශ්‍ය විභාගයට සූදානම් වෙමින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රතිඵල ආවාම ඔවුනුත් රටහැර යෑමට නියමිතයි.
විනිශ්චයකාරතුමන්ලාට පැනවූ උපයන විට බද්ද නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් මත නවතා තිබෙනවා .ඒ හැරුණු විට අනිකුත් සියලු වෘත්තිකයින් ඒ බදු වළල්ල තුළ ගොදුරු බවට පත්ව තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බදු ඉලක්ක සපුරාගන්න නම් තවත් බදු ගහන්න වෙනවා. එවිට උපයන විට බදු සීමාවට අයත් නොවන පිරිස හැර අනෙකුත් පිරිස් රට හැර යන ප්‍රවණතාව තමයි වර්ධනය වන්නේ. බදු ඉලක්ක සපුරාගෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඊළඟ ණය වාරිකය ලබාගෙන ‘ශ්‍රී ලංකාවට යළි ණය ලබා ගැනීමට පුළුවන්’ කියන සහතිකය ලබා ගැනීම පමණයි මේ පාලකයන්ට උවමනා.

“කෘත්‍රිම මතයෙහි වහලෙක්!”

අනික් පැත්තෙන් අද රටේ නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීම වෙනුවට අධෛර්යයට පත් කිරීමක් තමයි තිබෙන්නේ. අද ඇතැම් ආයෝජන සමාගම් ශ්‍රී ලංකාව හැර යනවා, බදු බර සහ විදුලිය ඇතුළු බලශක්තිය වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන අධික පිරිවැය හේතුවෙන්. මේ තත්වය තුළ අවසානයේ දී අපේ රටේ ඉරණම කෙබඳු වේවි ද? අප ගෙවමින් සිටින්නේ සමාජ ප්‍රතිවිරෝධතා, දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින්, ලෝකයේ රටවල් ඔවුන්ටත් නොදැනුවත්ව පාලනය වන කාලයක්. මේක පටන් ගත්තේ ඊජිප්තුවෙන්. එහිදී හොස්නි මුබාරක් පාලනය අවසන් කරමින් ඊජිප්තුව තුළ බටහිරගැති පාලනයක් ගොඩනඟා ගත්තා. ඊජිප්තුව ඉන්පසු හිටපු තත්ත්වයෙන් පහළට වැටීමයි සිදු වුණේ. පසුව ඒ ප්‍රවණතාව රැල්ලක් බවට පත් වෙලා තමයි ‘අරාබි වසන්තය’ ආවේ. සිරියාව, ලිබියාව, ඉරාකය එයට ගොදුරු වුණා. මේ විදිහට සමාජ ප්‍රතිවිරෝධතා, දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින් අපටත් නොදැනුවත්වම අපව පාලනය කරන ප්‍රධානතම මෙවලම වන සමාජ මාධ්‍ය මගින් ‘නැති මත ඇති කරන්න’ පුළුවන්; ජනතාව එසේ ඇති කරන ලද කෘත්‍රිම මතයෙහි වහලෙක් බවට පත් කිරීමට පුළුවන්.

“මයිදාන් සිට ගෝල්ෆේස් දක්වා”

යුක්රේනයේ කුප්‍රකට ‘මයිදාන් අරගලයේ’ ප්‍රධාන වාහකයා වූයේත් සමාජ මාධ්‍යයයි. මම ‘නවය; සැඟවුණු කතාව’ රුසියන් භාෂාවට ද පරිවර්තනය කිරීමට තීරණය කළේ මයිදාන් අරගලයේ සහ ගෝල්ෆේස් අරගලයේ සමාන බව ලෝකයට පෙන්වා දීමටයි. මම මෙහිදී මේ ‘සැඟවුණු කතාව’ ලෝකයට කියන්න පහසු කරමින් ‘නවය; සැඟවුණු කතාව’ ඉංග්‍රීසි හා රුසියන් භාෂාවලට පරිවර්තනය කර දුන් පරිවර්තකවරියන් දෙදෙනාටම යළි මගේ කෘතවේදිත්වය පළ කරනවා. අවසානයේ මයිදාන් අරගලය නිසා යුක්රේනයේ රුසියාවට හිතවත් ජනාධිපතිවරයාටත් ධුරය දාලා යන්න වුණා. ඉන්පස්සෙ යුක්‍රේනයේ අටවාගත්තු පාලනය මුලින්ම කළේ යුක්රේනය යුරෝපා සංගමයට නිල වශයෙන් සම්බන්ධ කිරීමයි. පසුව යුක්රේනය එතැනින් නොනැවතී නේටෝ සාමාජිකත්වය ඉල්ලන තැනට යනවා. එතැන තමයි රතු ඉර ඇඳුණු තැන. මේ සියල්ල ඉතා සැලසුම්සහගත ලෙස යූ-ටියුබර්ස්ලා ඇතුළු සමාජ මාධ්‍යකරුවන් යොදාගෙනයි සිදු කළේ. ගෝල්ෆේස් අරගලයටත් එවැනිම සමාජ මාධ්‍යකරුවන් පිරිසක් යොදාගත්තා. මෙතැන වෙනස තමයි ඉන්ධන, ගෑස් හිඟයෙන් පීඩාවට පත්වූ විශාල පිරිසක් ගෝල්ෆේස් අරගලයට පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වීම.

