BREAKING NEWS

“පැවැති ආණ්ඩුවේ සිටි බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති ඇමතිවරු කඩිනමින් නීතිය හමුවට පමුණුවනවා”

“පැවැති ආණ්ඩුවේ සිටි බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති ඇමතිවරු කඩිනමින් නීතිය හමුවට පමුණුවනවා”

– ජානිපෙ නායක විමල් වීරවංශ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ පැවැති ආණ්ඩුවේ බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් දූෂණය නැමැති වරද හේතුවෙන් අධිකරණය හමුවට පමුණුවන ලෙස නිර්දේශ කර ඇති ඇමතිවරුන්ට එරෙහිව නව ආණ්ඩුව කඩිනමින් නීතිය ක්‍රියාවේ යොදවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති පක්‍ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට වැඩි ඡන්ද ලක්‍ෂ 13කට අධික විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට හැකිව තිබෙනවා. අපි ඒ ජයග්‍රහණය ලැබුවේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා දිවුරුම් දෙන අවස්ථාවේ අඳින ඇඳුම්, ස්ථානය පවා තීරණය කර තිබූ අවස්ථාවකයි. ඔවුන් එතරම් විශ්වාසයකින් තමයි කටයුතු කළේ. ඒත් අපට අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු අවිනිශ්චිතභාවයක් තිබුණේ නැහැ. ජනතාව මේ විශ්මිත ජයග්‍රහණය අපට ලබාදෙන බව අපි දැන සිටියා. එම ජයග්‍රහණය ලබාදීමට කැප වූ සියලු ජනතාවට මෙම අවස්ථාවේ අපේ ප්‍රණාමය පුදකර සිටිනවා. ඔබ ඔබේ කතිරයෙන් කළේ මාතෘභූමිය ආරක්‍ෂා කරගැනීම, මාතෘභූමියේ අනාගතය යහපත් අතට හැරවීම. ඒ හේතුවෙන් අපේ සිත් තුළ ඇතිව තිබෙන ගෞරවය කිසිදා මැකී යන්නක් නොවෙයි.

‘කූඨ ලේඛන කල්ලි’

මේ මැතිවරණයේදී අපේ ප්‍රතිවාදීන් කලින් මැතිවරණවලදී පාවිච්චි නොකළ ‘අවි’ පවා යොදා ගත්තා. හඩකැවීම් සහිත ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය දක්වා අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා ගියා. ගෝඨාභය රාජපක්‍ෂයන් තමන්ගේ පුරවැසිභාවය ඉවත්කරගෙන නැති බව දැක්වෙන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිත කූඨ ලේඛන පවා මේ අය නිර්මාණය කළා. අතුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට සහාය දීමෙන් ඉවත් වන බවට සඳහන් කූඨ ලේඛනයක් ද මේ අය බෙදාහැරියා. ඒ අනුව බැලුවාම නොවැම්බර් 16 වැනිදා තෙක් බලයේ ඉඳලා තිබෙන්නේ කූඨ ලේඛන කල්ලියක්. මේ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා.

‘නව ජනපතිගේ පිපාසාව’

මේ ජයග්‍රහණයට සම්මාදම් වූ ජනතාව අද ඉතා ඉහළ බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් දිව්රුම් දුන්නේ රුවන්වැලි සෑය ඉදිරිපිට දී. වැඩ භාර ගැනීමේදී ඒ ඉදිරිපිට වසා තැබූ මාර්ගය ජනතාවට විවෘත කර දීමට ඔහු කටයුතු කළා. ඒ වගේම එතුමා තමන්ගේ පින්තූරය රාජ්‍ය ආයතනවල එල්ලීම නතරකර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය යොදා ගැනීමට උපදෙස් දී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ‘දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින පෞද්ගලික කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා අඩු කරන්නේ කෙසේද?’ කියා දැන් එතුමන් කල්පනා කරමින් සිටිනවා. එතුමන් මේ රටේ නාස්තිය – දූෂණය වළක්වමින් නව දේශපාලන පරිච්ඡේදයකට මුල පිරීමේ දැඩි පිපාසාවකින් පෙළෙන බවයි ඒ පියවර කිහිපයෙන් පෙනී යන්නේ. ‘මේ නව ජනාධිපතිවරයා සිදු කිරීමට යන නව පරිවර්තනයට තම තමන්ට හැකි පමණින් දායක වෙන්න‘ කියා අපි මේ රටේ සිටින එවැනි පරිවර්තනයක් සිතින් හෝ පැතූ සියලු පක්‍ෂ – විපක්‍ෂ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.

