BREAKING NEWS

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට IDB ඉදිරිපත් වෙයි

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි,
පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.

ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා දැනටමත් තම නිවසට අවශ්‍ය එළවළු ප්‍රමාණය ලබා ගැනීමට සමත්ව සිටී. එම ඒකකය මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නාගරිකව වෙසෙන, කාර්යබහුල ජනතාවගේ ගෙවතු වගා අවශ්‍යතාවට සරිලන ක්‍රමවේදයක් බව චන්දිම ප්‍රසාද් මහතා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කළ කරුණු අනුව අමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ මැදිහත්වීමක් සිදු කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව පළමුව නාගරික මහල් නිවාස ඇතුළු අඩු ඉඩකඩක් සහිත නිවාස සඳහා මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය, අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම සඳහා ඉහත නව නිර්මාණකරු සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් සිටී.

අද (11) දින මොරටුව කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙම නව ගෙවතු වගා ඒකකය මාධ්‍ය සඳහා හඳුන්වා දුන් අතර එහි දී අදහස් දැක්වූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කර හැකි ස්වයංක්‍රීය ජල සැයපුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය වාණිජව නිපදවීමට අමතරව චන්දිම ප්‍රසාද් මහතා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතිය වාණිජ වගාවන්, නාගරික අලංකරණ උද්‍යාන ආදිය සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාට උපදෙස් ලබා දී ඇති බවයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය,
2020.04.11

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*