“තනි අලියා ජනාධිපති පුටුවට”

මේ යුගයේ කරන දේශපාලනය අන් කවර යුගයටත් වඩා පරෙස්සම්සහගත, වගකීම්සහගත එකක් විය යුත්තේ, ඉහත කී ආකාරයට අපේ සමාජ – දේශපාලන ප්‍රතිවිරෝධතා, පිටස්තර බලවේගවල අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි වන නිසයි. යම් රටක ජනතාවක් වෙනත් රටවල බල ව්‍යාපෘති සඳහා ඔවුන් නොදැනුවත්වම යොදාගැනීමයි මෙතැනදී වෙන්නේ. මේ අරගලය ඉවර වුණාට පස්සෙ මම දැක්කා ජවිපෙ නායකයා කියනවා, ‘අරගලවලින් ආණ්ඩු පෙරළන්න බැහැ’ කියලා. ඒක මෙයාලා කලින් දැනගෙන හිටියේ නැද්ද? ඔය අරගලය සිදු වන විට ජවිපෙ කිව්වේ, ‘අපි අරගලයේ අයිතිකරුවෝ’ කියලයි. ඒ වගේම ආශු මාරසිංහ කිව්වා, ‘අපි ගෝල්ෆේස් එකේ ටෙන්ට් එකක් නොවෙයි විස්සක් ගැහුවා’ කියලා. දැන් මේ අරගලයට ටෙන්ට් විස්සක් ගහපු කෙනාගෙ නායකයාව ජනාධිපති කරලා තිබෙනවා. අද අර කෝච්චියටම සල්ලි ගෙවලා අරගලයට මිනිස්සු ගෙනාපු අයට මොනවා හිතෙනවා ඇද්ද? රනිල් වික්‍රමසිංහ තනි අලියාව, ජනාධිපති පුටුවේ වාඩි කරවීම ද අවශ්‍යව තිබූ අරගලය? සමාජ – දේශපාලන ප්‍රතිවිරෝධතා යොදාගනිමින් සිදු කළ අරගලයේ අවසාන ප්‍රතිඵලය මේක ද? දැන් ලක් අම්මාට සනීප ද? මේ ක්‍රියාත්මක වෙන්නේ බටහිර බලවතුන් රනිල් වික්‍රමසිංහ සමග යන ‘ප්ලෑන් බී’ එකයි.

“ජනාධිපතිවරණයත් අතුරුදහන් කරයි ද?”

රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ යන විදියට නම් ජනාධිපතිවරණයත් තියෙයි කියලා හිතන්න එපා! පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් අතුරුදහන් කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ‘ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ; ඉල්ලලා වැඩක් නැහැ’ කියලා හිතෙන්න පුළුවන්. ‘මේ රනිල් වික්‍රමසිංහගෙන් උවමනා ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්’ කියලා ඔය බලගතු රටවලට දැනෙන්න පුළුවන්. එහෙම වුණාම ‘ව්‍යවස්ථාව පැත්තක දාන්න ඔයා ඇවිල්ලා මේක භාරගන්න’ කියලා අර ඇමෙරිකානු තානාපතිනිය කථානායකවරයාට කියපු විදියටම, ඒගොල්ලො රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් ‘ඡන්දෙ බල්ලාට දාන්න; ඔයා මේක දිගටම කරගෙන යන්න’ කියලා.