‘වගඋත්තරකාර පැවති ආණ්ඩුව’

පසුගිය අවුරුදු හතරහමාර තුළ මේ ආණ්ඩුව අපට බොහෝ චෝදනා එල්ල කරමින්, නීතිය අවභාවිතාවේ යොදවමින් ගෙනගිය ක්‍රියාකලාපය පුස්සක් බව ජනතාවට වැටහී අවසන්. එක් චෝදනාවක් හෝ නීතිය හමුවේ ඔප්පුකර ගැනීමට බැරි වීමෙන් පෙනී ගියේ ඒවා අසත්‍ය චෝදනා බවයි. එහෙත් මේ දක්වා පැවති ආණ්ඩුව බරපතළ දූෂණ සහ නීතිය අවභාවිතාවේ යෙදවීමේ චෝදනා රැසකට වගඋත්තරකාර ආණ්ඩුවක්. ඒවා පිළිබඳව නිවැරදිව හා නිත්‍යනුකූලව සොයා බලා එම චෝදනා සත්‍යනම් ඒවාට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අපේ ආණ්ඩුව සූදානම්.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමන් පැවැති ආණ්ඩුවේ බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. එමගින් ‘දූෂණය’ නැමැති අපරාධ වරද කළ තැනැත්තන් කවුදැයි හඳුනාගෙන තිබෙනවා. එසේම එම කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා, එම තැනැත්තන් රාජ්‍ය මුදල් අවභාවිතාව යන අධිචෝදනාව යටතේ අධිකරණය හමුවට පමුණුවන්න. සජිත් ප්‍රේමදාස රුපියල් කෝටි 64.2ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා තිබෙනවා. රාජිත සේනාරත්නට සයිටම් නැමති රෝහල රජයට පවරා නොගෙන එය මහජන මුදලින් නඩත්තු කිරීමේ බරපතළ චෝදනාව තිබෙනවා. අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර ද ඒ අතර වෙනවා. ඉහත කොමිෂන් සභාවේ නිර්දේශ මත අපි මේ පිරිස කඩිනමින් නීතිය හමුවට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.

‘පාඨලී චමිපික රණවක’