“ඊළඟට මහ මැතිවරණයටත් වැඩේ දෙයි!”

මේ තත්ත්වය තවත් උත්සන්න වෙන්න ඇරලා ‘රනිල් ගෝ හෝම් අරගලයක්’ වෙනුවට ‘බඩගිනි කැරැල්ලක්, ෆුඩ් සිටිවලට කඩා පනින කැරැල්ලක්, මංකොල්ල කන කැරැල්ලක් නිර්මාණය වීමට ඉඩ දෙන්න පුළුවන්. පසුව එම තත්ත්වය පාවිච්චි කරලා, ‘මෙවැනි බිහිසුණු තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ’ කියා කියන්න පුළුවන්. එය ව්‍යවස්ථානුකූල නැහැ තමයි. නමුත් කතානායකවරයාට ඉහත දී යෝජනා කළෙත් ව්‍යවස්ථානුකූල දෙයක් නොවෙයිනේ. ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන අන්තිම විශ්වාසයත් එහෙම නැති කරන්න පුළුවන්. ඊළගට මහ මැතිවරණයටත් වැඩේ දෙන්න අලුත් ඡන්ද ක්‍රමයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එමගින් මහ මැතිවරණයත් අතුරුදහන් කිරීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කතාවක් තිබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. එහෙම කළත් ජනාධිපතිවරණයක් නැහැනේ. මේ සියලු යෝජනා, අදහස් ඉබේ පහළ වන ඒවා නොවෙයි. ඔවුන් මේ සියල්ල කරන්නේ ඔවුන්ගේ ඉදිරි ගමන ගැන හිතලයි. ඒ අනුව අපි නොහිතන අන්දමේ අඳුරු ඉරණමක් කරා මේ රට රැගෙන යාමේ අවදානමක් තිබෙනවා.

“බලය එන්ජෝයි කරන රනිල්”

‘කළු ජූලිය’ නිර්මාණය කරපු ‘අයියලාට’ රටේ ගැටුම්කාරී තත්වයක් ඇති කරන එක එතරම් අමාරු දෙයක් නොවෙයි. යාපනය පුස්තකාලයට ගිනි තියන්න හිත හදාගත්තු ‘අයියලාට’ තව ගිනි අවුලුවන එක මහ කජ්ජක් නොවෙයි. අපි නොදන්නේ ‘ඒ ගින්න කොතැනක, කවදා අවුලුවයි ද?’ කියන එක විතරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකපාරටම කඩාවැටුණු ජනාධිපතිකම, ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලලා දිනන්න බැරි නම් ලේසියෙන් අත හරියි, කියලා කොහොමද හිතන්නේ? ගෝඨාභය රාජපක්ෂ වගේ නොවෙයි රනිල් වික්‍රමසිංහ ලැබුණු බලය හොදට එන්ජෝයි කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ නිවසේ ඉඳලා ජනාධිපති මන්දිරයට යන එන එකයි කළේ. ඔහුට අවසාන කාලයේ තමයි තේරුම් ගොස් තිබුණේ, ‘අපරාදේ මට ජනාධිපති මන්දිරයේ ඉන්න තිබුණා’ කියා. අපි දන්නා ඉතිහාස කතාව අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්‍රාම සුවයෙන් ඉන්න, ගෙදර යන්න පහසුවෙන් හිත හදාගන්න කෙනෙක් නොවෙයි. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට විශාල වගකීමක් තිබෙනවා, මේ අවදානම දෙස බලලා අවශ්‍ය පියවර ගන්න.

“ජනපති මුල්කරගත් අන්තර්වාර පාලනයක්!”

ඉදිරියේදී ආවොත් එන්නෙ කතානායකවරයා මුල් කරගත්තු අන්තර්වාර පාලනයක් නොවෙයි, ජනාධිපතිවරයා මුල් කරගත්තු අන්තර්වාර පාලනයක්. අප පෙන්වා දුන් ආකාරයට, එදා ඇමරිකන් තානාපතිවරිය මෙරට ව්‍යවස්ථාවේ නොමැති අන්තර්වාර පාලනයකට කතානායකවරයාට ඇරයුම් කළා වගේ හෙට දවසේ ඇති විය හැකි ‘සාගිනි කැරලිවලින්’ පසුව යළිත් මෙරට ව්‍යවස්ථාවේ නොමැති අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයාට ඇරයුම් කරන්න පුළුවන්. මේවා ඉදිරියේදී සිදු විය නොහැකි දේවල් නොවෙයි. අපට රටක් ලෙස හැමදාම වරදින්නේ, මේ වගේ විය හැකි සියලු සංසිද්ධීන්, නිසි පරිදි ප්‍රමුඛතාව අනුව පෙළගස්වාගෙන ඒවාට සූදානම් වන විදිහේ දේශපාලන ක්‍රියාන්විතයක් අප සතුව නොමැති වීම නිසයි.

අලිරාජාට ‘සැර වැඩි වුණු’ අතයට ගාණ

පසුගියදා අප රට සතු අනගිතම සම්පතක් වූ මිල්කෝ ආයතනය ඉන්දියාවේ තිබෙන රාජ්‍ය සමුපකාර ආයතනයක් වන අමුල් ආයතනයට විකුණා තිබුණා.බලන්න, අපේ රටේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න බැහැ, කියලා ඒවා විකුණන්නෙත් වෙනත් රටවල රාජ්‍ය ආයතනවලට. ‘පෙට්‍රෝලියම් එකට බැහැ’ කියලා එහි කොටස් විකුණන්නේ ඉන්දියාවේ IOC සමාගමට සහ චීනයේ SINOPEC සමාගමටයි. ඒවා ඉන්දියාව සහ චීනය සතු රාජ්‍ය සමාගම්. ඒ රටවල රාජ්‍ය සමාගම් අපට හොඳයි. නමුත් අපේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දැමීමයි අද සිදු වන්නේ. ටෙලිකොම් සමාගම විකුණන්න දැන් ගනදෙනු කතා කරගෙන යනවා. මට ආරංචි විදිහට සුබාස්කරන් අලිරාජාගෙන් අතයටින් ඉල්ලපු ගාණ ටිකක් සැර වැඩියි. ඒ ගැන තමයි දැන් කතා කරගෙන යන්නේ.

“අලිරාජාගේ පාර්ලිමේන්තුව අල්ලන ප්ලෑන් එක”

ඒ විතරක් නොවෙයි, බලන්නකො දැන් වෙන වැඩේ. අපේ හාමුදුරුවනේ, දැක්කේ නැද්ද මේ සුබාස්කරන් අලිරාජා මාතර වෙහෙරහේන පන්සලට ගිහින් සම්මාන ආචාර්ය උපාධියක් ගන්නවා? මොකක්ද මෙයාගේ ප්ලෑන් එක? එයා LPLවල ජැෆ්නා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට පටන් ගත්තාට පසුව තමයි, ඒ කණ්ඩායම ‘Jaffna King’ වුණේ. එයාට තිබෙනවා ‘පොඩි කිං මේනියාවක්’. එයා දැන් ටෙලිකොම් එකත් මිලදී ගත්තාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ පක්ෂවලින් ඉදිරිපත් වන මන්ත්‍රී අපේක්ෂකයන් අතුරින් තමන්ට හිතවත් කණ්ඩායම් හදාගෙන ඔවුන්ට ටෙලිකොම් හරහා ප්‍රචාරක අනුග්‍රහය ලබා දෙන්න සැලසුම් කරලාලු. ඒ වගේම උතුරේ අලුත් දේශපාලන පක්ෂයක් හදලා එමගින් මන්ත්‍රී ධුර 10ක් පමණ දිනාගැනීම ද ඔහුගේ බලාපොරොත්තුවක්. එහෙම කරලා එයා උදව් කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු කරගෙන, පාර්ලිමේන්තුවේ වඩාත්ම බලපෑම්සහගත භූමිකාව ඉටු කරන පුද්ගලයා ලෙස නැගී සිටීමේ උවමනාව ඔහුට තිබෙනවා. මේ ආකාරයට අද අපට නොපෙනෙන බොහෝ න්‍යාය පත්‍ර දිගේලි වෙමින් තිබෙනවා.