ඔබට මතක ඇති රාජගිරියේ ප්‍රදේශයේ තරුණයකු වාහනයක හැපුණු දර්ශන සීසීටීවී කැමරාවලින් මැකී ගිය සිදුවීම. ඒ තරුණයා තවමත් ආබාධිතයෙක්. ඔහුගේ තරුණ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ තරුණයාගේ දෙමව්පියන් හැඬූ කඳුළින් ඉල්ලා සිටින සාධාරණ පරික්‍ෂණය අපි සිදු කරනවා. ඇසින් දුටු සාක්ෂි දෙකක් තිබුණා. පාඨලී චම්පික රණවක රියදුරු අසුනේ සිටි බව දැක්කා යැයි පැවසූ තරුණයන් දෙදෙනා තර්ජන නිසා දැන් රට හැර ගොස් තිබෙනවා. ඒ වගේම අපි දැක්කා ඩිෆෙන්ඩර්වලින් තරුණයකු පැහැරගෙන යන තරුණ රූමත් මන්ත්‍රිවරියක පිළිබඳ ජවනිකා. බලන්න ඇයගේ ‘හැදියාව’. ඒ සම්බන්ධයෙනුත් අපි නීතිය ක්‍රියාවේ යොදවනවා. මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ මහ මොළකරුවන් ඇතුළු සියලුදෙනා නීතිය හමුවට ගෙන යාමට අපි කඩිනමින් කටයුතු කරනවා. ඒ වගේම අවසන් වශයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රැගෙන ආ ‘සුදු වෑන්’ රියදුරා වහාම නීතිය හමුවට පමුණුවන්න ඕනේ. ඔහු කී ආකාරයේ දෙයක් සිදු වී තිබේ නම් ඊට අදාළ පියවර ගත යුතුයි. ඔහු අසත්‍ය දෙයක් ප්‍රකාශ කර තිබුණොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන්න ඕනේ. ඒ වගේම ‘පැනමා පේපර්ස්වල’ විද්‍යා අමරපාල මහතාගේ නමින් තැන්පත් කර ඇති මුදල්වල සැබෑ අයිතිකාරයා පිළිබඳවත් අපි ඉදිරියේදී සෙවීමට බලාපොරොත්තු වෙනවා.

අපි මේ සියලු කටයුතු සිදු කරන්නේ නීතිය නවලා නොවෙයි. එෆ්.සී.අයි.ඩිය නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කරලයි. ඒ වගේම පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණා ‘දූෂණ මර්දන කමිටුව’ නමින් ආයතනයක්. එහි අනුර දිසානායක වැනි දේශපාලනඥයන්, තවත් නීතිඥවරු වැනි පිරිස් හිටියා. ඒ සියලුදෙනාගේ වත්කම් පසුගිය අවුරුදු හතරහමාර තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අය දූෂණය මර්දනය මුවාවෙන් ඉතා විශාල ලෙස ධනය උපයාගෙන තිබෙන බවට අපට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් නිවැරදිව නීත්‍යනුකූලව සොයා බලා නීතිය ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා.

‘බීබීසී ව්‍යාජ පුවත් විකාශනය’

වසර 05කට පෙර දේශපාලන රැකවරණය ලබාගෙන බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවලට ගිය මුස්ලිම් හා ද්‍රවිඩ පිරිස්වල එම දේශපාලන රැකවරණ කාලසීමාව මේ වසරේ අවසන් වෙනවා. ඔවුන්ට නැවත මේ රටට එන්න වෙනවාට ඔවුන් දැන් ලෝකය පුරා අසත්‍ය පුවත් නිර්මාණය කරවනවා. ‘දැන් බලයට පත්ව ඇත්තේ සිංහල අධිපතිවාදී ආණ්ඩුවක්. ඔවුන් සුළු ජාතිකයින් පීඩාවට පත් කරනවා’ යන අසත්‍ය ප්‍රචාරය ඔවුන් ගෙන යනවා. ඒ ව්‍යාජ මතය යුරෝපයේ ව්‍යාප්ත කළාම ඔවුන්ට තවත් අවුරුදු 05කට දේශපාලන රැකවරණය ලබා ගැනීමට පුළුවන්. ඒ ව්‍යාජ මතය ව්‍යාප්ත කිරීමට මේ පිරිස් බි්‍රතාන්‍යයේ බීබීසී නාලිකාවේ ප්‍රවෘත්ති සම්පාදකයන්ට මුදල් දෙනවා. ඒ අනුවයි මේ අසත්‍ය පුවත් බීබීසී නාලිකාවේ ප්‍රචාරය වෙන්නේ. ඒ නිසා අපි ඉතා කරුණාවෙන් ජාත්‍යන්තර පුවත් ආයතනවලින් ඉල්ලනවා, ‘ව්‍යාජ පුවත් මවන්නේ නැතිව, මේ රට පිළිබඳව සත්‍ය තත්වය වාර්තා කරන්න’ කියා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019 /11/19

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*