“ඉන්දියාව 5වැනි ආර්ථික බලවතා වූ හැටි”

අපේ රටේ කරුමෙට දැන් ‘සිගරට් එකටත්’ ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති තිබෙනවා. එතකොට, දුම්රිය දෙපාර්තමේන්තුව විකුණන්න ඕනේ, කියලා ජනතාවම කියනවා. ඒ වගකීම් විරහිත වෘත්තීය සමිති භූමිකාවත් සමහර විට ආණ්ඩුව උපයෝගී කරගන්නවා ආණ්ඩුවට උවමනා දේ ඉටුකර ගැනීමට. දැන් ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් රජයෙන් ඉවත් කළොත් ජාතික රාජ්‍යය කියා ඉතිරි වන්නේ ජනාධිපති, අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව හා අධිකරණය පමණ ද? ඉන්දියාව දැන් ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා වී තිබෙන්නේ රාජ්‍ය අංශය සම්පූර්ණයෙන් ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් කරලා ද? නැහැ. ඉන්දියාවට ලොව පස්වැනි ආර්ථික බලවතා වීමට බාධා නොවූයේ අදාළ සම්පත් රජය යටතේ තිබීමයි. වජ්පායි අගමැතිවරයාගේ පාලන කාලයේ ඉන්දියාවත් අපේ වගේ ආර්ථික අර්බුදයකට ලක් වුණා. එවිට ‘පසුව ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වූ ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන මන්මෝහන් සිං’ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙනවා. ඔහු IMF එකත් එක්ක ගියේ තමන් හදපු සැලැස්මක් සමඟයි. වජ්පායි එදා රාජ්‍ය නායකයා හැටියට මන්මෝහන් සිංට කිව්වා, ‘මම දේශපාලන කටයුතු බලාගන්නම්, ඔබ රටේ ආර්ථිකය ගොඩනගන්න’ කියලා. ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දැමූ පදනම මත සිටගෙනයි ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වූයේ.

“දේශපාලන සංස්කෘතියේ වැරැද්ද”

දැන් බලන්න, ඉන්දියාව තුළ තිබෙන දේශපාලන සංස්කෘතිය. ‘කැනඩාවේ වෙසෙන සික් ජාතිකයෙකු මරා දැම්මා’ කියා ඉන්දියාවට කැනඩාවෙන් චෝදනාවක් ආවා. එවිට ඉන්දියාවේ පාලක පක්ෂය කැනඩාව සම්බන්ධයෙන් බරපතළ තීන්දු ගත්තා. නමුත් එතැනදී ඉන්දියාවේ විපක්ෂ නායකවරයා කැනඩාවේ පැත්ත ඇරගෙන ආණ්ඩුව හෙළා දැක්කේ නැහැ. විපක්ෂය, BJP එකත් එක්ක තිබෙන කෝන්තරය ඒ ප්‍රශ්නෙදි යොදාගත්තේ නැහැ. අප රට වැනි පුළුල් මනසක් නැති, දේශපාලන සංස්කෘතියක් සහිත රටක් මේ විදිහේ අභියෝග ජයගන්නේ කොහොමද?
“රටක් අභියෝග තරණය කරන හැටි”
ඊශ්‍රායලයේ සිදු වූ දෙය බලන්න. හමාස් සංවිධානය ඊශ්‍රායල් ජාතිකයන් අන්දමන්ද කරන ප්‍රහාරයක් තමයි එල්ල කළේ. ඒ ප්‍රහාරය එල්ල වීමට ආසන්න කාලයේ ඊශ්‍රායලයේ නෙතන්යාහු පාලනයට එරෙහිව මහජන පෙළපාලි තිබුණා. විපක්ෂය බරපතළ ලෙස ඔහුගේ පාලනය හෙළා දකිමින් සිටියා. නමුත් මේ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ සර්වපාක්ෂික යුද ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ඔවුන් ‘හමාස් ප්‍රහාරයේ මහ මොළකරු කවුද? හමාස් ප්‍රහාරයක් එල්ල වන බව මොසාඩ් ඔත්තු සේවා නිලධාරීන් දැන සිටියේ නැද්ද? කියමින් ප්‍රශ්න අසමින් හිටියෙ නැහැ. එතැනදී ඊශ්‍රායලයේ සියලු පක්ෂ සියලු වාදභේද පසෙකලා එක මතයකට ආවා. අද ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව පිහිටුවා ඇත්තේ වාදවිවාද ඇතුව හිටපු සියලු පක්ෂ එකතු කරගෙනයි. ලෝකයේ රටවල් අභියෝග තරණය කරන්නේ ඒ විදිහේ පළල් දේශපාලන සංස්කෘතියක් සහිතවයි. එදා අපි ‘ගෝඨා ගෝ හෝම්’ ටැග්ලයින් එක අපේ අතට නොගත්තේ ඒ නිසයි. අපි කල්පනා කළේ, ‘මේ තියෙන බැරෑරුම් තත්ත්වයෙන් මිදෙන්න සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවිය යුතුයි’ කියලයි. එහෙම මොහොතකවත් පළල් මනසකින් හෙබිව මැදිහත්විය හැකි දේශපාලන සංස්කෘතියක් මේ පොළොවේ නැහැ. නමුත් දියුණු වූ, ගොඩනැගුණු හැම රටක්ම පිරික්සා බැලුවොත් පෙනෙනවා, ‘ඒවා පළල් දේශපාලන සංස්කෘතියක් සහිතව ගොඩනැගුණු රටවල්’ කියා.

බක පණ්ඩිත සංස්කෘතිය

අසල්වැසි ඉන්දියාව කියන්නේ අපට වඩා භේද සහිත රටක්. තවමත් ගෝත්‍රිකයන් පවා එහි වෙසෙනවා. නමුත් ඔවුන් හඳට රොකට් එකක් යවපුවාම ඒ රටේ කවුරුහරි ඇහුවාද, ‘අර මිනිස්සු වැසිකිලි නැතුව සිටියදී මෝඩිට පිස්සුද හඳට රොකට් අරින්න’ කියා. ‘මේ රොකට් එක හඳටම යවලා දෙන්න’ කියා ඒ කටයුත්තට මුල් වූ අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් කෝවිලට ගිහින් කන්නලව් කරනවා අපි දුටුවා. ‘මේක මිත්‍යාවක්’ කියමින් ඊට සිනාසෙන පිරිස් ඉන්දියාවේ නැහැ. එවැනි දෙයින් තමයි මානසික උත්තේජනය ගන්නේ. මානසික උත්තේජනය කවර ආකාරයට ගත්තත් මොකක්ද තිබෙන ප්‍රශ්නය? ‘හඳට යන්න යානයක් ඕනෙ නැහැ. පොර වගේ හඳට යන්න පුළුවන්’ කියන සමහරු අපේ රටේ ඉන්නවා. එයාලාට යානයක් ඕනෙ නැහැ. ගිනිකූරක් ගහන්න විතරයි ඕනේ හඳට යන්න. එහෙම බක පණ්ඩිත සංස්කෘතියක් ලෝකයේ වෙනත් කොහේ හරි තිබෙනවාද කියා කියන්න මම නම් දන්නේ නැහැ.

ජැක්සන්ගේ ඇඳේ ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය ද?

අපේ රටේ තිබෙන මිත්‍යාව කුමක්ද, කියා හිතෙනවා, ඉන්දියාවේ තිබෙන මිත්‍යාව සමග ගත්තාම. තවමත් ඉන්දියාවේ නිඝන්ඨයන් සිටිනවා. ඔවුන් නිරුවතින් ගමන් කරන විට වන්දනාමාන කරන පිරිස් ද ඉන්දියාවේ සිටිනවා. නමුත් ඕක සමාජ මාධ්‍යවල දමලා තමන්ගේම ජන කොටසකට අවමන් කරන පිරිස් ඉන්දියාවේ නැහැ. මෙතැන ක්‍රිකට් මැච් එකක් පරදින තුරු බලන් ඉන්නවා ක්‍රිකට් කණ්ඩායමට පලු යන්න බනින්න. කට්ටියක් ඉන්නවා, ශ්‍රී ලංකා කණ්ඩායම මැච් එකක් දින්නාම ඔවුන්ගේ මුහුණු කළු වෙනවා. ජැක්සන් ලෙඩ ඇඳේ ඉන්නකම් අර ඇඳේ ප්‍රශ්නෙ තිබුණා. එක කොටසකට ජැක්සන්ගේ ඇඳේ ප්‍රශ්නය තමයි ජාතික ප්‍රශ්නය වුණේ. දැන් ඇඳ හිස් වුණා. මම කියන්නේ, ‘දඬුවමක් විදිහට ඒ ඇඳේ ප්‍රශ්නෙ තිබුණු අයව හොඳට හිටියත් ඒ ඇඳේ තියන්න ඕනේ’ කියලයි. ඒක කුහක සංස්කෘතියක්. ජැක්සන් කියන්නේ කලාකරුවෙකු පමණක් නොවෙයි, ඔහු ‘ඕල් රවුන්ඩර්’ කෙනෙක්. එහෙම කෙනෙක් හදිසි අනතුරකට පත් වුණාම දවස් 300ක් 400ක් තියාගෙන බේරාගන්න හැදුවා කියන එක වරදක් වෙන්නේ කොහොමද? මේ සමහරු කතා කළේ ඒ ඇඳ අහිමි වූ අය ගැන තියෙන ඇත්ත අනුකම්පාවෙන් ද? නැහැ. ‘ජැක්සන් බේරාගන්න ඕනේ නැහැ’ කියන යටි හිතේ තිබෙන අදහසින්. අපි අද එවැනි ඉරණම් කතාවකට ඇදවට්ටවලා තිබෙනවා. තවදුරටත් මේ විදිහට ඉදිරියට ගියොත් මේ රටේ කිසිදු විද්වතෙක්, උගතෙක්, පර්යේෂකයෙක් බුද්ධිමතෙක් ‘බෙහෙතකටවත් සොයාගන්න බැරි’ ඉරණමකට ඇදවැටෙන්න පුළුවන්.

රට යෑම වැළකෙයි ද?

නමුත් ඉදිරියේදී නිර්මාණය වෙන්නේ රට රස්සා හොයාගෙන යන්න පුළුවන් ලෝකයක් නොවෙයි. සම්බෝලයි බතුයි කාලා හරි මෙහෙට වෙලා ඉන්න වෙන ලෝකයක් ඉදිරියේදී නිර්මාණය වන බවයි පෙනෙන්නේ. පලස්තීනය සමග මැදපෙරදිග රටවල් කීපයක් එකතු වුණාම, ඊශ්‍රායලය සමග බටහිර රටවල් හිටගන්න පුළුවන්. දැන් ‘යුක්රේන මැච් එක’ ගැන කවුරුත් හොයන්නේ නැහැ. දැන් ඒක ‘සීන් එකෙන් එළියට’ ගියා. රුසියාව යුක්රේනය සමග යුද වදින්නේ සිවිල් වැසියන් ගැන, මානව සම්පත ගැන සිතමින්. නමුත් ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමේදී ‘කවුද මැරෙන්නේ?’ කියන එක අදාළ නැහැ. යුද ගැටුම තීව්‍ර වෙලා තෙල් මිල ටිකෙන් ටික ඉහළ යන විට, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීවන වියදම ඉහළ යන විට ඒ රටවල වෘත්තිකයන්ටත් ඔවුන්ගේ මධ්‍යම පාන්තික ජීවන රටාව පවත්වාගෙන යෑම අර්බුදයක් බවට පත් වෙනවා. ඇතැම් අයට එහේ තියෙන රස්සාව දමලා මෙහෙට එන්න වෙන්නත් පුළුවන්. දැන් බ්‍රිතාන්‍යයේ තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට බැරි නිසා වෘත්තිකයන් බ්‍රිතාන්‍යය අතහැර ඕස්ට්‍රේලියාව වෙත යමින් සිටිනවා.

අසාමාන්‍ය තෙල් මිල වැඩිවීමක්!

නමුත් මේ ඇතිව තිබෙන යුද ගැටුම් සහිත අනාගත ලෝකයේ ඉරණම යහපත් නොවීමට ඉඩ තිබෙනවා.

යුක්රේන නායක සෙලෙන්ස්කි අද බලන් ඉන්නවා, ‘මට බටහිරෙන් කවුද උදව් කරන්නේ?’ කියා. මේ වන විට ඇමරිකානු කොංග්‍රසය යුක්රේන යුද්දෙට වියදම් කිරීම සඳහා මුදල් අනුමත කරන්නේ නැහැ. මේ හැම සිදුවීමක්ම සමග අපි නොහිතන විදියේ තත්ත්වයක් සහිත ලෝකයක් තමයි ඉදිරියේ දී දැකගත හැක්කේ. ‘මෙතැන දාලා යන ප්‍රවණතාවක්’ වගේම ‘එතැන දාලා එන ප්‍රවණතාවක්’ ද නිර්මාණය විය හැකියි. අපේ රටේ කෝ මේ ගැන සාකච්ඡාවක්? මේ ලෝක තත්ත්වය සමඟ ඉන්දියාව සහල් අපනයනය නතර කර තිබෙනවා අපි එවැනි කිසිවක් ගැන හිතලා තිබෙනවා ද? පැමිණිය හැකි ආහාර අර්බුදයක් ගැන හිතලා තිබෙනවා ද? ශීත කාලයේ කොහොමත් තෙල් මිල ඉහළ යනවා. නමුත් යුද ගැටුමෙන් අසාමාන්‍ය ඉහළ යාමක් සිදු වෙනවා. අපි රටක් විදියට මේවා දරාගන්නෙ කොහොමද? අපේ වැටුපට මේ හැම බරක්ම එකතු වුණාම අපි ජීවිතේ ඇදගෙන යන්නේ කොයි විදිහට ද?

“අවදානම් අනාගතයක් පාමුල”

අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් මේ තත්ත්වය පාවිච්චි කරනවා ඔවුන්ගේ ඊළඟ න්‍යාය පත්‍රය මේ රට තුළ දිගේලි කිරීමට. දැන් ඔය ‘ත්‍රිකුණාමල ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය’ කියන්නේ එහෙම එකක්. අපි දන්නවා එක්සත් ජනපදයට මිලිටරිමය වශයෙන් කල්පනා කළාම ශ්‍රී ලංකාවේ පිහිටීම උපායමාර්ගිකව ඉතා වැදගත්. ඒ නිසා මේ හැම අසීරුදායක තත්වයක්ම ඒ අය පාවිච්චි කරනවා ඔවුන්ගේ ඉලක්කයට මේ රට ගොදුරු කර ගැනීමට. මේ වගේ අවදානම්සහගත, තීරණාත්මක අනාගතයක් පාමුලයි අපි අද ජීවත් වෙන්නේ.

“ජාතියක් ලෙස නැඟී සිටීමට නම්…”

‘මේ තියුණු, අවදානම්සහගත අනාගතය දෙස බලලා, මේ වැටුණු වළෙන් අපි ජාතියක් ලෙස නැගී සිටින්නේ කොහොමද? කියන සංවාදය අද මේ පොළොව ඉල්ලා සිටිනවා. එවැනි අනාගත කියවාගැනීමක්, පෙරසූදානමක් සහිතව මේ තත්ත්වය අතික්‍රමණය කිරීමෙන් පමණයි අපට ගොඩඒමට හැක්කේ. නමුත් අපේ රටේ එවැනි සංවාදයක් දේශපාලනමය වශයෙන් නැහැ. එක් කෙනෙක් ‘බස්’ බෙදමින් යනවා. අනෙක් කෙනා ‘කතාබස්’ බෙදමින් යනවා. ජුලී චන්ග් නෝනාගේ සන්සුන්භාවය, උත්තර ලංකා සභාගයේ අප පමණක් අනාවරණය කළ CIA ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණීම යන කාරණා පිටුපස ලොකු කතා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සංවාදයක් දේශපාලනමය වශයෙන් ජනිත කර ගැනීම මගින් පමණයි අපට එළැඹීමට නියමිත අවදානමෙන් ගැලවීමට හැක්කේ.

ඉංග්‍රීසි – රුසියන් පරිවර්තන කෘතිවල වැදගත්කම

‘නවය; සැඟවුණු කතාව’ කෘතිය අප විසින් එළිදක්වනු ලැබුවේ ඉහත කී කතිකාව නිර්මාණය කර ගන්නයි; අපි ලබපු අත්දැකීමෙන් පාඩමක් ඉගෙනගන්නයි; සාධාරණ දේශපාලන ප්‍රතිවිරෝධතා අපි නොහිතන පාර්ශ්ව විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය ඉගෙනගන්නයි. එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී මෙම කෘතියේ ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන කෘති එළිදැක්වීම ඉතා වැදගත් බව අපි දුටු නිසයි ඊට මැදිහත් වූයේ.

කළ යුත්තේ කුමක්ද?

අපි මේ සංවාදය තීව්‍ර කරමු! අපි ඉදිරියේ නිර්මාණය වෙමින් තිබෙන අනාගත ලෝකය පිළිබඳව හරියටම තේරුම් ගනිමු! ඒ තත්ත්වය අතික්‍රමණය කළ හැකි දේශපාලන කියවාගැනීමකින් ඉදිරියට ගමන් කරමු!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*